රාජ්‍ය සේවය කප්පාදු වු ශේණිගත උසස්වීම් විභාග ක‍්‍රමය නැවතත් කරළියට

රාජ්‍ය සේවය කප්පාදු වු ශේණිගත උසස්වීම් විභාග ක‍්‍රමය නැවතත් කරළියට

මෑත කාලීනව රාජ්‍ය සේවයේ ගුණාත්මක භාවය දියාරු කරමින් 06/2006 වැටුප් චක‍්‍රලේඛය මගින් රාජ්‍ය සේවය තුල ඇතිකරන ලද ව්‍යාකූලත්වය අතිමහත්ය. එය පදනම් කරගෙන සංශෝධනය කෙරුණු හා අළුතෙන් බිහිවු නව සේවා ව්‍යවස්ථාවන් හා බඳවා ගැනිමේ පරිපාටි සියල්ලේ සේවාවේ උසස්විම් සඳහා ප‍්‍රධාන නිර්නායකය ලෙස යොදා ගැනුනු විභාග ක‍්‍රමය ඉවත් කර සේවා කාලය මත පමණක් පදනම් වු උසස්විම් ක‍්‍රමවේදයක් හඳුන්වා දෙන ලදී. මෙමගින් සේවාවකට ඇතුලත්වි සේවාව තුල සිය කුසලතාවය හා නිපුණතාවය සංවර්ධනය කර ගැනීමටත් එම දැනුම, කුසලතාවය හා දක්ෂතා ඇගයීම පදනම් කරගත් විභාග ක‍්‍රමයක් තුලින් ඉහල ශේණියකට උසස් වීමට තිබු අවස්ථාව අහිමිවිය. ඒ හේතුවෙන් මේ වන විට රාජ්‍ය සේවකයන් තුල පැවැති සේවා තෘප්තිය අහිමිවී නිද්‍රාශිලී රාජ්‍ය සේවයක් බිහිවී ඇත.

රාජ්‍ය සේවයේ පෙර පැවැති ගුණාත්මක භාවය අඩුවීමට ඇතුලත්විමේ විභාගයේ සිටම විභාග මග හරිමින් සුදුසුකම හා සේවා කාලය මත පදනම්ව නිකම්ම ලැබෙන උසස්වීම් ලබාගැනීමට උත්සාහ කරන ඇතැම් සේවාවන් හේතු වී ඇත. රටකට උසුලාගත නොහැකි තරමට වැඩිවී ඇති රාජ්‍ය සේවය ගුණාත්මක භාවය වැඩි කිරීම පසෙකලා දේශපාලනික අරමුණු වෙනුවෙන් තව තවත් ප‍්‍රමාණාත්මකව ඉහල දැමිම අභිමානවත් රාජ්‍ය සේවයක ගරා වැටීමට මංපෙත් විවර කර දී ඇත.

අනාදිමත් කාලයක සිට බඳවා ගැනිමේ පටන්ම සියළු උසස්විම් දක්වා විභාග දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවනු ලබන අතිශය තරඟකාරි හා ඉහළ ගුණාත්මක බවකින් යුතු විභාග ක‍්‍රමයක් තුලින් කළමානාකරණ නිලධාරි සේවාවට ඇතුලත්වු බුද්ධිමතුන් සිය සහජ දක්ෂතාවයක් වු ගැටළුවක ස්වභාවය හඳුනාගැනීම එය තමා ලබා ඇති න්‍යායාත්මක හා ප‍්‍රයෝගික දැනුම යොදාගෙන ක්ෂණීකව හා නිවැරදිව විසඳීමට කටයුතු කිරිම යන ක‍්‍රමවේදය අනුගමනය කරමින් විභාග සමත් වීමේ කුසලතාවය දක්වන ආකාරයටම සිය රාජකාරි කටයුතු කිරිමෙන් ප‍්‍රශස්ථ මහජන සේවයක් සපයන ලදී.

06/2006 වැටුප් චක‍්‍රලේඛය පාදක කරගෙන නිර්මාණය වු සේවා ව්‍යවස්ථාව තුලින් ශේණිගත උසස්වීම් තරඟ විභාග ක‍්‍රමය ඉවත් කිරිමට එරෙහිව එවකට රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය හා වත්මන කළමනාකරණ සේවා නිලධාරි සේවය නියෝනය කරන සමස්ත ලංකා කළමනාකරණ සේවා නිළධාරීන්ගේ සංගමය ප‍්‍රමුඛ සියළු වෘත්තිය සමිති වෙන් වෙනව මෙන්ම පසුකාලීන සියළුම වෘත්තිය සමිති එකතුවෙන් පිහිටුවාගත් ඒකාබද්ධ කළමනාකරණ සේවා වෘත්තිය සමිති සන්ධානය තුළින් ද ප‍්‍රබල විරෝධතාවයක් ඇතිවිය.
1980 මහා වැඩ වර්ජනයෙන් අනතුරුව මෙරට පැවැත්වුනු දැවැන්තම වෘත්තිය සමිති ක‍්‍රියාමාර්ගය 2019 වසරේ පෙබරවාරි 27 වන දින රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරින් සිය ඉල්ලීම් 13 ක් මුල් කරගෙන සියළුම නිලධාරින් ලෙඩ නිවාඩු වාර්ථා කරමින් හා විහාරමහාදේවි උද්‍යානයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා 15000 කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැතුනු දැවැන්තම විරෝධතාවයි. මෙම විරෝධතාවය 06/2006 වැටුප් චක‍්‍රලේඛය මගින් සේවාවට සිදුවු අගතියට එරෙහිව දියත් කෙරෙනු දැවන්තම වෘත්තිය සමිති ක‍්‍රියා මාර්ගය විය.

එහි ප‍්‍රතිඵලයක් ලෙස සේවා නාමය දිනා ගැනීමටත් දෙවන භාෂා ගැටළුව විසඳා ගැනීමටත් හැකිවු අතර වසර 1 1/2 කට ආසන්න කාලයක් පුරා සිදු කෙරුණු සාකච්ඡුා වලින් අනතුරුව ශේණීගත උසස්වීම් සඳහා නැවතත් විභාග ක‍්‍රමය දිනා ගැනීමට හැකියාව ලැබි ඇත. ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය විසින් කළමනාකරණ සේවා නිළධාරීන්ගේ ශේණිගත උසස්වීම් සඳහා ලබාදෙන ලද යොජනා තුල iii පන්තියේ සිට ii පන්තියට උසස්විම සඳහා නිර්දේශිත යෝජනා සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබි ඇත. ඒ අනුව 2020.09.08 දින රාජ්‍ය සේවා හා පළාත් පාලන අමත්‍යාංශයට කැඳවු සේවාව නියෝජනය කරන වෘත්තිය සංගම් සහ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරින් අතර පැවැති සාකච්ඡාවේදී ඇතිවු එකඟතාවය මත එම නිර්දේශිත යෝජනා කැබිනට් මණ්ඩල අනුමැතියට යොමු කිරීමට තිරණය කර ඇත.

ඒ අනුව ඉදිරියේදි සේවාවට ඇතුලත් වන දක්ෂ නිලධාරින්ට තම දැනුම හා කුසලතාවය උපයෝගි කරගෙන කළමනාකරණ සේවා නිලධාරි සේවාව තුල ඉතා කෙටි කාල සීමාවක් තුල ඉහල ශේණි දක්වා උසස්විමටත් ඉන් නොනැවතී සීමිත බඳවා ගැනීමේ ක‍්‍රම වේදයන් යටතේ ශ‍්‍රී ලංකා පරිපාලන සේවය, ශ‍්‍රී ලංකා ගණකාධිකාරි සේවාව, ශ‍්‍රී ලංකා සැළසුම් සේවාව වැනි දීප ව්‍යාප්ත සේවාවන් දක්වා වුවද සීමිත ධාරාව ඔස්සේ කෙටි කලකින් උසස්වීමේ හැකියාව උදාවනු ඇත.

සේවා කාලය මත පමණක් පදනම්ව උසස්වීම් ලැබිමේදි නිලධාරින් තුල ඇතිවන උදාසීනත්වය හා සේවා අතෘප්තිය ඉවත් වී සේවාව තුල නව ප‍්‍රබෝධයක් ජනිත විමටත් ඒ තුලින් වඩාත් කාර්යක්ෂම හා ළුලදායි රාජ්‍ය සේවයක් ගොඩනැගීමටත් මෙම කාරණය හේතු වනු ඇත.

පී.ජි. සමන් පීරිස් - භාණ්ඩාගාරික - සමස්ත ලංකා රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරි සංගමය