මේ අර්බුදය ඩොලර් වලින් විසඳන්නට පුළුවන් අර්බුදයක් නෙවෙයි

මේ අර්බුදය ඩොලර් වලින් විසඳන්නට පුළුවන් අර්බුදයක් නෙවෙයි

අවුරුදු විස්සකට තිහකට කලින් සිට රටේ සමාජ-ආර්ථික හා දේශපාලන දේහය වෙළා ගෙන වැඩුණු මේ අර්බුදය ගැන කතා පටන් ගත්තේ කොවිඩ්-19 වසංගතයට එය සින්නකර, පරණ පුරුදු දූෂිත දේශපාලනයේ තව දුරටත් පිණුම් ගසන්නට කාටවත් නොහැකි වන විටය.

ඒ දූෂිත දේශපාලන ඉතිහාසයෙහි නිර්මාණය වූ වත්මන් අර්බුදය ගැන දේශපාලන නායකයින් පමණක් නොව විද්වතුන්, බුද්ධිමතුන්, විශේෂඥයින් හා වෘත්තිකයින් කතා කරන්නේද ආර්ථිකයට සීමා කරගත් අර්බුදයක් ගැන පමණකි. එයට මූලික හේතුව වන්නේ සමාජ මත හදන්නාවූ නාගරික මැදපංතිකයින් සුව පහසු ජීවිතයක් සඳහා එල්බ ඉන්නා මහ නගර කේන්ද්‍රීය මේ තොරොම්බල් වෙළඳපල වෙනුවට විකල්පයක් ගැන සිතීමේ හැකියාවක් සහ වුවමනාවක් කිසිවකුට නොමැති වීමය.

නිදහසින් පසු අවුරුදු 75 න් අවුරුදු 40 ට වැඩි කලක් ජයවර්ධන ජනාධිපතිගේ සිට මෙතෙක් හැම ජනාධිපතිවරයෙක් යටතේම, මේ විවෘත වෙළඳපල ආර්ථිකයේ වර්ධනය වෙනුවෙන් සෘජු විදේශ ආයෝජන ගෙන්වා ගැනීමට දැරූ උත්සාහ අසාර්ථක විය. ජ.වි.පෙට අනුව මහපරිමාන ආයෝජකයින් ලංකාවට නොඑන්නේ දූෂණ නිසාය.

ජයවර්ධන ජනාධිපති කටුනායක නිදහස් වෙළඳ කලාපය විවෘත කළ 1978 කාලයේ මේ රටේ දූෂණ වංචා තිබූයේ සාමාන්‍යයෙන් යුරෝපා රටවලද පැවති මට්ටමකය. එවැනි කාලයක ආර්ථිකය විවෘත කළ ආසියාවේ පළමු රට වශයෙන් විදේශ ආයෝජකයින් ගෙන්වා ගැනීමට රේගු බදු ඉවත් කිරීම්, බදු සහන, බදු විරාම හා බදු අහෝසි කිරීම් වැනි විශේෂ වරප්‍රසාද සමග සියයට සියයක විදේශ හිමිකාරිත්වය සඳහාද අවසර ලබා දෙමින් ජයවර්ධන ජනාධිපති කියුවේ මෝටොරෝලා සමාගම ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට මග බලා ඉන්නා බවය. යෝධ ව්‍යාපාරික ලෝකයේ “භාග්‍යවත් 500” (Fortune 500) යැයි නම් කෙරෙන දැවැන්තයින්ද මෙරට ආයෝජනය කිරීමට එන්නේ යැයි කීවේය.

ආණ්ඩු විසින් දෙනු ලබන ආර්ථික වරප්‍රසාද හා වාසි බුක්ති විඳින්නට වැඩි වශයෙන් පැමිණියේ ජාවාරම්කාර ආයෝජකයින්ය. ඔවුන්ගේ හවුලට මෙරට වර්ධනය වූයේද ක්ෂණික ලාභ සෙවූ ජාවාරම්කාරයින්ය. එබැවින් 1978 න් පසු දෙවන දසකයේ පමණ සිට ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් වර්ධනය වූයේ නිෂ්පාදන ආර්ථිකයක් නොව, මහ පරිමාන දූෂණ සමගවන නාගරික තොරොම්බල් වෙළඳපල ආර්ථිකයකි.

එහි ඔඩු දිවූ දූෂණය ජාවාරම්කාර පැවැත්ම වෙනුවෙන් සමස්ථ සමාජයම සදාචාරයක් විනයක් නොමැති, සියලු ආකාරයේ අපරාධ ඉහ වහා යන ආත්මාර්ථකාමී දූෂිත සමාජයක් බවට පත්කර ගත්තකි. ඒ වෙනුවෙන් ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩිගේ මුස්ලිම් විරෝධී බහුතර වාර්ගික, ම්ලේච්ඡ හින්දුත්වා ව්‍යාපාරය සමස්ථ රාජ්‍යයම හින්දුත්වා රාජ්‍යයක් බවට පරිවර්තනය කර ඇති අයුරු, අපගේද ‘56 සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ සමාජ බලය ඇතිව 1981 ජුනියේ යාපනයේ සහ 1983 ජුලියේ රට පුරා දෙමළ ජන සංහාරයක් ජයවර්ධනගේ එ.ජා.ප ආණ්ඩුව ප්‍රචණ්ඩ ලෙස ලිහා දැමූහ. ඒ ම්ලේච්ඡ මහ ජාතිවාදයේ ආධිපත්‍ය විසින් වසර 25 ට වැඩි කලක යුද්ධය සමග රාජ්‍ය සිංහල-බෞද්ධ රාජ්‍යයක් බවට පත් කර ඇත.

අප්‍රමාණ සාක්ෂි සංඛ්‍යාවක් ඒ සඳහා ඇත. උතුරු-නැගෙනහිර හමුදා පාලනයක් පවතින්නේ සිංහල-බෞද්ධ ආධිපත්‍යයක් වශයෙනි. ඒ පළාත් දෙකෙහි පදිංචියේ සහ ඉඩම් අයිතියේ වාර්ගික සංයුතිය සිංහල-බෞද්ධයින්ගේ වාසියට වෙනස් කෙරෙන්නේ සිංහල-බෞද්ධ රාජ්‍යයෙහි බලහත්කාරයෙනි. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති විසින් යාපනය විශ්ව විද්‍යාලයයේ නීති අංශයේ ආචාර්ය කුමාර ගුරුපරන්ට යාපනයේ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් උසාවියේ පෙනී සිටීම තහනම් කරන මෙන් එහි උප කුලපතිට ලිඛිතව දන්වා යැවූයේ හමුදාවේ වුවමනාවට විය. ප්‍රතිපාදන කොමිසම අමතා ඊට විරුද්ධව ලිඛිත දැන්වීමක් කර තිබූයේ 7,000ට අධික විශ්ව විද්‍යාල ඇදුරන්ගෙන් 23 කු පමණි. විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයේ බලධාරීන්ගෙන් සිදුවූ එවැනි සිංහල-බෞද්ධ මැදිහත්වීම් තවත් තිබිණ.

එවගේම මුස්ලිම් විරෝධයේ ව්‍යාප්තිය සමග පාසල් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් තම ගුරු මණ්ඩලයේ සහෝදර මුස්ලිම් ගුරුවර ගුරුවරියනට පාසලට ඇතුළුවන්නට ඉඩ නොදුන් අවස්ථා දුර්ලබ නොවුනි. ගුරුවර ගුරුවරියන් මුස්ලිම් ළමුන්ට පරිභව කළ, පංතියෙන් පිටමං කළ අවස්ථා අපමණ වූහ. ඇතැම් පරිපාලන නිලධාරීන් තම කාර්යාල වලට මුස්ලිම් කාන්තාවන් හිජාබය පැළඳ පැමිණීම තහනම්කර තිබිණ.

ඒ අතර, කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ශිහාබ්ඩීන් දඩයම, අන්තර් ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධ සම්මුති පනත (ICCPR) විකෘති අර්ථකතනයකට ලක් කරමින් හසළක හසීමා නැමැති මුස්ලිම් කාන්තාව, පොල්ගහවෙල ශක්තික සත්කුමාර, මන්නාරම සිලාවතුරේ තරුණ කවි ආනාෆ් ජසීම් සහ හාස්‍යෝත්පාදන රංගණ ශිල්පිනී නතාශා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීමද සිංහල-බෞද්ධ මහ ජාතිවාදය වෙනුවෙන් රාජ්‍ය මැදිහත්වීමේ තවත් සාක්ෂි කිහිපයකි. එවගේම කිසිදු සැකයකින් තොරව අයි.සී.සී.පී.ආර් පනත යටතේ වහා අත්අඩංගුවට ගත යුතු අම්පිටියේ සුමනරතන හාමුදුරුවෝ අත්අඩංගුවට නොගැනීම හා උන්වහන්සේට එරෙහිව නීතිමය පියවර නොගැනීමත් රාජ්‍ය ඇත්තේ සිංහල-බෞද්ධ මහ ජාතිවාදය සඳහා යැයි ඔප්පු කරන්නකි.

නතාශා එදිරිසූරිය වෙනුවෙන් ඇප ඉල්ලා මහ අධිකරණයෙහි ගොනු කළ පෙත්සම විමසීමෙන් පසු විනිසුරු අධිත්‍ය පටබැඳිගේ විසින් ජුලි 05 වන දින ඉදිරිපත් කළ කරුණු දැක්වීමෙන් සමස්ථ රාජ්‍යයම සිංහල-බෞද්ධකරණයවී ඇති බැව් විස්තර වන්නේය. සැකකරුවකුගේ හෝ සැකකාරියකගේ වගකීම් විරහිත, නොසැළකිලිමත් එහෙත් චේතනාවකින් තොර ප්‍රකාශ මගින් යම් වාර්ගික, ආගමික හෝ අවවරප්‍රසාදිත ප්‍රජාවකගේ හෝ පුද්ගලයින්ගේ සිත් රිදුනද, අන්තර් ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධ සම්මුති පනතේ 3(1) වගන්තියට එවැන්නක් අදාල නොවන්නේ යැයි අන්තර් ජාතික නීතිය පිළිගන්නා බව විනිසුරුවරයා සඳහන් කළේය.

“මේ අනුව මෙම නතාෂා එදිරිසූරිය නමැති සැකකාරිය වැඩසටහනේදී කළ සමස්ථ ප්‍රකාශය සළකා බැලීමේදී එය කිසිසේත්ම බෞද්ධයන් ඉලක්ක කරගෙන ඔවුන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය හෝ සතුරුකම් කිරීමේ අරමුණින් එහි ප්‍රේක්ෂකයන් උසි ගැන්වීමේ ක්‍රියාවලියක යෙදුණු බවට පෙනී නොයයි. එබැවින් අන්තර් ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධ සම්මුති පනතේ 3(1) වගන්තිය මෙම සැකකාරිය කෙරෙහි යොදා ගත්තේ කෙසේද යන්න බරපතල ගැටළුවකි” යැයි විනිසුරු පටබැඳිගේ සඳහන් කරන්නට විය.

විනිසුරුවරයා එතුමන්ගේ තීන්දුවෙහි කියන අයුරු “විශේෂයෙන්ම බෞද්ධ භික්ෂුන් හෝ වෙනත් ආගමික නායකයෙක් හෝ සමාජයේ පෙළඹවීමේ බලයක් තියෙන පුද්ගලයෙකු (Influential Person) පැමිණිල්ලක් කළ පමණින්ම, ඒ මත පිහිටා පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම විමර්ශකයෙකුගේ කාර්යභාරය නොවේ.” අධිකරණ ක්‍රියාවලියෙහි එනමුත් සිදුව ඇත්තේ නොවිය යුතු එවැනි සිදුවීම්ය. ඒ අනුව කියැවෙන්නේ කුමක්ද? අධිකරණයෙහිද නීතිය අවභාවිත කිරීම් සඳහා දැන් ඉඩ ලැබී ඇති බවය.

සමස්ථ රාජ්‍යයේම ඒ ගරා වැටීම සමග අනෙක් බරපතල විනාශය වන්නේ ඉහළ නිලධර පැලැන්තියේ සොරා කෑම ය. එය යම් පමණකට හෙළි වූයේ පසුගිය මාස කිහිපයේ පාර්ලිමේන්තුවේ “පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව” (COPE) හමුවේ රජයේ ඉහළ නිලධාරීන් ප්‍රශ්න කෙරුණු විටය. ඇතැම් අවසථාවල ඉහළ නිලධාරීන්ගේ රුපියල් දස ලක්ෂ ගණන් සොරකම් දූෂණ, අදාල ඇමතිවරයා දන්නේද නැත. බදු නොගෙවන යෝධ සමාගම් හා ධනවත් පුද්ගලයින් කොපමණ සිටීදැයි හා ඔවුන්ගෙන් මෙතෙක් අවුරුදු ගණනාවක් රුපියල් කෝටි දහස් ගණන් බදු මුදල් අය නොකිරීමට හේතු පිළිබඳ හරියාකාර විස්තරයක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවේද ප්‍රකාශ නොවුනකි. රේගුවේ හා සුරාබදු දේපාර්තමේන්තුවේද බදු අය කිරීම් යෝධ දූෂණ සමගින් අතහැර ඇතැයි වාර්තා විය.

ඇතැම් රාජ්‍ය ආයතනවල යෝධ දූෂණ සිදුව ඇත්තේ ඉහළ නිලධාරීන් විසින් පිටස්තර උපදේශකයින් හා විශේෂඥයින් සමග සිය ආයතන කාර්යක්ෂම කිරීමට යැයි වැදගැම්මකට නැති ව්‍යාපෘති සැළසුම්කර පෞද්ගලික සමාගම් වෙත බාර දීමෙනි. විදුලිබල මණ්ඩලයේ දහස් ගණනක අතිරික්ත සේවක පිරිසක් ඇතිව රුපියල් දස ලක්ෂ ගණනින් මාසික අතිකාල ගෙවීම්ද කරමින් ඔවුන්ගේ සේවා සැපයීම් පෞද්ගලික සමාගම් වෙත ලබාදී තිබීමත් නොකඩවා සිදුකෙරෙන බරපතල දූෂණයකි. ඒ ]පිළිබඳ කිසිදු තොරතුරක් ප්‍රසිද්ධ නොකිරීමට මහජන උපයෝගිතා කොමිසම් සභාවද (PUCSL) හවුල්වීම විශේෂයෙන් සඳහන් විය යුත්තකි.

මෑතක හෙළිදරව් වූ ජීවිත ගණනාවක් අහිමි වූ හා තවත් සිය ගණනක් රෝගීන් බවට පත් කෙරුණු අවර ගණයේ ඖෂධ වර්ග ආනයනය කිරීමේ දැවැන්ත දූෂණය සඳහා රජයේ නිලධරයින්ද රජයේ ඇතැම් වෛද්‍ය විශේෂඥයින්ද හවුල්ව සිටියහ. ඊට අමතරව අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයෙහි භාවිත නොවන, ලියාපදිංචි නොකෙරුණු, කල් ඉකුත්වූ හා ආසන්නයේදීම කල් ඉකුත්වන රුපියල් කෝටි ගණන් වටිනා ඖෂධ වර්ග ගණනාවක් රේගු බදු වලින් නිදහස්කර ආධාර වශයෙන් ගෙන්වා ගෙන ඇත. ඒ ඖෂධ ඇමෙරිකාවේ කල් ඉකුත්වී නම්, ඒවා ආරක්ෂිතව විනාශ කිරීමට එම සමාගම් ඩොලර බිලියන ගණනක් වැය කළ යුතු වන්නේය. ආධාර වශයෙන් ඒවා ලබාදීමෙන් බදු සහනත් ඔවුන් ලබා ගන්නේය. ඇමෙරිකානු සමාගමකට එවැනි වාසියක් ලබාදීමට මේ නිලධාරීන් කිහිප දෙන හවුල්ව ඇත්තේ ඇඟිළි ලෙව කන්නට නොවෙති.

රාජ්‍ය සිංහල-බෞද්ධකරණයවීම සමග වන මේ බරපතල පිරිහීම සහ දූෂණ ගැන කිසිදු කතාවක් නොමැතිව විදේශ ණය පියවීම ගැන ඇමෙරිකා සංචාරයේදී ජ.වි.පෙ ජනාධිපති අපේක්ෂක ලෙස පෙනී සිටින අනුර කුමාර කියන අයුරු ඩොලර ණය කොටසක් පැත්තකින් තියා තවත් කොටසක් ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ඩොලර බිලියන 11 ක් පමණ ගෙවා ගෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ යෑමට ඉඩ තිබිණ. එහෙත් ඉන් නැවත බිඳ වැටෙන විශ්වාසය හමුවේ ඔහුද රට ගොඩ දැමීමට බලාපොරොත්තුවන විදේශ සෘජු ආයෝජන නොලැබෙනවාට අමතරව සිදුවන්නේ පැත්තකින් තියන ඩොලර ණය හා ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පොලී වැඩි කිරීමක් සමග වසර 10 ට පමණ කල් තබන ඩොලර ණය වලට අමතරව, ඉදිරියේදී තවත් ඩොලර බිලියන ගණන් කොහෙන් හෝ ණයට ගැනීමට සිදුවීමය.

අවාසනාව, අපගේ ආනයන අපනයන වෙළඳ හිඟය සහ අයවැය හිඟය පියවීමට කිසිදු පියවරක් කිසිවකු යෝජනා නොකිරීමය. සෑම වසරකම වාගේ ආනයන වියදම දළ වශයෙන් ඩොලර බිලියන 23 ක් පමණ වන විට අපනයන ආදායම ඩොලර බිලියන 16 ක් 17 ක් පමණ වන්නේය. පසුගිය වසරවල මේ ඩොලර බිලියන 06 ක 07 ක හිඟය පියවා ගැනීමට හෝ ඩොලර් ඉපැයීමට මේ විවෘත වෙළඳපල ආර්ථිකයට නොහැකි විය. ඒ අතර අවශ්‍ය අනවශ්‍ය ව්‍යාපෘති වෙනුවෙන් විදේශ ණය ලබා ගැනීමෙන් ඒ හිඟය විශාල විය. ණය වාරිකද ඊළගට එකතු විය. එනිසා වහා ගෙවීමට ඇති ණය වෙනුවෙන් අපට ඩොලර බිලියන 40 ට වැඩියෙන් දැන් අවශ්‍යව ඇත.

ඒ මුදල් සෙවීම බරපතල ගැටළුවක් වන අතර, ජවිපෙ නායකයින් කියන ඔවුන්ගේ හිතෛශීන් ඒ ඩොලර ප්‍රමාණය එකතුකර දුන්නත් ඒ එක වරකි. ගැටළුව ඇත්තේ එළෙසින් වරක් මුදල් සොයා ගත්තත් මෙවැනි පිරිහුණු දූෂිත රාජ්‍යයක් සමගින් මේ රට ගොඩ දැමිය හැකිද යන්නෙහිය. දේශීය අයවැය හිඟය පියවා ගැනීමට අවශ්‍ය බදු මුදල් එකතුකර ගැනීමට නොහැකි සහ ඊට නුසූදානම්, වාර්ෂිකව රජයේ ආයතන වලට වෙන් කෙරෙන මුදලින් වසරේ අවසන් කාර්තුව අවසන් වනවිට තෙවන කාර්තුවේ මුදල හෝ පූර්ණ ලෙස වැය කිරීමට තරම් වැඩපිළිවෙලක් හා කාර්යක්ෂමතාවක් නොමැති, අන්ත දූෂිත වර්ගවාදී රාජ්‍යක් සමග මුදල් ලබා ගත්තත් මේ අර්බුදයෙන් රට ගොඩ ගත නොහැකිය. දේශපාලකයින් කියන ආකාරයේ මෙය හුදු ආර්ථික අර්බුදයක් නොවේ. මෙය අන්තයට පිරිහුණු සමාජීය හා දේශපාලන විනාශයක්ද උරුම කෙරූ, හතර අත දුව ගිය මහා අර්බදුයකි.

එනිසා අප පැමිණ ඉන්නේ ඩොලර මගින් මේ අර්බුද ගොඩ දමා ගත හැකි කසළ පිටියකට නොවේ. අප පැමිණ ඉන්නේ දුර දිග යන රාජ්‍ය ප්‍රතිසංස්කරණ සමගින් කසළ පිටිය සුද්ද පවිත්‍ර කර ගැනීමට ක්ෂණික විසඳුමක් සොයා ගත යුතු මොහොතකට ය. එවැනි සුද්ද පවිත්‍ර කිරීමකට මේ සිංහල-බෞද්ධ ඒකීය රාජ්‍ය ජනතාකරණය කළ යුතු වන්නේය. ජාතික ප්‍රතිපත්ති තීන්දු කිරීම හා ජාතික වගකීම් කොළඹ මධ්‍යම ආණ්ඩුවට ඉතිරිකර පළාත් සංවර්ධන වගකීම් නියමාර්ථයෙන්ම පළාත්බද ජනතාවට පැවරිය යුතු වන්නේය. එවන් පැවරීමක් සඳහා ජනතා වගකීමට බැඳ තැබිය හැකි හවුල්කාර, සහභාගි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු පාලනයක් අලුතින් ව්‍යවස්ථාගත කළ යුතුව ඇත. ඒ සඳහා විවෘත සමාජ කතිකාවක් අනිවාර්ය වන්නේය. ජාතිය, කුලය, ආගම අනුව, පෞද්ගලික ආර්ථික වාසි හා තාන්න මාන්න වෙනුවෙන් තමන්ට හිතවත් මන්ත්‍රීවරයෙකු පත්කර ගැනීමට මෙතෙක් ඡන්දය දුන් ආත්මාර්ථකාමී “පටු මිනිසා” වෙනුවට අනාගත සංවර්ධනය වෙනුවෙන් වැඩපිළිවෙලක් ඇති ආණ්ඩු පාලනයක් තෝරා පත්කර ගැනීමට ඡන්දය දෙන දැනුවත් පරාර්ථකාමී ඡන්දදායකයෙකු හදා ගැනීමත් සමාජ කතිකා ඔස්සේ සිදුවිය යුත්තකි.

අවසන් වශයෙන් කිව යුත්තේ දීලා බලන්නට තරම් රටක් ඉතිරිව නැතිවා වාගේම අලුත් කිසිවෙකුත් මේ මැතිවරණ දේශපාලනයේ නැත. හැමෝම දූෂිත ජාතිවාදී ආණ්ඩු හදන්නටත් ඒවායේ පංගුකාර වැඩ කිරීමටත් හවුල් වූවන්ය. ඉතිහාසයේ කාගෙනුත් වූ ඒ වැරදි කතා නොකළත් අනාගතය සඳහා දියුණු සමාජ කතිකාවකට ඉදිරිපත් කරන තම පක්ෂයේ සැළසුම කුමක්දැයි ජනාධිපති අපේක්ෂකයින්ගෙන් අසන්නටත් ඒවා සාංවාදයට ගැනීමටත් දැනුවත් පිරිස් හෝ මේ වටයේදී ඉදිරිපත් විය යුතුව ඇත.

| කුසල් පෙරේරා

2023 නොවැම්බර 06