කොවිඩ් ඇඳුම ගලවන්න කිව්වොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට

sri-lankan-air

රුසියානු සංචාරකයන් වෙනුවෙන් ගුවන් යානා කාර්ය මණ්ඩලය කොවිඩ් වයිරසයෙන් ආරක්ෂාවීමට භාවිත කරන ආරක්ෂත ඇදුම (PPE kits) ගලවන ලෙස සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය වන කිමාලි ප්‍රනාන්දු මහත්මිය කර ඇති ඉල්ලීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයන් සිය විරෝධය පළකර තිබේ.

අදාළ ඉල්ලීම කිමාලි ප්‍රනාන්දු මහත්මිය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වෙත ලිපියක් යොමු කරමින් කර තිබිණි.

කාර්ය මණ්ඩල සාමාජිකයන්ට කොරෝනා වයිරසය වැලඳීමේ අවදානමක් ඇති බැවින් එවැනි නීතියක් පැනවුවහොත් වෘත්තීය සමිති පියවර ගන්නා බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරින් ඉහල බලධාරීන්ට දන්වා ඇති බවද පැවසේ.

පසුගිය අගෝස්තු 07 වැනිදා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය ලිපියක් මගින් මෙම ඉල්ලීම සිදුකරන ලද අතර සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් ඊට ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද මේ අතර වාර්තා වේ.

මෙම ඉල්ලීමට අමතරව පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයන් සඳහා මෙරටට පැමිණීමට පැය 72 කට පෙර ලබාගතයුතු පීසීආර් පරීක්ෂණ වාර්තාවක අවශ්‍යතාව ඉවත් කිරීම, යුරෝපා සංගම් රෙගුලාසියට අනුකූලව අවුරුදු 12 ට අඩු ළමයින් සඳහා පීසීආර් පරීක්ෂණ ඉවත් කිරීම සහ පූර්ණ එන්නත්කරණයට ලක්වූ මගීන් සඳහා ගුවන් තොටුපළේදී රැපිඩ් පීසීආර් පරීක්‍ෂණයක් කිරීමට ඉඩ ලබාදීම යන පහසුකම්ද රුසියානු සංචාරකයන් වෙනුවෙන් ලබාදෙන ලෙස සභාපතිනිය සිය ලිපියෙන් ඉල්ලා තිබිණි.

(ශ්‍රී ලංකා මිරර්)