Ceylon Tea වලින් ලෝකය ජය ගැනීමට ඇති ප්‍රධාන අභියෝගය ගුණාත්මක තේ නිෂ්පාදනයයි (03 කොටස)– ආචාර්ය සුධාරක ආරියරත්න

tea-taste

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ හෙට දවසේ මතුවිය හැකි අභියෝග සම්බන්ධ සාකච්ඡාවේ දී වැදගත් මාතෘකාවක් ලෙස තත්ත්ව පාලනය සැලකිය හැකිය.

තේ නිෂ්පාදනවල තත්ත්ව පාලනය තේ වල ගුණාත්මකභාවයට ඍජුව සම්බන්ධ වන අතර එය ජාත්‍යන්තර තේ වෙන්දේසියේ දී තීරණාත්මක සාධකයක් බවට පත්වේ. එයට හේතුව වන්නේ අඩු ගුණාත්මකභාවයෙන් යුතු තේ බොහෝ විට ප්‍රතික්ෂේප වීමට සහ ‘සිලෝන් ටී’ නම් ශ්‍රී ලාංකික සන්නාමයට දැඩි හානියක් කිරීමය.

අනෙක් අතට ගුණාත්මකභාවයෙන් අඩු තේ වෙනුවෙන් ඉහළ මිලක් ලබා ගැනීමේ නොහැකියාවක් ද පවතී. ආර්ථික විද්‍යාවේ දී මේ සම්බන්ධයෙන් න්‍යායික පදනමක් ද පවතින අතර, ඉන් අදහස් වන්නේ ‘ඉතා ඉහළ ගුණාත්මකභාවයකින් යුතු නිෂ්පාදනයක් වුව ද මිලදී ගන්නාට ඒ නිෂ්පාදනය සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති නම් එම නිෂ්පාදනයට ඉහළ මිලක් ගෙවීමට පාරිභෝගිකයා කැමැත්තක් නොදක්වන බවයි.

ලංකාව මුහුණ දෙන අවුල

ලංකාව පසුගිය කාලය පුරා මේ ගැටලුවට මුහුණ දී ඇත. ලංකාවේ තේ වෙන්දේසියට ඉතා උසස් තත්ත්වයේ තේ පැමිණෙන අතර ඉතාම අඩු ගුණාත්මක භාවයකින් යුතු නිෂ්පාදන ද පැමිණේ. මේ තත්ත්වය හමුවේ ලංකාවේ තේ වල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ යම්කිසි අවිශ්වාසයක් පවතී. එය තව දුරටත් පැහැදිලි කරන්නේ නම් යම් ගැනුම්කරුවෙක් ලංකාවේ වෙන්දේසියක දී තේ මිල දී ගත්ත ද ඔහුට අදාළ තේ වල ගුණාත්මකභාවය නිවැරදිව තක්සේරු කිරීමට අවස්ථාව ලැබෙන්නේ මිල දී ගැනීමෙන් පසුව ය.

| ආචාර්ය සුදාරක ආරියරත්න

මේ තත්ත්වයේ අවසාන ප්‍රතිඵලය වන්නේ ඉතා ඉහළ ගුණාත්මකභාවයකින් යුතු තේ සපයන නිෂ්පාදකයින් අධෛර්යමත් වීම සහ අඩු ගුණාත්මකභාවයකින් යුත් තේ සපයන නිෂ්පාදකයින්ට වෙළෙඳපොළ අවස්ථා විවර කර දීමය. මෙහි සමස්ත ප්‍රතිඵලය, අවසන් ප්‍රතිඵලය වන්නේ ශ්‍රී ලංකාවේ සමස්ත තේ කර්මාන්තයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැනුම්කරුවන් අතර ඍණාත්මක ආකල්පයක් නිර්මාණය වීමය.

මේ තත්ත්වය මෙරට තේ කර්මාන්තයේ ප්‍රගමනයට කිසිසේත් යහපත් නොවන හෙයින් ‘සිලෝන් ටී’ සන්නාමයේ ගුණාත්මකභාවය ඉහළ නංවන ක්‍රම වෙත අදාළ බලධාරීන්ගේ දැඩි අවධානයක් යොමු විය යුතුය.

කළ යුත්තේ කුමක් ද ?

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ නම් සොයා බැලිය යුතු වැදගත්ම කරුණ වන්නේ, ‘තේ වල ගුණාත්මකභාවය අඩු වුණේ ඇයි ?’ යන හේතුවය.

පර්යේෂකයින් ලෙස අප පසුගිය අධ්‍යයනයේ දී සොයා ගත් කරුණ වන්නේ පහත රට කුඩා තේ ඉඩම් හිමියන්ට වඩා තේ සකස් කරන කර්මාන්තශාලා වැඩි බවයි. මෙහි යම්කිසි හාස්‍යජනක ස්වභාවයක් තිබුණ ද යථාර්ථය එයයි. කුඩා තේ කර්මාන්තය ආශ්‍රිතව විශාල කර්මාන්තශාලා ප්‍රමාණයක් පැවතීම එහි නිෂ්පාදනවල ගුණාත්මකභාවය දුර්වල වීමට ප්‍රධාන හේතුවක් වී ඇත.

මෙය තව දුරටත් පැහැදිලි කරන්නේ නම් කුඩා තේ හිමියන් විසින් නිෂ්පාදනය කරන තේ දළු මිලදී ගැනීමට කර්මාන්තශාලා අතර විශාල තරඟයක් පවතී. මේ පසුබිම තුළ දළුවල ගුණාත්මකභාවය ගැන වැඩි තැකීමක් ද නොකර තරඟකාරී මිල ගණන් ඉදිරිපත් කිරීමක් දැකගත හැකි අතර බොහෝ අවස්ථාවල වෙළෙඳපොළ සාමාන්‍ය මිල ද ඉක්මවා ගිය මිලකට තේ දළු මිලදී ගැනීම සිදුවේ.

මේ තත්ත්වය සම්බන්ධයෙන් තේ ඉඩම් හිමියන්ට ද මනා අවබෝධයක් ඇත. එනිසා ඔවුන් ද තේ දළු වල ගුණාත්මකභාවය ගැන වැඩි අවධානයක් යොමු නොකර ප්‍රමිතියෙන් බාල දළු ද සැපයීම තුළින් වැඩි කිලෝ ප්‍රමාණයක් කර්මාන්තශාලා වලට ලබාදීමට පියවර ගනී.

ශ්‍රී ලංකාවේ තේවල, විශේෂයෙන් පහත රට කුඩා තේ ඉඩම් හිමියන්ගේ තේ දළුවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට අවශ්‍ය නම් ඉහත සඳහන් කළ කාරණාවලට ප්‍රතිචාර දැක්වීම අනිවාර්යය කොන්දේසියක් බවට පත්වේ.

සබැඳි පුවත්

නියාමන දුර්වලතා

ඉහතින් දක්වන දුර්වලතා, ගැටලු බොහොමයක් වර්ධනය වීමට තේ මණ්ඩලයේ නියාමන දුර්වලතා ද ප්‍රධාන හේතුවක් වී ඇත. එය තව දුරටත් සංකීර්ණ කරන්නේ තේ මණ්ඩලය බැදියාවන් අතර ගැටුමකට ද මුහුණ දීමය. තේ මණ්ඩලය ශ්‍රී ලංකාවේ තේ ප්‍රවර්ධනය කිරීමේ වගකීම මෙන්ම නියාමන කාර්යභාරය ද ඉටු කිරීමට බැඳී සිටී. යම්කිසි ආයතනයක නිෂ්පාදන (සිලෝන් ටී) ප්‍රවර්ධනය සහ නියාමනය ද එකවර කිරීමට හැකි ද ? යන ප්‍රශ්න මේ සමඟ පැන නගී.

මෙම ගැටලුව, අභියෝගය විසඳීමට ගත හැකි පියවර කිහිපයකි. මුලින්ම ආයතන රාමුව ශක්තිමත් කළ යුතුය. අපගේ අදහස අනුව මෙහි දී කළ යුතු වැදගත්ම කටයුත්ත වන්නේ සිලෝන් ටී වෙනුවෙන් Geographical Indication (GI) ලබා ගෙන ඒ අනුව කටයුතු කිරීමය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සැලකිය යුතු දුරටක් පැමිණ ඇති නමුත් එය වහාම කඩිනම් කළ යුතුය.

මෙහි දී තේ මණ්ඩලයේ වගකීම වන්නේ Geographical Indication (GI) වලට තත්ත්ව සහතික සම්බන්ධ පැරාමීටර් එකතු කිරීමය. ‘සිලෝන් ටී’ සන්නාමය භාවිතා කරන සියලුම තේ නිෂ්පදනවල ගුණාත්මකභාවය සම්බන්ධ දැඩි නිර්ණායක හා මාර්ගෝපදේශ ඉදිරිපත් කිරීම මෙහි දී ඉතාම වැදගත් වේ.

ස්වයං නියාමනයක්

තේ මණ්ඩලය හරහා නියාමනය ක්‍රියාත්මක වීම ගැටලුකාරී හෙයින් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට ස්වයං නියාමනයක් වෙත යාමට ඇති අවස්ථාව, හැකියාව සම්බන්ධයෙන් ද සොයා බැලිය යුතුය. මෙහි දී තේ කර්මාන්තය හා සම්බන්ධ සංවිධාන, වෘත්තීය සංවිධාන ගණනාවක් පවතින අතර එම සංවිධාන හරහා ස්වයං නියාමන යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමට ඇති හැකියාව සොයා බැලිය යුතුය. එහි දී ස්වයං නියාමන යාන්ත්‍රණයක් හරහා සිලෝන් ටීවල ගුණාත්මකභාවය ඉහළ යාමේ ඍජු ප්‍රතිලාභ කර්මාන්තකරුවන්ට ලැබෙන හෙයින් ඒ ගැන ඔවුන් ද උනන්දු වනු ඇතැයි විශ්වාස කළ හැකිය.

(සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරය විසින් සංවිධාන කරන කතිකාව සංවාද මාලාවේ තේ කර්මාන්තයේ හෙට දවසේ මතුවිය හැකි අභියෝග නම් තේමාව යටතේ පැවැති  කතිකාවේ දී ආචාර්ය සුධාරක ආරියරත්න මහතා ඉදිරිපත් කළ අදහස් ඇසුරින් තුෂාල් විතානගේ විසින් සම්පාදිත ලිපියේ 03වන කොටස)

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image