ගුවන්තොටුපල PCR රසායනාගාරය වැසෙන්න හැර ගජ මිතුරන් තර කරන සෞඛ්‍ය අමාත්‍යාංශය

ගුවන්තොටුපල PCR රසායනාගාරය වැසෙන්න හැර ගජ මිතුරන් තර කරන සෞඛ්‍ය අමාත්‍යාංශය

ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ PCR රසායනාගාරයක් ස්ථාපිත කිරීමේ මූලික අරමුණට සම්පූර්ණයෙන්ම පටහැනිව සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී. ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළ PCR රසායනාගාරයක් ඉදිකිරීමේ මූලික අරමුණ වන්නේ ගුවන් මගීන්ගෙ PCR පරීක්ෂණ සිදු කිරීම වුවද, සංචාරක ගෙන්වීමේදී හෝ ගුවන්තොටුපළ විවෘත කිරීමෙන් පසුව, ගුවන් මගීන්ගේ එකදු PCR පරීක්ෂණයක් හෝ ගුවන් තොටුපළ රසායනාගාරයට යොමු කර නැත. අමාත්‍යාංශයේ සමහර නිලධාරීන් සහ විශේෂඥයන්ගේ තාවකාලික සේවා ස්ථාන වලට වාසි සලසමින්, ගුවන් මගීන්ගේ සියලු PCR පරීක්ෂණ පෞද්ගලික අංශයේ රසායනාගාරයක ට යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත.

ඒ සඳහා පූර්ව පියවරක් ලෙස ගුවන් තොටුපළ තුළ PCR නිදර්ශක ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් යොදවන ලද කාර්ය මණ්ඩලය, ගුවන් තොටුපල විවෘත කිරීමට පෙර ඉවත් කර ගැනීමට කටයුතු කර තිබීම කැපී පෙනෙන තත්ත්වයකි.

ශ්‍රී ලංකාව තුළ අංක එකේ PCR රසායනාගාරය ලෙස කටයුතු කරනු ලබන්නේ ගුවන්තොටුපල රසායනාගාරය වන අතර, එහි ධාරිතාව PCR පරීක්ෂණ 4500ක් පමණ වේ. පැය එකහමාරක පමණ කෙටි කාලයකින් PCR පරීක්ෂණ වාර්ථාවක් නිකුත් කිරීමේ හැකියාව පවතින අතර, ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා වාර්තාවක් ලබා දීමේ හැකියාව ඇති රසායනාගාරය වන්නේ ද එම රසායනාගාරයයි. එම තත්ත්වයන්ට කිසිසේත් සමාන කළ නොහැකි රසායනාගාර වෙත PCR පරීක්ෂණ යොමු කිරීම මගින් රජයට ඉපයීය හැකි විශාල ආදායමක්, ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු අතට පත් කිරීම බරපතළ අත්වැරැද්දක් බව ජනාධිපතිවරයා ඇතුළු සෞඛ්‍ය බලධාරීන් වටහා ගත යුතුය.

ගුවන් මගීන්ගෙන් සහ සංචාරකයන්ගෙන් දැනට පරීක්ෂණයක් සඳහා ඇමරිකානු ඩොලර් 50 ක පමණ මුදලක් අය කරන අතර ඔවුන් PCR පරීක්ෂණ දෙකක් හෝ හතරක් අනිවාර්යෙන්ම සිදු කල යුතුය. මෙම මුදල පමණක් රජයට හෝ ගුවන්තොටුපලට අයකර ගනු ලබන්නේ නම්, එමගින් සමස්ත PCR රසායනාගාරය නඩත්තු කළ හැකිව තිබියදී, ඊනියා ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ සහ ඔවුන්ගේ ගජමිතුරන්ගේ ව්‍යාපාර නඩත්තු කිරීම සඳහා වසංගතය භාවිත කිරීම බරපතළ තත්ත්වයකි.

රවි කුමුදේශ් සභාපති
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය