ව්‍යාජ මැතිවරණ සමීක්ෂණ මඟින් සැබැ ජනමතය පිළිඹිබු වේද? - සම්පත් ජයලාල්    

ව්‍යාජ මැතිවරණ සමීක්ෂණ මඟින් සැබැ ජනමතය පිළිඹිබු වේද? - සම්පත් ජයලාල්    

මේ වන විට 2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම, සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන බව, ජාතික මැතිවරණ කොමිෂන් සභාව අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙන අතර, ඒ සඳහා නාමයෝජනා භාර ගනු ලබන්නේ අගෝස්තු 15 වැනිදාය. ඒ අනුව රටේ ජනමතය සැප්තැම්බර් 21 වෙනිදා නව ජනාධිපතිවරයෙකු හරහා ප්‍රකාශයට පත්වීමට නියමිතය.

නිවැරදි ජනමතයක් ගොඩනගා ගැනීමට සුදුසු වටපිටාවක් නොමැති වුවහොත්, අපට දැක බලා ගැනීමට හැකි වන්නේ විකෘති ජනමතයකි. ප්‍රජාතන්ත්‍රවාදී හෝ අධිකාරීවාදී පාලනතන්ත්‍ර කුමක් වුවත්, වැරදි තොරතුරු හරහා ඡන්දදායකයන් හසුරුවා ගැනීම බොහෝ දේශපාලන පක්ෂවල දීර්ඝ සහ ස්ථාපිත පුරුද්දක්වේ. පක්ෂ සහ අපේක්ෂකයන් එක හා සමානව තම වාසියට ව්‍යාජ ප්‍රවෘත්ති පුවත් මවන අතර, මෑතකදි වඩාත් ජනප්‍රිය වී ඇත්තේ සමීක්ෂණ මගින් අහවල් අපේක්ෂයා ජයගනු ඇති බවට, ප්‍රධාන ධාරාවේ හා සමාජ මාධ්‍ය තුලින්, පුර්ව මත පළ කරමින් ජන මනස නොමඟ යැවීමයි. බොරු ජනමත සමීක්ෂණ ප්‍රතිඵල පළ කිරීම හරහා ජනතාව අතර වෙනස් මතයක් ගොඩනැගීමට ඇති හැකියාව වැඩිය.

ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් සහ ඔවුන්ගේ ආධාරකරුවන්ගෙන් බොහෝ විට සමීක්ෂණ ප්‍රතිඵලවල නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී, දේශීය බුද්ධි අංශ හෝ විදේශීය බුද්ධි අංශ වෙතින් තමන්ට එම ප්‍රතිඵල ලැබුණු බවට ප්‍රසිද්ධ කරයි. පසුගිය ජනාධිපතිවරණයේදීත් මෙවැනි රටාවන් නිරීක්ෂණය වු අතර, රාජ්‍ය බුද්ධි සේවය ඇතුළු බුද්ධි අංශ මෙන්ම විදේශීය බුද්ධි අංශත්, සාමාන්‍යයෙන් සමීක්ෂණ ප්‍රතිඵල ප්‍රසිද්ධියේ පැවැත්වීම හෝ නිකුත් නොකරන බව සඳහන් කිරීම අත්‍යවශ්‍යවේ. එම සමීක්ෂණ සාමාන්‍යයෙන් මහජනතාවට නිරාවරණය නොවේ. ඒ වෙනුවට, ඒවා බොහෝ විට අභ්‍යන්තර භාවිතය සඳහා රජයේ ඉහළ පෙළේ පුද්ගලයින්ට ඉදිරිපත් කෙරේ.

දේශපාලඥයින් හා දේශපාලන පක්ෂ මෙන්ම සමාජ මාධ්‍ය වලින් ප්‍රචාරණය කරන අනෙක් මතය වන්නේ පිළිගත් ඡාත්‍යන්තර ආයතන විසින් එම සමීක්ෂණ සිදුකර ප්‍රසිද්ධියට පත් කර ඇති බවයි. එහෙත් පසුගිය කාලයේදි මෙරට දේශපාලන වේදිකාවේ මෙන්ම සමාජ මාධ්‍යයන්හී, අහවල් ජාත්‍යන්තර සංවිධානය කළ එකක් කියමින් ප්‍රසිද්ධියට පත් කළ සමීක්ෂණ, තමන් විසින් සිදුනොකළ බවට එම සංවිධාන විසින් මෙරටට දන්වා තිබුණි. එසේ නම් මෙවන් ව්‍යාජ සමීක්ෂණ ප්‍රතිඵල ප්‍රසිද්ධ කිරීමෙන් දේශපාලන පක්ෂ හා ඔවුන්ගේ අනුගාමිකයන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?

                       

ඔවුන් එහි ප්‍රතිඵල කිහිප ආකාරයකින් බලාපොරොත්තු වේ. එක් ආකාරයක් වන්නේ, විකල්ප මතයක් ඇති කිරීමයි. ව්‍යාජ සමීක්ෂණ ප්‍රතිඵල පළ කිරීමෙන්, කිසියම් අපේක්ෂකයෙකු හෝ පක්ෂයක් කෙරෙහි ජනතාව අතර වෙනස් මතයක් ඇතිවිය හැකිය. මෙය දෙයාකාරයකින් සිදුවිය හැකි අතර කිසියම් අපේක්ෂකයෙකුට වාසියක් මෙන්ම තවත් කෙනෙකු අවාසියක්ද සිදුවේ. අනෙක් අතින්, සමාජ මාධ්‍ය භාවිතයෙන් බොරු ජනමත ප්‍රතිඵල සමාජ මාධ්‍ය ඔස්සේ ඉක්මනින් ප්‍රචාරය වීමෙන් එමඟින් මිනිසුන්ගේ මනසට වඩාත් බලපෑම් සිදු කල හැකිය. එයින් පැහැදිලි වන්නේ, බොරු සමීක්ෂණ ප්‍රතිඵල ව්‍යාප්ත කරමින්, ඉතාමත් සැලසුම් සහගතව හා සංවිධානාත්මකව, ජනතාවගේ මතයන් හා ක්‍රියාකාරකම් වෙනස් කළ හැකි බවයි. එවන් ප්‍රතිඵල පළ කිරීම මඟින් ජනතාවගේ ස්ථාවර, ප්‍රායෝගික මතයකට හා විවෘත ප්‍රජාතන්ත්‍ර ක්‍රියාවන්ට බලපෑම් කළ හැකිය. අවසානයේ නිරවුල් මනසින් ගත යුතු තිරණය ඡන්දදායකයා විසින් ගනු ලබන්නේ පූර්ව මතවල සිටිමිනි. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ ජනමතය වෙනස් වී විකෘතියක් පිළිඹිබු වීමයි.

එසේ නම් මෙවන් ව්‍යාජ ජනමත සමීක්ෂණ ප්‍රතිඵල හඳුනා ගැනීමට හැක්කේ කෙසේද? පළමු වැන්න එහි මූලාශ්‍රය පරීක්ෂා කර බැලීමයි. එමෙන්ම සමීක්ෂණය සිදු කළ ආයතනය පිළිබඳ විශ්වසනීය සහ නිවැරදි ප්‍රතිඵල ලබා දෙන ඉතිහාසයක් තිබෙන්නේද යන්නත් සොයා බැලිය යුතුව ඇත. ඔවුන්ගේ පරිණතභාවය සම්බන්ධයෙන් අධ්‍යයනය කල යුතු අතර නිසි ජනමත සමීක්ෂණ ආයතන සාමාන්‍යයෙන් තම ක්‍රමෝපාය, දෝෂ සීමාව, ජනාංගික බෙදීම් පිළිබඳ විස්තර සපයයි.

සමීක්ෂණය සඳහා කුඩා නියැදි ප්‍රමාණයක් භාවිතා කිරීම මඟින් වැරදි ප්‍රතිඵල ලැබිය හැකිය. විශ්වසනීය සමීක්ෂණ සාමාන්‍යයෙන් ජාතික මට්ටමේ සමීක්ෂණවලදී අවම වශයෙන් 1,000 ක් පමණ පරීක්ෂණ කරයි. නමුත් මෑත කාලයේ අප රටේ එක් ආයතනයක් විසින් සිදුකල ජනාධිපතිවරණ සමීක්ෂණයක් සඳහා සහභාගි වූ ඡන්දදායක නියැදිය 553 ක් ලෙස හෙළිදරව් වී තිබුණි. 2024 ජනාධිපතිවරණයේදි ඡන්දදායකයින් එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දාහක් පමණ ඡන්දය භාවිතා කිරීමට නියමිතව ඇත. එවැනි තත්ත්වයක් තුල සමීක්ෂණ ප්‍රතිඵලය නිවැරදි නොවන බව ඕනෑම කෙනෙකුට වැටහේ. එහෙත් සමාජ මාධ්‍ය හරහා ඔවුන් පෙන්වන්නේ එය රටේ සමස්ත ප්‍රතිඵලයට සමාන කරමිනි.

අනෙක් අතින් සමීක්ෂණයක් සඳහා නියැදිය අහඹු ලෙස තෝරා ගැනීම සහ සියළු වැදගත් කණ්ඩායම් නිරූපණය වන බව සහතික කර ගැනිමත් සිදුවිය යුතුය. වඩාත්ම වැදගත් වන්නේ, භූගෝලීය සහ ජනවිකාස විවිධත්වය, සාධක සහ ඒවායේ සාපේක්ෂ ප්‍රමාණය ආවරණය වන පරිදි නියෝජිත නියැදියක් තිබීමයි. දකුණේ සහ උතුරේ ජනාධිපති අපේක්ෂකයෙකු පිළිබඳ ජනතා මතය සලකා බැලිය යුතු ආකාරය. භූගෝලීය පිහිටීම, ජනවාර්ගිකත්වය, ආගම, ස්ත්‍රී පුරුෂ භාවය, වයස, අධ්‍යාපනය යනාදී වශයෙන් රටේ ඡන්ද පදනමේ විවිධ සාධකවලට තැබිය යුතු බර කුමක් දැයි නිවැරදි නියැදියක් තෝරා ගැනීමේදි සැලකිලිමත් වීම අනිවාර්යය. එහෙත් මෑත කාලීනව සමාජ මාධ්‍ය වේදිකා, මහජන මතය මැන බැලීම සඳහා යැයි කියන සමීක්ෂණවලින් සැලකිය යුතු කොටසක් ගොතන ලද සහ අසත්‍ය ඒවා වන අතර, එමඟින් මැතිවරණ සම්බන්ධයෙන් ඇති ව්‍යාකූලත්වය තවත් වැඩි කරයි.

සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වූ තවත් සමීක්ෂණයක තොරතුරු ලේඛනයේ සපයා ඇති ප්‍රතිශත විශ්ලේෂණයෙන් සැලකිය යුතු විෂමතාවක් අනාවරණය වේ. සියළුම නම් කරන ලද අපේක්ෂකයින්ගේ සහ අනෙකුත් කාණ්ඩයේ ප්‍රතිශත එකතු කළ විට, එකතුව 100% ඉක්මවන අතර, මුළු එකතුව 122% කි. මෙම සමීක්ෂණ ප්‍රතිඵල පදනම් විරහිත ප්‍රබන්ධයක් බව මෙයින් මනාව පැහැදිලි වේ. සමාජ මත විමසුම්වල විභව පක්ෂග්‍රාහීත්වයට දායක වන තවත් වැදගත් සාධකයක් වන්නේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගේ දේශපාලන උනන්දුව සහ මතවාදයයි. එහෙත් එයින් රටේ සමස්ත ජන මතය පිළිඹිබු නොවේ.

ඒ අනුව එළඹෙන ජනාධිපතිවරණයේදි සමාජ මාධ්‍යයෙන් මෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වලින් ප්‍රකාශයට පත් කරන සමීක්ෂණ ප්‍රතිඵල මඟින් ඡන්දදායකයා ඇස් නිලංකාර කරගත යුතු නොවේ. වැදගත් වන්නේ තම ස්වාධීන මතයයි. එම ස්වාධීන මතය ඡන්දයක් බවට පත්වූ පසුවයි, එළබෙන ජනාධිපතිවරණයේදි සැබෑ ජනමතයක් එළි දැක්වෙන්නේ. එසේ නොමැතිව ඡන්දදායකයන් ලෙස අප තුලින් පිළිඹිබු වන්නේ විකෘති ජනමතයක් වුවොත් එහි ප්‍රතිඵලය අවසානයේ භුක්ති විදීමට සිදුවන්නේ අපටම බව සිහි තබාගැනීම ඉතාමත් වැදගත්ය.

| සම්පත් ජයලාල් - නුවරඑළිය

 

සබැඳි පුවත්