රාජ්‍ය සේවකයන් කැඳවීම යළි සීමා කරද්දී ‘බස්නාහිර හා වයඹ සියලුම පාසල් වසා දමයි

රාජ්‍ය සේවකයන් කැඳවීම යළි සීමා කරද්දී ‘බස්නාහිර හා වයඹ සියලුම පාසල් වසා දමයි

කොවිඩ් 19 වසංගත තත්ත්වය යළි වර්ධනයවීම හේතුවෙන් රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල කැඳවීම සීමා කිරීමට තීරණය කර ඇතැයි ද ඒ අනුව කාර්ය මණ්ඩල සීමා කරමින් සේවා පවත්වාගෙන යාම පිළිබඳ චක්‍රලේඛයක් අද (27) දිනයේදී නිකුත් කරන බව ද රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා පවසයි.

සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි, නව වසංගත තත්ත්වයට මුහුණදීමේ අරමුණින් මෙම චක්‍රලේඛය නිකුත් කරන බවයි රත්නසිරි මහතා සදහන් කළේ.

කොවිඩ් පළමු රැල්ල සමයේදී මෙන් රාජ්‍ය ආයතන වෙතට ගෙන්වා ගන්නා කාර්ය මණ්ඩල සීමා කිරීම, කාර්යාල වෙත නොපැමිණෙන සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කරදීම මෙම චක්‍රලේඛය මගින් අවසර ලබාදෙන බව ද නව කොවිඩ් තත්ත්වය හමුවේ රාජ්‍ය ආයතන ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධ තවත් නිර්දේශ ගණනාවක් මෙම චක්‍රලේඛයට ඇතුළත් කරන බව ද රත්නසිරි මහතා වැඩි දුරටත් සදහන් කළේය.

මේ අතර බස්නාහිර සහ වයඹ පළාත්වල සියලු රජයේ පාසල්, පෙර පාසල් සහ පිරිවෙන් මෙම 30 වැනි දා දක්වා වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය ජි.එල්.පීරිස් මහතා පවසයි. කොරෝනා පැතිරයාමේ අවධානම හේතුවෙන් එලෙස මෙම සතියේ පාසල් වසා තැබෙන බව ද එම පළාත්වල පාසල් යළි ආරම්භ කිරීම පිළිබඳව සති අන්තයේ තීන්දුවක් ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කරයි.