තේ කර්මාන්තයේ හෙට දවසේ මතුවිය හැකි අභියෝග සම්බන්ධ පුළුල් සමාජ සංවාදයකදී තේ කර්මාන්තයේ නිෂ්පාදනය, මානව සම්පත සහ දේශපාලන ප්‍රතිපත්ති යන කුළුණු තුන සම්බන්ධයෙන් පුළුල් අවධානයක් යොමු කළ යුතුය.
මෙහි දී මෙම අභියෝග මතු වීමට බලපෑ හේතු සාධක මුලින්ම සොයා බැලිය යුතුය. එහිදී පිළිගත යුතු පොදු සත්‍ය වන්නේ අක්කර ලක්ෂ ගණනක් වන තේ වතු බිහි වූයේ වතු කම්කරු ජනතාවගේ දෑතේ මහන්සියෙන් සහ කැප කිරීම් තුළින් බවය. දකුණු ඉන්දියාවේ සිට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලන සමයේ දී මෙරටට කැඳවා ගෙන එන ලද ජනතාව මුලින් කෝපි වගාව ද පසුව තේ වගාව ද ආරම්භ කිරීමට අවශ්‍ය ශ්‍රමය ලබා දුන් බව අපි කවුරුත් දන්නා කරුණකි.
මේ ඓතිහාසික පදනම මත සිට ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ හෙට දවසේ මතුවිය හැකි අභියෝග සාකච්ඡා කරන විට අවධානයට ලක් කළ යුතු ප්‍රධාන අභියෝගය වන්නේ වර්තමාන තරුණ පරපුර තේ කර්මාන්තයේ රැකියාවලින් ඉවත් වීමේ වේගවත් ප්‍රවණතාවයි. ඉන්දියාව, කෙන්යාව වැනි කළු තේ වගා කරන රටවලට සාපේක්ෂ ශ්‍රී ලංකාවේ වතුකම්කරුවන්ගේ වැටුප ඉහළ බව ප්‍රකාශ වුව ද යථාර්ථය වන්නේ රටේ (ශ්‍රී ලංකාවේ) සෙසු වෘත්තීන්ට ගෙවන වැටුප හා සැලසීමේ දී වතු කම්කරුවන්ට ගෙවන වැටුප කිසිසේත් ඉහළ අගයක් නොගන්නා බව පමණක් නොව එය ප්‍රමාණවත් ද නොවන බවයි.

| භාරත් අරුල්සාමි
මේ හා උද්ගත වී ඇති තවත් ප්‍රශ්න කිහිපයක් වන්නේ කර්මාන්තකරුවා, ශ්‍රමිකයාට මෙන්ම අලෙවිකරුවාට ආදි වශයෙන් තේ කර්මාන්තය හා සම්බන්ධ වී සිටින ප්‍රධාන පාර්ශ්වයන් ත්‍රිත්වයම මූලික ගැටලු හා අභියෝග රැසකට මුහුණ දී සිටින බවයි.
මෙම ගැටලු බොහොමයක් ආරම්භ වන්නේ 90 දශකයේ මුල් භාගයේ දී තේ වතු පුද්ගලීකරණය කිරීමත් සමඟය. පුද්ගලීකරණය ආරම්භ වූ සමයේ තේ නිෂ්පාදනයට වඩා වර්තමානයේ තේ නිෂ්පාදනය සැලකිය යුතු ලෙස අඩු වී ඇත.
මේ ගැටලුවට තවත් වැදගත් කරුණක් සම්බන්ධ වී තිබේ. ඒ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වාදී සමයේ වතු පාලනය කළ, වැටුප් තීරණය කළ ක්‍රමවේදයන් අද ද ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වීම ය. උදාහරණයක් ලෙස වතු කම්කරුවන්ගේ වැටුප් ගණනය කිරීම අදත් සිදු වන්නේ ‘ස්ථිර දෛනික වැටුපක්’ ලෙසය. එය නවීකරණය කිරීමට කිසිවෙකු උනන්දු නොවන අතර සාම්ප්‍රදායික ක්‍රමවේදයන් මතම ක්‍රියාත්මක වීමට වර්තමානයේ ද කැමැත්තක් දක්වති. මෙය ගැටලුකාරීය, යල් පැන ගිය සම්ප්‍රදායන් දිගින් දිගටම රැක ගෙන යාමෙන් තේ කර්මාන්තයට සිදුවන යහපතක් නැත.
මෙම ගැටලුවේ තවත් පැත්තක් ද ඇත. දෛනික වැටුප මත තීරණය වන මාසික වැටුපක් වතු කම්කරුවන්ට ලැබෙන නමුත් වත්මන් තරුණ පරපුර එම වැටුපට කැමැත්තක් දක්වන්නේ නැත. ඇතැම් විට මෙම වැටුපට වඩා අඩු වැටුපක් ලැබෙන වත්තෙන් පිට රැකියා සඳහා ඔවුහු උනන්දුවක්, කැමැත්තක් දක්වති.
වත්මන් තරුණයින් මෙවැනි තීන්දුවක් ගැනීමට පැහැදිලි හේතු රැසක් ඇත. ඒ අතර වැදගත්ම එකක් වන්නේ ඔවුන් ‘පිළිගැනීමක්, ගරුත්වයක්’ අපේක්ෂා කිරීමය. වත්තේ රැකියාවට වඩා වත්තෙන් බැහැර අඩු වැටුපට හෝ කරන රැකියාවක් තුළින් තමන්ට වටිනාකමක්, ගරුත්වයක් ලැබෙන බව වත්මන් තරුණ – තරුණියන්ගේ පිළිගැනීමයි. ඒ නිසා අඩු වැටුපකට හෝ වත්තෙන් පිට රැකියාවකට යාමට ඔවුන් දෙවරක් සිතන්නේ නැත.
වතු ප්‍රජාව සමඟ දීර්ඝ කාලයක් කටයුතු කළ, වතු වෘත්තීය සමිති, සේවා යෝජකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් සමඟ ද සමීපව කටයුතු කර ඇති පුද්ගලයෙකු ලෙස අප මෙම ගැටලුව සමීප නිරීක්ෂණය කර ඇති අතර, එයට මුහුණ දීමට කළ යුතු දේවල් ද යෝජනා කර ඇත.
ගැටලුවේ මුල
මෙම ගැටලුවලට මූල බීජ ඇත්තේ ද වතු ක්‍රියාත්මක වන ක්‍රමවේදය තුළය. වතු කම්කරු වැටුප් තීරණය වන්නේ වතු වෘත්තීය සමිති, සමාගම් සහ රජය යන පාර්ශ්ව තුනේ ඒකාබද්ධ කේවල් කිරීමේ හැකියාව තුළය. අනෙක් අතට වතු කම්කරුවන් බරපතළ ලෙස දේශපාලනීකරණය කර ඇත.
වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ලක්ෂ 16කට ආසන්න හෝ ඊට වඩා වැඩි ඉන්දීය සම්භවයක් ඇති ජනතාවක් ජීවත් වන අතර ඔවුන්ගෙන් ලක්ෂ 10කට අධික පිරිසක් වර්තමානයේ ද වාසය කරන්නේ වතුකරය තුළය.
තවත් ප්‍රවණතාවක් තිබේ. වතුකරයේ ලක්ෂ 10කට අධික වතුකම්කරු ප්‍රජාවක් ජීවත් වුව ද සැබවින්ම වතු වල රැකියාව කරනු ලබන්නේ 76,000-80,000ක් අතර පිරිසකි. රජය පසුගිය දා ඉහළ දැමූ වතුකම්කරු වැටුපෙන් රාජ්‍ය භාගය වන දෛනිකව රුපියල් 250 ලබා ගන්නේ ඉහත දක්වන ලද පිරිස බව රජයේ වාර්තා පෙන්වා දෙයි. ඉතාම පැහැදිලිව මෙය බරපතළ තත්ත්වයකි. එහි අදහස වන්නේ වතුකරයේ ජීවත් වන ජනතාවගෙන් වතු රැකියාවලට සම්බන්ධ වී වැටුප් ලබන්නේ 8%ක් හෝ 9%ක් වැනි සුළු පිරිසකි.
සංවර්ධන ව්‍යාපෘති
වතුකරය මුහුණ දෙන තවත් බරපතළ අභියෝගයක්, නැතිනම් ගැටලුවක් පවතී. වතුකරයේ සියලුම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක විය යුත්තේ වතු වැවිලි භාරය හරහා ය. පළාත් පාලන ආයතන ද ඇතුළු අනෙක් අතට හෝ සංවිධානවලට මෙම භාරය ඉක්මවා ගොස් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ නොහැකිය.
අනෙක් අතට වතුකරයේ පැවැති ‘වෙනම රාජ්‍යයක්’ ලෙස වුවත් වතු ජනතාව ජීවත් වූයේ ‘යැපුම් මානසිකත්වයෙනි’.
මේ අතර 2017 පළාත් පාලන සංශෝධන පනත සම්මත වීමත් සමඟ පළාත් පාලන ආයතනවලට වතුකරයේ සංවර්ධන කටයුතුවලට දායක වීමේ නෛතික අවස්ථාව හිමි විය. ඒ හරහා රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘතිවලට වතු තුළ ක්‍රියාත්මක වීමට අවස්ථාව හිමිවිය. මෙය පැහැදිලිව මූලික වෙනසක් වූ අතර වතුකරයේ දීර්ඝ කාලයක් පැවැති ප්‍රධාන ගැටලුවක් විසඳා ගැනීමට අවස්ථාවක් ද උදා කළේය.
මේ ආකාරයේ ප්‍රවණතා දිගින් දිගිටම සිදු වුව ද වතු ජනතාව අතර තවමත් බියක් පවතී. ඔවුන් බිය වන්නේ ඔවුන් විසින් බිහි කර, පවත්වා ගෙන ගිය වතු කර්මාන්තය ඔවුන්ගේ දෑස් ඉදිරිපිටම විනාශ වී යනු ඇති බවටය. මෙය හුදු බියක් පමණක් නොව ශෝකය ද මුසු වූ මානව හැඟීමක් වශයෙන් ද සැලකිය හැකිය.
නැවත වගාව
දශක ගණනාවක් පැරණි, ඵලදායීතාවය අඩුවෙමින් පවතින තේ වගාවට නැවත වගාව අත්‍යවශ්‍ය කාරණයක් ලෙස පොදුවේ හඳුනා ගෙන ඇත. නමුත් ගැටලුව වන්නේ නැවත වගාව ඉතා සීමිත ප්‍රමාණයකට සිදුවීමය. එපමණක් නොව වතු නඩත්තු කිරීම ද පවතින්නේ ‘ඉතාම දුර්වල’ තත්ත්වයකය. තේ දළු නෙළන ප්‍රමාණයට වතු කම්කරුවන්ට වැටුප් ගෙවන යම්කිසි ක්‍රමවේදයක් ඉදිරියේ දී නිර්මාණය කරන්නේ නම් නෙළා ගත හැකි තේ දළු ප්‍රමාණයක් වත්තේ නිෂ්පාදනය විය යුතුය. නමුත් නැවත වගාව, නිසි නඩත්තුව ආදි අත්‍යවශ්‍ය සාධකවලින් තොරව පවත්වා ගෙන යන වතු වලින් වැඩි දළු ප්‍රමාණයක් නෙළා ගැනීමට අවස්ථාවක් නොපවතී. තේ අස්වැන්න දිගින් දිගටම පහළ යන පසුබිමක් තුළ ‘නෙළන තේ දළු ප්‍රමාණයට වැටුප් ගෙවන’ ක්‍රමවේදයක් වතු කම්කරුවාට වාසිදායක නොවේ. ඊට හේතුව මහන්සි වී, කැපවීමෙන් නෙළීමට තරම් ප්‍රමාණවත් දළු ප්‍රමාණයක් වත්තෙන් නිෂ්පාදනය නොවීමය. විසඳුම ප්‍රායෝගික විය යුතු අතර භූමියේ යථාර්ථය ද පිළිගන්නා එකක් විය යුතුය.
අපේ යෝජනා
මේ සියලු ගැටලු හමුවේ කර්මාන්තය තුළින් ඉදිරිපත් වන යෝජනා කිහිපයක් තිබේ. අපේ පළමු යෝජනාව වන්නේ,
වතුකරයෙන් ඉවත් වෙමින් පවතින ශ්‍රමය වතුකරය තුළම රඳවා ගත හැකි ක්‍රමවේදයක් නිර්මාණය කිරීමය. අනෙක් අතට සාම්ප්‍රදායික වතු පරිපාලන ක්‍රමය තව දුරටත් වලංගු නොවන බව පැහැදිලි වී ඇත. නමුත් එය වෙනස් කිරීමට බලධාරීන් උනන්දුවක් දක්වන බවක් නොපෙනේ. මෙය තව දුරටත් ක්‍රියාත්මක වන්නේ නම් වතු බිඳ වැටීම අනිවාර්ය කරුණක් වනු ඇත. එනිසා වතු කළමනාකරණය හා පාලනය නවීන ක්‍රමවේදයක් වෙත ගමන් කළ යුතු අත්‍යවශ්‍ය පරිසරයක් නිර්මාණය වෙමින් තිබේ.
අනෙක් අතට පහත රට කුඩා තේ ඉඩම් හිමියෝ වර්තමානය වන විට ඉහළ දළු ප්‍රමාණයක්, නිෂ්පාදනයක් ලබා ගනිමින් සිටිති. එයට හේතුව වන්නේ ඔවුන් තම වත්ත ගැන පුද්ගලික අවධානයක් යොමු කිරීම සහ මැදිහත් වීමය, ශ්‍රමදායකත්වය ලබා දීමය. නමුත් මහා වතුවල මෙවැනි තත්ත්වයක් වර්තමානයේ දී දැකගත නොහැකිය. අනෙක් අතට වැඩි වැටුපක් ලබා දෙන බව පැවසුව ද ඉන්දීය සම්භවයක් ඇති ජනතාව හැර අනෙක් කිසිම ප්‍රජාවක් වතු රැකියාවට සම්බන්ධ නොවෙති. මේ තත්ත්වයට යල්පැන ගිය නීති මෙන්නම, යාවත්කාලීන නොවන නීති ද ප්‍රබල ලෙස දායක වී ඇත. ඒ අනුව වතුකරය සම්බන්ධ නෛතික පද්ධතියේ කඩිනම් ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව අවධාරණය කර ඇත.
සබැඳි පුවත්
වතු රැකියා ජනප්‍රිය සහ ආරක්ෂණීය රැකියාවක් කිරීම වැදගත් වන්නා සේම තේ කර්මාන්තය ඇතුළු වතු කර්මාන්තයේ ආර්ථික වටිනාකම ද ඉහළ නැංවීම අත්‍යවශ්‍ය වේ. මෙහි දී රාජ්‍ය අංශය සතු වතු කළමනාකරණ කාර්යක්ෂම කිරීම, ඵලදායීතාවය ඉහළ නංවා ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. ආකෘති තුනක් යටතේ රාජ්‍ය අංශයට සම්බන්ධ වතු කළමනාකරණය සිදු වුව ද ඒවා නැවත වගාවට යොමු වීම අතිෂය දුර්වලය. ආණ්ඩුවේ වතු තේ නැවත වගාව සම්බන්ධයෙන් මේ ආකාරයේ අඩු අවධානයක් යොමු කරන තත්ත්වයක් තුළ පුද්ගලික අංශයට බලපෑම් කිරීමට ආණ්ඩුවට නොහැකිය. ඊට හේතුව ආණ්ඩුවෙන් ආදර්ශයක් නොලැබීමය.
අප විසින් තේ කර්මාන්තයේ ප්‍රගමනය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන තෙවැනි යෝජනාව වන්නේ නවීකරණයයි. වර්තමානයේ ඉතා ජනප්‍රිය සහ කාර්යක්ෂ ඩ්‍රෝන තාක්ෂණය පහසුවෙන් තේ වගාවේ විවිධ අංශවලට යෙදවිය හැකිය. මේ වන විට ද කොටගල ප්‍රදේශයේ සමාගමක් තම තේ වතු වෙනුවෙන් ඩ්‍රෝන තාක්ෂණය සාර්ථක ආකාරයෙන් යොදා ගෙන ආදර්ශයක් ලබා දී තිබේ.
වතු වගාවට මේ ආකාරයෙන් ඩ්‍රෝන තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය ආදි නවීන තාක්ෂණික ක්‍රමවේද ඇතුළත් කර ගන්නේ තරුණ ප්‍රජාව පහසුවෙන් තේ කර්මාන්තය වෙත ආකර්ෂණය කර ගැනීමට අවස්ථාව උදා වේ.
මේ ආකාරයෙන් නවීන තාක්ෂණය භාවිතය තුළින් තේ වගාවේ ඵලදායීතාවය ඉහළ නංවාලීම සිදුවන අතර එය සමස්ත කර්මාන්තයේම ප්‍රගමනයට සහ දියුණුවට ඉවහල්වනු ඇතැයි සිතිය හැකිය.
(සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සංවිධාන කරන ‘කතිකාව’ සංවාද මාලාවේ ‘තේ කර්මාන්තයේ හෙට දවසේ මතුවිය හැකි අභියෝග’ නම් තේමාව යටතේ පැවැති කතිකාවේ දී භාරත් අරුල්සාමි මහතා ඉදිරිපත් කළ අදහස් ඇසුරින් තුෂාල් විතානගේ විසින් සම්පාදිත ලිපියකි)
