නැති ප්‍රශ්නයක් ඇති කරගෙන උත්තරයක් සෙවීමට තැතනීමේ මායම

නැති ප්‍රශ්නයක් ඇති කරගෙන උත්තරයක් සෙවීමට තැතනීමේ මායම

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති තනතුරේ කටයුතු කිරීම තාවකාලිකව අත්හිටුවා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුව, ජනාධිපතිවරයා සහ කතානායකවරයා මේ වන විට විශාල ප්‍රශ්නයක් කරගෙන තිබේ. ප්‍රශ්නය ඇති කෙළේ තමන් නොව, ශ්‍රේෂ්ඨාධිකරණය යැයි ජනාධිපතිවරයා කියයි. පසුගිය දවසක දේශපාලන රැස්වීමක් අමතමින් ඔහු කියා සිටියේ, මේ ප්‍රශ්නය වහා විසඳා නොගත්තොත්, සමහරවිට, සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයටත් බලපෑමක් ඇති විය හැකි බවයි. ඔහු එහිදී නොකියා කීවේ, ඡන්දය පැවැත්වීමට බැරි තත්වයක් පවා මේ නිසා ඇති විය හැකි බවයි.

එහෙත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාරව පොලිස්පතිවරයෙකු නැති තත්වයක් ඇති වී තිබීම, මැතිවරණ කටයුතු කරගෙන යාමට බාධාවක් නොවන බව, මැතිවරණ කොමිසම මීට දින කිහිපයකට කලින් ප්‍රකාශ කර තිබුණි. කෙසේ වෙතත්, මැතිවරණ කොමිසමේ එම ස්ථාවරය (30) දින වන විට තරමක් දියාරු වී තිබුණි. එහි සභාපතිවරයා ජනාධිපතිවරයාට ලියමින් මේ ප්‍රශ්නය විසඳා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණු බැවිනි. 

මොන ප්‍රශ්නයද? පොලිස්පතිවරයෙකු නැති වීම ජනාධිපතිවරණයේ කටයුතු කරගෙන යාමට බාධාවක් විය හැකිය යන ප්‍රශ්නයයි. අද පුවත්පත් වාර්තා කරන අන්දමට මැතිවරණ කොමිසම මේ ගැන සාකච්ඡා කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාව කැඳවා තිබේ. කොටින්ම, ජනාධිපතිවරයාට සහ කතානායකවරයාට ප්‍රශ්නයක් වූ අධිකරණ තීන්දුව දැන් මැතිවරණ කොමිසමටත් ‘ප්‍රශ්නයක්’ වීමට යන්නේද යන ප්‍රශ්නය කෙනෙකුගේ හිතේ ඇති වෙයි. 

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මේ සම්බන්ධයෙන් වැදගත් කාරණයක් පෙන්වා දී තිබුණි. එනම්, තමාට බෝම්බ වැදී රෝහල්ගතව සිටි අවස්ථාවේ යුද්ධය කරගෙන යාමට මොනම බලපෑමක්වත් එයින් සිදු නොවුණු බවයි. යම් නිලයක් තාවකාලිකව හිස් වූ විට ඔහුගේ/ඇගේ නිල ධූරාවලියේ ඊළඟට සිටින තැනැත්තා විසින් අදාළ රාජකාරි කටයුතු කරගෙන යනු ලැබේ. එයම, පොලිස්පති ධුරය තාවකාලිකව හිස් වී ඇති මොහොතේත් වලංගු විය යුතුය.

ඊළඟට, වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීමට ජනාධිපතිවරයා නීතියෙන් බැඳී සිටියි. එහෙත්, ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන බවට මේ වන විට ප්‍රකාශ කර ඇති තත්වය තුළ, එවැනි පත්කිරීමක් කළොත්, පසුව තමාට එරෙහිව ඡන්ද පෙත්සමකට එය නිමිති විය හැකි යැයි ඔහු කියා තිබේ. එය, ඉතා අහේතුක ප්‍රකාශයකි. කෙනෙකු ඡන්දයකට ඉදිරිපත් වන අදාළ කාල වකවානුවේ පත්වීම් දීමෙන් වැළකී සිටිය යුතු බවට පැනවීමක් ඇත්තේ, දේශපාලනික වාසි තකා කෙනෙකුට රාජ්‍ය බලතල පාවිච්චි කිරීමට ඇති අවස්ථා අහුරාලීමටයි. එහෙත්, මේ අවස්ථාවේ, වැඩබලන පොලිස්පතිවරයෙකු අවශ්‍ය නම් ජනාධිපතිවරයාට එම පත්වීම කළ හැකි බව, දේශබන්දු තෙන්නකෝන්ගේ වැඩ අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද තීන්දුවේම ප්‍රකාශ කර තිබේ. එබැවින්, කිසි ඡන්ද පෙත්සමකට බිය නොවී, වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීමට ජනාධිපතිවරයාට බාධාවක් නැත. එහෙත්, ප්‍රශ්නයක් නොමරා නඩත්තු කිරීමම කෙනෙකුගේ අභිප්‍රාය වන්නේ නම්, අදාළ ප්‍රශ්නයට විසඳුම් දහසක් තිබුණත්, එම තැනැත්තා ඒ එකක්වත් පිළිගන්නේ නැත.

කෙසේ වෙතත්, වැඩබලන පොලිස්පතිවරයෙකු නැතිව පවා ඡන්දයක් පැවැත්වීමේ හැකියාව ඇති බව, ඊට අදාළ මැතිවරණ ක්‍රමවේදයන් දෙස බැලීමෙන් පෙනේ. ඕනෑම ඡන්දයක් භාරව කටයුතු කරන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි. තවත් නියෝජ්‍ය පොලිස්පතිවරු ඒ ඒ පළාත් භාරව ඡන්ද කටයුතු නිරීක්ෂණය කරති. පොලිස්පතිවරයාගේ අනුමැතිය අවශ්‍ය යම් කාරණයක් වෙයි නම්, ඉහත කී පරිදි, ධූරාවලියේ ඉහළින්ම සිටින නිලධාරියාගේ අනුමැතිය ඒ සඳහා ලබාගත හැක්කේ, මේ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් පවා එවැනි ක්‍රියාවක් ආරක්ෂා කෙරෙන සහතිකයක් සපයා දී ඇති බැවිනි. ඒ නිසා, ජනාධිපතිවරයා සහ කතානායකවරයා කුමක් කීවත්, ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්‍ය කරන සියලු බලතල මැතිවරණ කොමිසම සතුව ඇති බැවින්, මේ අවස්ථාවේ ජනාධිපතිවරයාට ප්‍රශ්නයක් වී ඇති කාරණය මැතිවරණ කොමිසමට ප්‍රශ්නයක් වීමට හේතුවක් නැත. එය, සියලු බලතල සහිත ස්වාධීන කොමිසමක් වන බැවිනි.

අධිකරණ තීන්දු වෙනස් කරගැනීමේ අලුත් ක්‍රමයක්

මේ ව්‍යාජ ප්‍රශ්නය විසඳාගැනීම සඳහා ජනාධිපතිවරයා යෝජනා කරන ක්‍රියාමාර්ගයත් හරි අපූරු ය. එනම්, කතානායකවරයා මේ ප්‍රශ්නය ගැන අගවිනිසුරුවරයා සමග සාකච්ඡා කළ යුතු බවයි. තමාත් ඒ ගැන අගවිනිසුරුවරයාට කතා කිරීමට හිතාගෙන සිටින බවත් ජනාධිපතිවරයා කීවේය. ජනාධිපතිවරයා සහ කතානායකවරයා, මේ කියන තීන්දුව ප්‍රකාශයට පත්කළ පෙත්සමේ ප්‍රධාන වගඋත්තරකරුවන් දෙන්නාය. ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධානියා සමග සාකච්ඡා කොට, අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන්ට තමන්ට වාසිදායක තීන්දුවක් ලබාගැනීමට බැලිය යුතු යැයි කීමම, අධිකරණයට කරන අපහාසයකි. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් තිදෙනෙකු විසින් දෙන ලද නියෝගයක්, එම අධිකරණයේ ප්‍රධානියාට වෙනස් කළ හැකි ප්‍රතිපාදනයක් අපේ නීතියේ නැත. විශේෂයෙන්, වගඋත්තරකරුවන්ගේ ඉල්ලීමක් පිට එසේ කිරීම කොහෙත්ම නොකළ යුතු දෙයකි. ඊටත් වඩා, මේ වගඋත්තරකරුවන් දෙන්නා රාජ්‍ය ධූරාවලියේ පළමුවැන්නා සහ තෙවැන්නා වීම නිසා, එවැන්නක් කිරීම කොහෙත්ම සදාචාරවත් වන්නේ නැත. මන්ද යත්, එය විධායක සහ ව්‍යවස්ථාදායක බල පරාක්‍රමය අනිසි ලෙස අධිකරණය කෙරෙහි පැතිරවීමක් විය හැකි බැවිනි.

මේ ඊනියා ප්‍රශ්නය මතු කරගත් අවස්ථාවේ ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කිරීමට යන බවක් මාධ්‍ය වාර්තා කර තිබුණි. ඒ ප්‍රශ්න දෙක වශයෙන් දක්වා තිබුණේ මේවා ය:

(1) ‘ව්‍යවස්ථා සභාවේ’ සාමාජිකයෙකු ඡන්දය දීමෙන් වැළකී සිටීම, අදාල පත්වීම කිරීමට විරුද්ධව පාවිච්චි කළ ඡන්දයක් සේ ගණන්ගත යුතු නැත්ද?

(2) ‘ව්‍යවස්ථා සභාවෙන්’ අනුමත කළ පත්වීමක් අවලංගු කිරීමට අධිකරණයට බලයක් තිබේද?

මේ ප්‍රශ්න දෙක පැහැදිලි කරගැනීම සඳහා, අප දැන් කතා කරන ප්‍රශ්නයේ මූලය වෙත යාම ප්‍රයෝජනවත් ය. ඒ මෙසේ ය: මුලින්ම, දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති වශයෙන් පත්කිරීමේ නිර්දේශය ජනාධිපතිවරයා විසින් ‘ව්‍යවස්ථා සභාව’ වෙත යොමු කර තිබුණි. එහෙත් ඔහුව එම තනතුරට පත්කිරීම ගැන ‘ව්‍යවස්ථා සභාවට’ පොදු එකඟතාවකට පැමිණිය නොහැකි විය. එබැවින් ඒ ගැන ‘ව්‍යවස්ථා සභාව‘ තුළ ඡන්ද විමසීමක් කෙරුණි. එහිදී, දේශබන්දු තෙන්නකෝන්ගේ පත්වීමට පක්ෂව ඡන්ද 4 ක් ලැබුණි. විපක්ෂව ඡන්ද 2 ක් ලැබුණි. සාමාජිකයන් 2 ක් ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී තිබුණි.

පවතින නීතිය අනුව, මෙවැනි පත්වීමක් කිරීමට ‘ව්‍යවස්ථාදායක සභාවේ’ බහුතර අනුමැතිය අවශ්‍ය කෙරේ. මේ සභාව සමන්විත වන්නේ සාමාජිකයන් 10 දෙනෙකුගෙනි. එහෙත්, මේ වන විට එක් සාමාජිකයෙකු පත්කර නැති නිසා, එහි වර්තමාන සංයුතිය වන්නේ සාමාජිකයන් 9 දෙනෙකි. එම ප්‍රමාණයෙන් බහුතරය යනු 5 දෙනෙකුගේ අනුමැතියයි. එනම්, 5 දෙනෙකු ඒ පත්වීමට පක්ෂව ඡන්දය දිය යුතු බවයි. යම් හෙයකින් පත්වීමට පක්ෂව සහ විපක්ෂව ඡන්ද 4 බැගින් සමසමව බෙදී ගියොත් පමණක්, ‘ව්‍යවස්ථා සභාවේ’ සභාපති වශයෙන් කටයුතු කරන කතානායකවරයාට ඡන්දයක් හිමි වන්නේය. එය, අදාළ පත්වීමට පක්ෂව හෝ විපක්ෂව ඔහුට පාවිච්චි කළ හැකිය. දැන්, දේශබන්දු තෙන්නකෝන්ට පක්ෂව ඡන්ද 4 ක් ලැබී තිබුණු අතර ඔහුට විරුද්ධව ඡන්ද 2 ක් ලැබී තිබුණු බව අපි දුටුවෙමු. පක්ෂ-විපක්ෂ ඡන්ද ප්‍රමාණය සමාන නැති නිසා, කතානායකවරයාට ඡන්දයක් පාවිච්චි කිරීමේ අයිතියක් උදා නොවුණි. එසේ හෙයින්, දේශබන්දු තෙන්නකෝන්ගේ පත්වීම ‘ව්‍යවස්ථා සභාවෙන්’ සම්මත නොවුණි.

එසේ තිබියදී කතානායකවරයා කළේ කුමක්ද? ඔහු ජනාධිපතිවරයාට ලියුමක් ලීවේය. ඒ ලිපියෙන් ඔහු කියා සිටියේ, පාවිච්චි නොකළ ඡන්ද දෙක, පත්වීමට ‘විරුද්ධව’ පාවිච්චි කළ ඡන්ද දෙකක් වශයෙන් “ඔබතුමා සලකන්නේ නම්”, තමන්ගේ ඡන්දය මේ පත්වීමට පක්ෂව පාවිච්චි කළා සේ කරුණාකර සලකන ලෙස ය. මෙහිදී කතානායකවරයා පරිස්සම් වී තිබේ. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති වශයෙන් පත්කිරීමේ යෝජනාව ‘ව්‍යවස්ථා සභාවෙන්’ සම්මත නොවූ බව ඔහු හොඳින් දනී. ඒ නිසා ඔහු කරන්නේ, බෝලය ජනාධිපතිවරයාගේ පැත්තට වීසි කිරීමයි. “ඔබතුමා සලකන්නේ නම්” යැයි ඔහු ලියා ඇත්තේ එබැවිනි.

එතකොට මේ ඉතා දියුණු සහ බුද්ධිමත් දේශපාලන සත්වයෙකු වශයෙන් සැලකෙන ජනාධිපතිවරයා කෙළේ කුමක්ද? අර පාවිච්චි නොකළ ඡන්ද දෙක, දේශබන්දු තෙන්නකෝන්ගේ පත්වීමට ‘විරුද්ධව’ පාවිච්චි කළ ඡන්ද දෙකක් වශයෙන් සලකා, (එවිට, පක්ෂ-විපක්ෂ ඡන්ද ප්‍රමාණය 4 සහ 4 වශයෙන් සමාන වන තත්වය තුළ) කතානායකවරයාගේ ඡන්දය ඊට පක්ෂව පාවිච්චි කළ ඡන්දයක් වශයෙන් සලකා, පොලිස්පතිවරයා වශයෙන් දේශබන්දු තෙන්නකෝන්ව පත්කිරීමයි.

ජනාධිපතිවරයාගේ ගණිතය අනුව පසුගිය ජනාධිපතිවරණයෙන් ගෝඨාභය පරාදයි

දැන් මෙසේ සිතන්න: අප අවසාන වරට ජනාධිපතිවරයෙකු ඡන්දයෙන් තෝරා පත්කරගත්තේ 2019 නොවැම්බර් මාසයේ ය. එහිදී රටේ ජනාධිපතිවරයා වශයෙන් පත්කරගැනුණේ ගෝඨාභය රාජපක්ෂයි. ඔහු ලැබූ ඡන්ද ප්‍රමාණය 6,924,255 යි. එය මුළු ඡන්ද ප්‍රමාණයේ ප්‍රතිශතයක් වශයෙන් ගත් විට සියයට 52.25 කි. එම ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි නොකළ ප්‍රතිශතය රටේ මුළු ඡන්දදායකයන්ගෙන් සියයට 16.28 කි. දැන්, මෙසේ ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටි පිරිස ගෝඨාභය රාජපක්ෂගේ පත්වීමට ‘විරුද්ධව’ ඡන්දය පාවිච්චි කළ පිරිසක් වශයෙන් අප සැලකුවොත්, එම ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ පරාද ය! දේශබන්දු තෙන්නකෝන්ගේ පත්වීම සම්බන්ධයෙන් ‘ව්‍යවස්ථා සභාවේ’ ඇති වූ ඡන්ද ප්‍රතිඵලය, දැනුම් තේරුම් ඇතැයි සැලකෙන ජනාධිපතිවරයා ගණන් හදා ඇත්තේ එලෙස ය!

මේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ වංචනික පිළිවෙත ප්‍රදර්ශනය කරමින් ඔහු (අගමැතිවරයා ලවා) කියවන ඊළඟ කතාව වන්නේ, ‘ව්‍යවස්ථා සභාව’ ගන්නා තීරණයක් ප්‍රශ්න කිරීමට අධිකරණයට බලයක් නැති බවයි. මන්ද යත්, ‘ව්‍යවස්ථා සභාව’ ව්‍යවස්ථාදායකයේම කොටසක් වන බැවින්ලු. පළමු කාරණය වන්නේ, ‘ව්‍යවස්ථා සභාව’ ව්‍යවස්ථාදායකයේ කොටසක් නොවන බවයි. එය විධායකයේ කොටසකි. නිකං හිතා බලන්න: ‘ව්‍යවස්ථා සභාව’ කරන්නේ, උසස් නිලතලවලට පුද්ගලයන් පත්කිරීමට අදාළ කාරියකි. එය ‘විධායක’ වැඩක් බව පැහැදිලියි. ඒ කාරණය, එනම් ‘ව්‍යවස්ථා සභාව’ යනු විධායකයේ දිගුවක් බව, 2002 දී මේ ජනාධිපතිවරයා අගමැති වශයෙන් සිටියදී ගෙනා 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය වශයෙන් එදා හැඳින්වූ (එහෙත් සම්මත නොවූ) ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ සත් පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් විනිශ්චයක් ලබා දී තිබේ. ඒ විනිශ්චය වුණේ, පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්වලට අදාළව, ‘ව්‍යවස්ථා සභාවේ’ තීන්දුවක් ප්‍රශ්න කිරීමේ බලය අධිකරණයට ඇති බවයි. ඒ අධිකරණ බලය අහෝසි කරගැනීමට එදා (2002) ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස් අසාර්ථක වූ මොහුම අද නැවතත් ඒ කාරණයම මතු කිරීමට දැඟලීම නපුරු වංචනිකත්වයකි.

එපමණක් නොව, මේ කාරණය ගැන මහා සංඝ රත්නය සමගත් සාකච්ඡා කරන බව ඔහු කීවේය. ඒ ඇයි? විධායකය විසින් මූලික අයිතීන් කඩකරනු ලැබීමේදී, ඊට එරෙහිව පුරවැසියන්ගේ මූලික අයිතීන් ආරක්ෂා කරදීමට අධිකරණයට ඇති බලය ගැන, මහා සංඝ රත්නය සමග කතා කිරීමට ඇත්තේ කුමක්ද? මෙය, ආගම හෝ සාසනය සම්බන්ධ ප්‍රශ්නයක්ද?

ඔව්, විමල් වීරවංශ කල්ලිය බොහෝ කලකට පසු දැන් අලුතෙන් කලඑලිබැස ඇති බව ඔබ දැක්කේද? දේශබන්දු තෙන්නකෝන්ට වාරණ නියෝගයක් පැනවීම, ‘පල්ලියේ කුමන්ත්‍රණයක්’ වශයෙන් අර්ථගැන්වීමට මේ පිරිස් දැන් කටයුතු කරති. මේ මූලික අයිතිවාසිකම් පෙත්සමේ ප්‍රධාන පෙත්සම්කරුවෙකු වන්නේ, කාදිනල් මැල්කම් රංජිත් පියතුමා ය. ඔහුගේ පෙත්සමකින් පොලිස්පති තනතුර අහිමි වී ඇත්තේ, බෞද්ධයෙකු වන දේශබන්දු තෙන්නකෝන්ට ය. ජාතිවාදය සහ ආගම්වාදය ගසාකෑමට කුප්‍රකට පාර්ශ්ව, දැන් ‘පල්ලියේ කුමන්ත්‍රණයක්’ ගැන කතා කරන්නේ එම සන්දර්භය දඩමීමා කරගනිමිනි. ඔවුන් කියන පරිදි, දේශබන්දු තෙන්නකෝන්ගේ නීති විරෝධී පත්වීම, ඔහු බෞද්ධයෙකු වීමේ නාමයෙන් අප පිළිගත යුතුය! එවැනි භේදකාරී දේශපාලනයකට ප්‍රතිපත්තිමය වශයෙන් විරුද්ධ යැයි සැලකෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහත්, මේ ඉතා ලෞකික කාරණයත් මහා සංඝරත්නය සමග කතා කළ යුතුව ඇතැයි තීරණය කර ඇත්තේ, අර කියන ආගම්වාදී රැල්ල සමග එකට පිහිනීමට බව අනුමාන කළ හැකිය.

අවසානයේ ඔහු ජනතාවගෙන් තවත් ඉල්ලීමක් කරයි. එනම්, තවත් නම් මූලික අයිතිවාසිකම් නඩු කියාගෙන මේ මොහොතේ උසාවි යන්නට එපා යන්නයි. ඒ ඇයි? ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට එය බාධාවක් විය හැකි නිසාලු. ඒ අනුව, අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අලුත් වගන්තියක් ඇතුළු කළ යුතුව ඇත. එනම්, “ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්වී ඇති අවස්ථාවක, පුරවැසියන්ගේ මූලික අයිතීන් අත්හිටුවනු ලැබේ” යනුවෙනි.

Gamini Viyangoda

| ගාමිණී වියන්ගොඩ