නව කොරෝනා ප්‍රභේදය නිසා එක්සත් රාජධානිය හුදෙකලා වෙයි

නව කොරෝනා ප්‍රභේදය නිසා එක්සත් රාජධානිය හුදෙකලා වෙයි

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය හේතුවෙන් එක්සත් රාජධානිය, ලොව අනෙක් රටවල් අතර හුදෙකලා තත්ත්වයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලන්ඩන් අගනුවර කේන්ද්‍ර කරගනිමින් නව කොරෝනා වයිරසයේ, නව ප්‍රභේදය පැතිර යෑම හේතුවෙන් මේ තත්ත්වය උද්ගත වී තිබේ.

මේ හේතුවෙන් ඉන්දියාව, ජර්මනිය, ඉරානය, ඉතාලිය, කැනඩාව, ඩෙන්මාර්කය, ප්‍රංශය, නෙදර්ලන්තය, ස්විට්සර්ලන්තය, ෆින්ලන්තය, පෝලන්තය ඇතුළු රටවල් 30කට වැඩි සංඛ්‍යාවක් මේ වනවිට එක්සත් රාජධානියට කරන, ගුවන් ගමන් නවතා දමා ඇත.

මේ සම්බන්ධයෙන් සහයෝගයෙන් සහ එකමුතුව ප්‍රතිචාර දැක්වීම සඳහා යුරෝපා සංගමයේ රැස්වීමක් බ්‍රසල්ස් නුවරදී  21 පැවැත්වීමට නියමිතව තිබිණි.

එක්සත් රාජධානියෙන් ඉරිදා දිනයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 35,928 දෙනකු වාර්තා වූයේ යැයි එරට සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කළහ. එය ඊට දින හතකට පෙර වාර්තා වූ ගණන මෙන් දෙගුණයක් යැයි ද සෞඛ්‍ය බලධාරීහු කීහ.

වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී දින 28ක් ඇතුළත පසු 326 දෙනකු මියගොස් ඇතැයි ද ඒ අනුව වයිරස ආසාදිත මරණ ගණන 67,401ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

නව කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයේ සම්ප්‍රේෂණය වීමේ හැකියාව (පැතිර යෑමේ) සියයට 70ක් වැඩි යැයි, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම් (සෞඛ්‍ය අමාත්‍ය) මැට් හැන්කොක් පැවැසීය.

වයිරසයේ නව ප්‍රභේදය ලන්ඩනයේ සහ ගිනිකොන දිග ලන්ඩනයේ වේගයෙන් පැතිර ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මෙම නව ප්‍රභේදය මාරාන්තික හෝ එන්නත්වලට වෙනත් ප්‍රතිචාර දක්වනු ඇතැයි කීමට තවමත් ප්‍රමාණවත් සාක්ෂි නැතැයි ද සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කළහ.