හොර පාරෙන් කැනඩා යන්න ගිය ලක් තරුණයා කටුනායකදී කොටුවෙයි

හොර පාරෙන් කැනඩා යන්න ගිය ලක් තරුණයා කටුනායකදී කොටුවෙයි
ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සකස් කළ නේවාසික වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් කටාර් රාජ්‍යය ඔස්සේ කැනඩාව වෙත පැන යාමට තැත් කළ ලාංකිකයෙකු ඊයේ (25) කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
 
එම තැනැත්තා මහනුවර ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.කටාර් රාජ්‍යයේ දෝහා වෙත පිටත්ව යාමට නියමිත කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 669 දරන ගුවන් යානයට පිවිසීම සඳහා ඔහු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
 
මොහු ගුවන් ප්‍රවේශ පත්‍ර ලබාගැනීම සඳහා කටාර් ගුවන් සේවා කවුළුව වෙත පැමිණි අවස්ථාවේ, ඔහු ඉදිරිපත් කළ, කැනඩාවේ නේවාසික වීසා බලපත්‍රය පිළිබඳව මතු වු ගැටළුවක් මත , එම ගුවන් සේවා නිලධාරීන් මෙම ලියකියවිලි සමග වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපළ තුළ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත සැකකරු යොමු කර තිබේ.
 
එහිදී එම නිලධාරීන් කළ තාක්ෂණික පරීක්ෂාවලදී , මෙම නේවාසික වීසා බලපත්‍රය ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සකස් කර ඇති බව අනාවරණය විය.
 
ඒ පිළිබඳව ඔහුගෙන්  ප්‍රශ්න කිරීමේදී, තමන් රුපියල් ලක්ෂ දෙකක් තැරැව්කරුවෙකු වෙත ලබා දී මෙම කැනඩා  නේවාසික වීසා බලපත්‍රය සකස් කර ගත් බව හෙළිදරව් කළේය.
 

ඒ අනුව ඔහු සතුව පැවති ලියකියවිලි සමග ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන , මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සදහා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ.