රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුව පැලැස්තර විසඳුම්වලින් ඔබ්බට

jobless-grduates

"කොවිඩ්-19 වසංගතය ආර්ථික පසුබෑම සහ දේශපාලන අස්ථාවරත්වය විසින් එල්ල කරන ලද අභියෝග හේතුවෙන් විශාල රැකියා විරහිත උපාධිධාරී හා තරුණ පිරිසක් බිහි වී සිටී. රාජ්‍ය අංශයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු සඳහා 30,000ක් බඳවා ගැනීමේ සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. ඒ අනුව 2025 වසරේ දී මේ සඳහා රුපියල් මිලියන 10,000ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා 2025 අයවැය කතාව" ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජාතික ජන බලවේගය ආණ්ඩුවේ මංගල අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පසුගිය පෙබරවාරී 17 වැනි දා ඉහත සඳහන් ප්‍රකාශය කළේය.

ජනාධිපතිවරයාගේ ගණන් හිලව්වලට අනුව එක් උපාධිධාරියෙක් වෙනුවෙන් රුපියල් 3,33,000ක් පමණ 2025 වර්ෂයට වෙන් කර ඇති අතර ඔවුන්ගේ මාසික වැටුප අවම වශයෙන් රුපියල් 27,800.00ක් පමණ විය හැකිය. මේ අනුව 2025 වර්ෂයේ රාජ්‍ය සේවයට බඳවා ගැනීමට නියමිත උපාධිධාරීන් 30,000ට මාසිකව ලැබෙන වැටුප රාජ්‍ය සේවයේ අවම වැටුපට ද බොහෝ අඩු අගයකි. ඉහත පසුබිම තුළ වුව ද, මෙවැනි වැටුපකට වුව ද රාජ්‍ය සේවයට උපාධිධාරීන් නොපැමිණෙතැයි උපකල්පනය කළ නොහැකිය. ඒ උපාධිධාරීන් අතර විශේෂයෙන් කලා උපාධිධාරීන් අතර රජයේ රැකියාවක් යනු ලොකුම හීනය , එකම හීනය බවට පත්ව ඇති බවක් පසුගිය අඩ සියවසකට අධික කාලය තුළ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සනාථ වී ඇති නිසාය.

කතිකාව කාලීන සමාජ - දේශපාලන සංවාද මාලාවේ “රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුව: පැලැස්තර විසඳුම්වලින් ඔබ්බට” යන තේමාව යටතේ ය. විවෘත සංවාදය ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.

යකඩ ත්‍රිකෝණය ක්‍රියාත්මක වෙනතාක් කල් මේ ගැටලුවට නිවැරදි විසඳුමක් නැහැ - ආචාර්ය සුජාතා ගමගේ

පසුගිය වසර 30කට ආසන්න කාලය තුළ අවස්ථා හතකදී උපාධිධාරීන් 150,000කට අධික පිරිසක් කිසිඳු සැලසුමකින් තොරව රාජ්‍ය සේවයට බඳවා ගෙන ඇති බවටත්, ඔවුන් සම්බන්ධයෙන් ඉදිරියේදී ගත යුතු පියවර සොයා බැලීමට අග්‍රමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට පසුගිය දෙසැම්බර් මාසයේ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබියදී තවත් උපාධිධාරීන් 30,000ක් අලුතින් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ආචාර්ය සුජාතා ගමගේ සිය මවිතය පළ කළා ය.

සංඛ්‍යා ලේඛන සහිතව මෙවැනි තීන්දුවක් ගත් බව ප්‍රකාශ වූයේ පළමු වරට බව පෙන්වා දුන් ඇය ආණ්ඩුව මෙවැනි පියවරක් ගැනීමට පෙළඹ වූ කරුණු ද පැහැදිලි කළාය.

බලයට පත්වීමට අපේක්ෂාවෙන් සිටින පක්ෂයක් විපක්ෂයේ සිටින විට මෙවැනි ප්‍රකාශ කරනවා. නමුත් ආණ්ඩු බලය ගත් විට තමයි බැරෑරුම්කම තේරෙන්නේ. විපක්ෂය පසුගිය පොරොන්දු මතක් කරනවා. ඊට පස්සේ ආණ්ඩුවට කරන්න දෙයක් නැහැ. මේ සම්බන්ධ සමාජ - දේශපාලන පීඩනය ඇති වෙන්නේ ආණ්ඩුවට. නමුත් මේ පාර කළාට නැවත මේ වැඩේ කරන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපේ ආර්ථිකය තවමත් අපේක්ෂා කළ මට්ටමට ශක්තිමත් හෝ ස්ථාවර වෙලා නැහැ. ඒ නිසා මෙවැනි පියවර තුළින් බැරෑරුම් ගැටලු ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැඩි සීමා කිරීම් පනවා තිබෙනවා. අපිට ඒ සීමා කිරීම්වලින් ඔබ්බට යන්න බැහැ ඇය පෙන්වා දුන්නා ය.

මෙවැනි තීරණාත්මක වාතාවරණයක් හමුවේ පවා උපාධිධාරීන් 30,000ක් රාජ්‍ය සේයවට බඳවා ගැනීමට තීන්දු කිරීමෙන් උපාධිධාරී විරැකියාව සම්බන්ධයෙන් ආණ්ඩුව මුහුණ දෙන සමාජ - දේශපාලන පීඩනය වටහා ගන්න පුළුවන් ආචාර්ය සුජාතා පෙන්වා දුන්නා ය.

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව පසුගිය කාලය වන විට මෙරට 45,000කට ආසන්න උපාධිධාරීන් පිරිසක් විරැකියාවෙන් පසු වේ. එයින් 50%ක් හෝ ඊට ආසන්න පිරිසක් කලා උපාධිධාරීන්ය.

ආණ්ඩුව කියන මේ 30,000 පැමිණියේ කොතැනින් ද කියලා මට හිතා ගන්න පුළුවන්. නමුත් ඉතාම පැහැදිලිව ආණ්ඩුව මේ අයවැයෙන් උපාධිධාරීන්ගේ විරැකියා ගැටලුව පැලැස්තරයක් දාලා තිබෙන්නේ. නමුත් මේ පැලැස්තර විසඳුම්වලින් හැමදාම ඉදිරියට යන්න බැහැ ආචාර්ය සුජාතා අවධාරණයෙන් යුතුව පෙන්වා දුන්නා ය.

යකඩ ත්‍රිකෝණයක්

ලංකාවේ රැකියා විරහිත උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීම වෙනුවෙන් දීර්ඝ කාලයක් පුරා ක්‍රියාත්මක වන “යකඩ ත්‍රිකෝණයක්” තිබෙන බව මෙහිදී ආචාර්ය සුජාතා පැහැදිලිව පෙන්වා දුන්නා ය.

එක කණ්ඩායමක් ඉන්නවා. එම කණ්ඩායම සමඟ සමීපව වැඩ කරන තවත් කණ්ඩායම් දෙකක් ඉන්නවා. මේ තෙපාර්ශ්වය එකිනෙකාගේ පිට කසා ගනිමින් එකිනෙකා සමඟ වැඩ කරන කොට ඔවුන්ගේ ලැදියාවන් බිඳ දැමීම ඉතා අසීරුයි. හැමදාම උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීම සම්බන්ධයෙන් ද සිද්ධ වුණේ ඒකම තමයි. උපාධි ලබා ගත් අය, උපාධිධාරීන්ට රජයේ රැකියා දෙන අය සහ විරුද්ධ පක්ෂයේ සිටින දේශපාලනඥයින් සහයෝගයෙන් කටයුතු කිරීම නිසා තමයි මෙවැනි තීන්දු ගන්නේ. මෙවැනි තත්ත්වයක් තුළ මම මුලින් සඳහන් කළ යකඩ ත්‍රිකෝණය බිඳ දැමීම ඉතා අසීරුයි ආචාර්ය සුජාතා අවධාරණය කළා ය.
දශක දෙකකට අධික කාලයක් පුරා ලද අත්දැකීම් හා විශ්වවිද්‍යාල පරිපාලනය තුළ ලබා ගත් අත්දැකීම් මෙනෙහි කරමින් ඇය සඳහන් කළේ, ලංකාවේ උසස් අධ්‍යාපනය ලබාදීම යනු අදාළ වර්ෂයේ පාසල් අධ්‍යාපනය අවසන් කරන සමස්ත ශිෂ්‍ය ප්‍රජාවෙන් 10%කට පමණ උසස් අධ්‍යාපනය ලබාදීමක් පමණක් වන බවයි. විශ්වවිද්‍යාල ප්‍රවේශය නොලබන ඉතිරි 90% සම්බන්ධයෙන් කිසිඳු පාර්ශ්වයකට වගකීමක් හෝ වගවීමක් නොමැති බවත් උපාධිධාරීන්ගේ විරැකියාව ගැන මෙතරම් වද වීම තමා මවිත වන බවත් ඇය පෙන්වා දුන්නා ය.

හේතුව ඉතාම පැහැදිලියි. මම මුලින් සඳහන් කළ යකඩ ත්‍රිකෝණය තමයි ක්‍රියාත්මක වෙන්නේ ඇය අවධාරණය කළාය.

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ මෙම දෘඩ යකඩ ත්‍රිකෝණය තව දුරටත් පවත්වා ගෙන යා නොහැකි බව අවධාරණයෙන් පෙන්වා දුන් ආචාර්ය සුජාතා එය යහපත් තත්ත්වයක් බව ද සඳහන් කළාය.

උපාධිධාරී විරුකියාවට පසුබිම

උපාධිධාරීන්ගේ විරුකියා ගැටලුවේ ඉතිහාසය ගැන පැහැදිලි කරමින් ඇය පෙන්වා දුන්නේ කාලයකට පෙර උපාධිය ලබාගත් වහාම රජයේ රැකියාවක් හිමිවන යුගයක් තිබුණ බවයි.

බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ සිට මෙරට තත්ත්වය පැහැදිලි කළ ඇය එම යුගයේ ඉල්ලුම සහ සැපයුම අතර යම්කිසි තුලනයක් තිබුණ බව ද පෙන්වා දුන්නා ය.
යටත් විජිත යුගයේ උපාධිධාරීන් සූදානම් කළේම රජයේ රැකියා සඳහාමයි. ඊට පසුව 1960 දශකය පමණ වන තෙක් උපාධිධාරීන්ගේ සැපයුමට වඩා ඉල්ලුමක් තිබුණා ආචාර්ය සුජාතා සඳහන් කළා ය.

අධ්‍යාපනයට ඇති සමාජ වටිනාකම ඉහළ යාමේ හා අධ්‍යාපනයේ වටිනාකම අවබෝධ වීමේ ප්‍රතිඵලයක් ලෙස උසස් අධ්‍යාපනයට ඇති ඉල්ලුම වේගයෙන් ඉහළ ගියේය. මේ සඳහා ටියුෂන් ව්‍යාපාරයෙන් ද සැලකිය යුතු තල්ලුවක් ලැබී ඇත. වසර 2000 පමණ වන විට මෙරට උපාධිධාරීන්ට ඇති ඉල්ලුමට සාපේක්ෂව අධික සැපයුමක් දක්නට ලැබුණී. මේ අතර උසස් පෙළට ඉහළ අධ්‍යාපනක් ලැබූ පුද්ගලයින් අතර විරැකියාව උසස් පෙළට වඩා අඩු අධ්‍යාපනයක් ලැබූ පුද්ගලයින් අතර විරැකියාවට වඩා දෙගුණයකි. ලංකාවේ නොදියුණු ආර්ථික තත්ත්වය මේ සඳහා ප්‍රධාන හේතුවයි.

ලංකාවේ නොදියුණු ආර්ථිකය ඉල්ලන්නේ අඩු අධ්‍යාපන මට්ටමක් සහිත ශ්‍රමිකයින් ආචාර්ය සුජාතා සංඛ්‍යා දත්ත සහිතව පෙන්වා දුන්නා ය. ඇය පෙන්වා දුන් පරිදි ශ්‍රී ලංකා විරුකියාව පහළ ගිය ද උසස් අධ්‍යාපනය ලැබූ පුද්ගලයින් අතර විරුකියාව ඉහළ ප්‍රතිශතයක් ගනී.

අපේ වාගේ රටවල්වල ආර්ථිකයට දරා ගන්න පුළුවන් යම් උපාධිධාරීන් ප්‍රමාණයක් සිටිනවා. අධ්‍යාපනයෙන් ඉහළට යන්න යන්න රැකියාව අවස්ථා සීමා වෙනවා. විරැකියාව වැඩිවෙනවා. නමුත් දියුණු රටවල මෙහි විරුද්ධ පැත්ත තමයි ක්‍රියාත්මක වෙන්නේ. එම රටවල අධ්‍යාපන මට්ටම ඉහළ යන විට විරැකියාව අඩු වෙනවා. ඇය පෙන්වා දුන්නා ය.

උපාධිධාරීන්ගේ ගෝලීය තත්ත්වය පැහැදිලි කළ ආචාර්ය සුජාතා පෙන්වා දුන්නේ එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ ජනගහනයෙන් 40%ක් උපාධිධාරීන් වන බවයි. අවුරු 25-35 වයස් කාණ්ඩයේ උපාධිධාරීන් අනුපාතය 50%කට වඩා ඉහළ අගයකි.

ඇත්තටම මේක දැන් මේ රටවල්වලටත් ප්‍රශ්නයක් වී ගෙන එනවා. චීනය සහ ඉන්දියා ගත් විට උපාධිධාරීන්ගේ විරැකියාව ඉතාම උග්‍රයි. ලංකාවේ උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීමේ තත්ත්වය සුවිශේෂ වුවත් උපාධිධාරීන්ගේ විරැකියා ගැටලුව ලංකාවට පමණක් සුවිශේෂ එකක් නොවෙයි. ආචාර්ය සුජාතා කීවාය.

අධ්‍යාපනය ලැබූ අය සහ නොලැබූ අය අතර සමාජ පරතරයක් නිර්මාණය වී තිබේ. වත්මන් ඇමෙරිකානු ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක් දරන අතර ඇමෙරිකානු සමාජය තුළ ද පාසල් අධ්‍යාපනයට වඩා ඉහළ අධ්‍යාපනයක් ලැබූ පුද්ගලයින් සම්බන්ධයෙන් කේන්තියක් නිර්මාණය වී තිබේ.
එක්සත් රාජධානියේ තත්ත්වය සම්බන්ධයෙන් Alison Wolf නම් පර්යේෂකයා විසින් 2003 දී වඩාත් පුළුල් විග්‍රහයන් ඉදිරිපත් කර ඇති අතර පාසලෙන් ලබා දෙන වෘත්තීය අධ්‍යාපනය සමාජ අසමානතාව තව දුරටත් පුළුල් කරන බවත් ඒ නිසා කළ යුත්තේ සියලු දෙනාටම පොදු අධ්‍යාපනයක් ලබාදීම බවත් ඔහු පෙන්වා දී තිබේ.

ඇරිසන් වුල්ෆ් විසින් උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් රචනා කරන ලද ඉතාම සවිස්තර කෘතිය වන Does Education Matter?: Myths About Education and Economic Growth හි ඔහු තර්ක කරන්නේ උසස් අධ්‍යාපනය සමඟ ආර්ථික දියුණුව පැමිණෙන බවට වන මතය වැරදි බවයි. ආර්ථික දියුණුවත් සමඟ උසස් අධ්‍යාපනයට ඇති ඉල්ලුම ඉහළ ගිය ද, ආර්ථික දියුණුවට අවශ්‍ය වන්නේ හොඳ සාමාන්‍ය අධ්‍යාපනයක් සහිත හොඳ ශ්‍රම බලකායක් බව ද ඔහු මෙහිදී තර්ක කර ඇත.

ඇරිසන් මේ සම්බන්ධ යථාර්ථය දේශපාලනඥයින්ට පෙන්වා දීමට තැත් කළත් එය අපහසු වී තිබේ. ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ දේශපාලනඥයින් ද මධ්‍යම පන්තිය නියෝජනය කිරීමය. මධ්‍යම පන්තියේ වුවමනා එපාකම් අනුව ප්‍රමුඛව ප්‍රතිපත්ති සම්පාදනය වීමය.

රටට උපාධිධාරීන් කොපමණ වුවමනාද ?

මෙම පසුබිම තුළ රටට කොපමණ උපාධිධාරීන් පිරිසක් අවශ්‍ය ද? යන්න සම්බන්ධයෙන් ආවේගවලින් තොරව තර්කානුකූලව සලකා බැලීමට කාලය පැමිණ තිබේ. ලංකාවේ අනිවාර්ය අධ්‍යාපනය නීතිගත කර ඇති අතර දරුවන්ට අනිවාර්යය අධ්‍යාපනය ලබා නොදෙන දෙමාපියන්ට හෝ භාරකරුවන්ට එරෙහිව නඩු පැවරීමට ද ප්‍රතිපාදන තිබේ.

නමුත් තමන්ගේ දරුවන්ට උසස් අධ්‍යාපනය ලබා දුන්නේ නැහැ කියලා කාටවත් නඩු දාන්න බැහැ. ඒකට කියන්නේ අභිමත අධ්‍යාපනය කියලා. නමුත් අපි මේ අභිමත අධ්‍යාපනය අනිවාර්යය අධ්‍යාපනයක් බවට පත්කර ගෙන තිබෙනවා. යම්කිසි විභාගයක් සමත් වීම පමණක් තෝරා ගැනීමේ කඩඉම වෙන්නේ. ඒ විභාග සම්බන්ධයෙන් කිසිම ප්‍රමිතියක් හෝ විචාරයක් නැහැ. ඒ නිසාම මේ රටට උපාධිධාරීන් කොපමණ අවශ්‍ය ද? කියලා අපි ගැඹුරින් සලකා බැලිය යුතු කාලය පැමිණ තිබෙනවා ආචාර්ය සුජාතා තව දුරටත් තත්ත්වය විග්‍රහ කළාය.

උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් ලංකාවේ සහ ඉන්දියාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් තුළ ඉහළ ලැදියාවක් තිබේ. ලෝක බැංකුව විසින් 2003 දී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කළ ප්‍රමුඛ වාර්තාවකට අනුව දකුණු ආසියානු කලාපයේ රටවල් අතර උසස් අධ්‍යාපනයට වැඩි මුදලක් (ප්‍රතිශතයක්) වැය කරන රට ශ්‍රී ලංකාවය. නමුත් දකුණු කොරියාවේ පාසල් අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය වෙනුවෙන් දරන වියදම සමානය. ඔවුන් ප්‍රමුඛතාව ලබා දෙන්නේ පාසල් අධ්‍යාපනය වෙනුවෙනි.

මේ සංවාදය දැන්වත් ආරම්භ විය යුතුයි. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරය මතින් බිහිවුණ දේශපාලන ව්‍යාපාරයක් වන ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩු බලය ලබා ගෙන සිටින පසුබිමක මේ සංවාදය දැන්වත් ආරම්භ විය යුතුයි. ඔවුන්ට තව දුරටත් පරණ සටන්පාඨවල එල්ලිලා ඉන්න පුළුවන් කමක් නැහැ. වත්මන් ආර්ථික යථාර්ථයට අනුව යමින් පැලැස්තර විසඳුම්වලින් ඔබ්බට යා යුතුයි. රටට අවශ්‍ය අධ්‍යාපනය කුමක්ද? උසස් අධ්‍යාපනය කුමක් විය යුතු ද? කියන සංවාදය ආරම්භ කළ යුතුයි. උසස් අධ්‍යාපනය පුද්ගලීකරණයෙන් ආරක්ෂා කර ගැනීමේ සටන් පාඨයට මුවා වෙලා ඇත්තටම කරලා තිබෙන්නේ පාසල් අධ්‍යාපනය පුද්ගලීකරණය වීම බව මම සංඛ්‍යා ලේඛන සහිතව පෙන්වා දී තිබෙනවා. ජනප්‍රිය පාසල් සියල්ලම වාගේ නඩත්තු වෙන්නේ දෙමාපියන්ගේ මුදලින් බව ඉතාම පැහැදිලි කරුණක්. අපේ ඈත ගම් පළාත්වල දරුවන්ට ආණ්ඩුවෙන් ඇත්තටම දෙන අධ්‍යාපනය කුමක්ද? කියලා අපි විගණනයකට යා යුතුයි. ආචාර්ය සුජාතා අවධාරණය කළාය.

අන්තෝ ජටා බහි ජටා තත්ත්වයක් ආචාර්ය ෂම්මික ලියනගේ - ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය, රාජ්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, රුහුණු විශ්වවිද්‍යාලය

රාජ්‍ය විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය තීරණය කරන්නේ ආණ්ඩුව ඇතිකරන තෙරපුම් ක්‍රියාවලියක් තුළයි. ඇතැම් අවස්ථාවල ජාතික විශ්වවිද්‍යාලවලට දරා ගත නොහැකි තරම් සිසුන් ඇතුළත් කර ගන්නවා. ඒ වගේම තමයි විශ්වවිද්‍යාලවල දෙපාර්තමේන්තු / අධ්‍යයන අංශ පිහිටුවන්නෙත් දේශපාලන අවශ්‍යතා අනුව. ඒ වගේම තමයි විශ්වවිද්‍යාලවල දෙපාර්තමේන්තු සහ අමාත්‍යාංශ නිසි ලෙස සම්බන්ධ වූ බවකුත් පේන්න නැහැ. මේ සමස්ත ක්‍රියාවලියම අන්තෝ ජටා බහි ජටා - ජටාය ජටිතා පජා - තං තං ගෝතම පිච්ඡාමී - කො ඉමං විජටයේ ජටං වාගේ ගැටලුවක පත් වෙලා තිබෙන අවස්ථාවක රජයේ අවශ්‍යතාවයන් සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල කොහොමද දායක කර ගන්නේ? කියන එක ගැන සංවාදය නොමැතිකම ම රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුව සහ රජයේ අවශ්‍යතාවය අතර ගැටලුව විශ්වවිද්‍යාවලට විසරණය නොවීම එක්තරා ගැටලුවක් ලෙස මම දකිනවා. මේ ගැටලුව විසඳ ගන්නේ කොහොමද? කියන එක මගේ පළමුවැනි ප්‍රශ්නය. දෙවැනි ප්‍රශ්නය තමයි පුද්ගලික විශ්වවිද්‍යාවල නියාමන ක්‍රියාවලිය පිළිබඳ ගැටලුව මේක දිගින් දිගටම ප්‍රශ්න කරලා තිබෙනවා. රාජ්‍ය විශ්වවිද්‍යාල සහ පෞද්ගලික විශ්වවිද්‍යාල අතර කිසිම සම්බන්ධතාවයක් නැහැ. අපි කැමැතියි ඔවුන් එක්ක වැඩ කරන්න. නමුත් ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් නැහැ. අපි දෙපිරිස දෙපැත්තක ඉන්නවා. මෙහි අවසාන වින්දිතයින් වෙන්නේ රට. මේක සරල සුමග ක්‍රියාවලියක් නොවෙයි. ඒකට දීර්ඝ කාලීන සංවාදයක් සහ ක්‍රියාවලියක් අවශ්‍යයයි.

උපාධිධාරීන් සියලු දෙනාගේම ගති ලක්ෂණ එක වගේ නෑ - මහාචාර්ය රොහාන් සමරජීව

උපාධිධාරීන් සියලු දෙනාගේම ගති ලක්ෂණ එක වගේ කියන කතාවේ යම්කිසි අඩුපාඩුවක් තිබෙනවා. උදාහරණයක් විදිහට මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සිසුන්ගෙන් 80%කට උපාධිය ලබා ගන්නා අවස්ථාවේ මොන යම් හෝ රැකියාවක් ලැබී තිබුණා. ඊසාන දිග විශ්වවිද්‍යාලයේ තමයි යම් යම් විෂය මාලාවල අඩුම ප්‍රතිශතය වාර්තා වුණේ. මේ ගැන කල්පනා කළ යුතුයි නේද?ඒ වගේම සමහර තැන්වල සත්‍ය පුරප්පාඩු තිබෙනවා. අලුතින් බඳවා ගැනීමට නියමිත උපාධිධාරීන් සංවර්ධන නිලධාරීන් වැනි තනතුරුවලට බඳවා නොගෙන සත්‍ය පුරප්පාඩුවලට පමණක් බඳවා ගන්න බැරිද? අපිට ඒ ගැන ආණ්ඩුවට බල කරන්න බැරිද? එහෙම කළොත් මේ තීන්දුවේ ආර්ථික ප්‍රතිවිපාක අවම කර ගන්න පුළුවන් නේද?

තරුණ අරුණ කියලා හොඳ වැඩසටහන් තිබුණා - සුසන්ත සුරවීර

මේකට මීට කලින් “තරුණ අරුණ” කියන වැඩසටහන හරහා උපාධිධාරීන්ගේ විරැකියා ගැටලුවට යම්කිසි විසඳුමක් දීලා තිබුණා. මේ හරහා උපාධිධාරීන් පෞද්ගලික අංශයට අන්තර්ග්‍රහණය කිරීමේ සැලසුමක් තිබුණා. නමුත් පසු කාලීනව මෙම වැඩපිළිවෙළ නතර වුණා. ඊට පස්සේ 2006 දී මේ ළමයි සංවිධානය වෙලා ආණ්ඩුවේ රැකියා ඉල්ලා සිටියා. ඔවුන්ගේ දැඩි බලපෑම් හමුවේ ආණ්ඩුව රජයේ රැකියා ලබා දෙන පොරොන්දුවක් දුන්නා. ඊට පස්සේ තරුණ අරුණ කාර්යාල වසා දැම්මා.

ravi kumudesh 10

රැකියාවලට ගැළපෙන උපාධිධාරීන් විශ්වවිද්‍යාවලින් එළියට එන්නේ නැහැ - රවී කුමුදේශ්

මේ ප්‍රශ්නයේදී කාරණා දෙකක් වෙන්කර ගත යුතුයි. ලංකාවේ රැකියා විරහිතභාවය කියන එක එක කාරණාවක්. ඒකට විසඳුම් සොයා ගත යුත්තේ කොහොමද? කියන එක වෙනම කතා කළ යුතුයි. ලංකාව පොඩි රටක්. ඒ අනුව ඉල්ලුමට අනුව රැකියා කොහොමද නිර්මාණය කරන්නේ ඒ රැකියා ලෝකයට යවන්නේ කොහොමද? කියන එක පොදු ප්‍රශ්නයක් විදිහට තිබෙනවා. ඊට පස්සේ උපාධිධාරීන් මේ තරම් රැකියා විරහිත කියන ප්‍රශ්නයේ දී වෙනම කතාවක් තිබෙනවා. ලංකාවේ පොඩි අදහසක් තිබෙනවා උපාධිධාරියෙක් වුණා ම ආණ්ඩුවේ රස්සාවක් ලැබෙන්න ඔ්නෑ කියලා. මෙහිදී ඇතිවෙන ප්‍රශ්නයට තමයි උපාධිධාරියාට රැකියාවක් ඔ්නෑ නම්, අපි රැකියාවලට ගැළපෙන උපාධිධාරීන් කොපමණ හදනවාද? කියන එක. රැකියාවලට ගැළපෙන උපාධිධාරීන් ඉන්නවා නම් ඔවුන්ට රැකියා ලැබෙන්න ඔ්නෑ. මෙන්න මේ පටැලවිල්ල ලංකාවේ කාලයක් තිස්සේ තිබෙනවා. ළමයින්ට මෙවැනි මනසක් හදන්න විශ්වවිද්‍යාල තුළින්ම තමයි. ඒත් රැකියාවලට ගැළපෙන උපාධිධාරීන් විශ්වවිද්‍යාවලින් එළියට එන්නේ නැහැ. ඒකට හේතුව තමයි විශ්වවිද්‍යාවල උගන්වන්නේ වෘත්තීන් නොවෙයි. ඒ නිසා පෞද්ගලික අංශයේ තාක්ෂණික රැකියාවලට අවශ්‍ය නිපුණාතාව තිබෙන මිනිස්සු නැහැ. උපාධිධාරීන් නම් ඇති. ලංකාවේ ඇතැම් ව්‍යාපාර කඩා වැටෙන්නේ මෙන්න මේ ගැටලුව නිසා. ඒ නිසා රැකියාවයි - උපාධියයි දෙකම සමබර වෙන “සැන්විච් උපාධි” නිර්මාණය කළ යුතුයි.

උපාධිය ලබා දෙන කාලය කෙටි කරලා හරි වෘත්තීය පුහුණුවක් ලබා දෙන ක්‍රමයකට යා යුතුයි - උපාලි කොළඹගේ

පුහුණු ශ්‍රමිකයින් නැතිකම පුද්ගලික අංශයට තිබෙන ලොකුම දුක්ගැනවිල්ලක්. උපාධි වැටුපට වඩා වැඩි වැටුපක් දීලත් ගන්න කට්ටිය නැහැ. උපාධිධාරීන් බොහෝ විට මේ වගේ රැකියාවලට එන්නෙත් නැහැ. ඒ සමඟ මට ඇති වෙන ප්‍රශ්නය තමයි විශ්වවිද්‍යාල රැකියා ඉලක්ක කරගෙන තමන්ගේ පාඨමාලා වෙනස් කළ යුතුද? කියන එක. එසේ නම් කළ යුත්තේ උපාධියෙන් පසුව යම්කිසි පුහුණුවක් ලබා දෙන එකද? නමුත් මේ දෙක එකක් නොවෙයි දෙකක්. සමහර විෂයන්ට රැකියා ඉලක්ක කරගෙනම උපාධිය දෙන්න පුළුවන්. නමුත් සමහර විෂයන් උපාධියට තිබිය යුතුයි. උපාධිය ලබා දෙන කාලය කෙටි කරලා හරි වෘත්තීය පුහුණුවක් ලබා දෙන ක්‍රමයකට යා යුතුයි කියලා මම හිතනවා.

saroj pathirana

පෞද්ගලික අංශයටත් විශාල වගකීමක් තිබෙනවා - මාධ්‍යවේදී සරෝජ් පතිරණ

විශ්වවිද්‍යාලයෙන් කළ යුත්තේ රැකියා පුහුණුවක් ලබාදීම ද, නැතිනම් ඔහුව සමාජයට හුරු කිරීම ද? කියන එක සාකච්ඡා කළ යුතුයි. ධනපති රටවල පෞද්ගලික අංශ විශාල වගකීමක් ගන්නා දරුවාගේ පෞරුෂ වර්ධනය සහ රැකියාවට පුහුණු කිරීම සඳහා. ලංකාවේ දකින්න නොහැකි දේත් ඒකම තමයි. ලංකාවේ විශ්වවිද්‍යාල ගැන ලොකු විවේචන තිබෙනවා. ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය වෙනස් විය යුතුයි. ඒ ගැන තර්කයක් නැහැ. අපි හැමදාම රජයට විශ්වවිද්‍යාලයට බනිනවා. නමුත් ඇත්තටම අප් රටේ පෞද්ගලික අංශය දරුවාගේ අධ්‍යාපනය, පෞරුෂ වර්ධනය හෝ රැකියාව සම්බන්ධයෙන් කිසියම් හෝ දායකත්වයක් දරනවාද? නමුත් එංගලන්තය වැනි දියුණු රටවල 08 වසරේදී තමයි මෙය ආරම්භ වෙන්නේ. එවැනි රටවල දරුවා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නෙම මම මොකද කරන්නේ කියන අදහස, අවබෝධය සමඟයි. මේකට පෞද්ගලික අංශය විශාල දායකත්වයක් ලබා දෙනවා. අපේ රටේ එහෙම තත්ත්වයක් මං දැකලා නැහැ. ඒ නිසා මං පැහැදිලිවම කියනවා අපේ රටේ පෞද්ගලික අංශය මීට වඩා ක්‍රියාකාරී දායකත්වයක් ලබාදිය යුතුයි.

ජපානයේ පවා විශ්වවිද්‍යාල සිසුන් රැකියා සඳහා සූදානම් කරනවා - මහාචාර්ය ආශු මාරසිංහ

අපි විශ්වවිද්‍යාලයට ගියාම කාලයට ගැළපෙන පරිදි නව දැනුම, තාක්ෂණික දැනුම යාවත්කාලීන කර ගත්තා. පුද්ගලික අංශය සමඟ සම්බන්ධ වෙලා වැඩ කළා. ඒ නිසා බොහෝ අවස්ථාවන් ලබා ගන්න අපිට පුළුවන් වුණා. ජපානයේ පවා විශ්වවිද්‍යාල සිසුන් රැකියා සඳහා සූදානම් කරනවා. මම 2020 අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධන අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා, අධ්‍යාපන නවීකරණ වැඩසටහන 2020 – 2030 යෝජනාවලිය. එහිදී අපි ශාස්ත්‍ර පීඨයටත් තාක්ෂණ අධ්‍යාපනය එකතු කිරීමේ හැකියාව ගැන සොයා බැලුවා. විෂය මාලා සංවර්ධනය ඇතුළු කටයුතුවල මූලික වගකීම තිබෙන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට මිස ආණ්ඩුවට නොවෙයි. ඒකට හේතුව තමයි මේක වෙනස් කරන්න විශ්වවිද්‍යාල ඇතුළේ පහසුකම් තිබෙනවා. විශ්වවිද්‍යාල පාඨමාලා වෙනස් කරන්න බැහැ කියන කාරණයට මම එකඟ නැහැ. ලෝකයේ විශ්වවිද්‍යාල පාඨමාලා වෙනස් විය යුතුයි. ඒක ආචාර්වරුන්ගේ ප්‍රමුඛ කාර්යය. පාඨමාලා එහෙම යාවත්කාලීන නොවීම විශාල ගැටලුවක්.

| සටහන - තුෂාල් විතානගේ