පිටරටවල හිරවුණු 397 ක් යානා 06කින් දිවයිනට

පිටරටවල හිරවුණු 397 ක් යානා 06කින් දිවයිනට

2021 නව වසරේ ඊයේ (01 දා) උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගුවන් යානා 06 කින්, රජයේ විශේෂ අවසරය මත ශ‍්‍රී ලාංකික ගුවන් මගීන් 397 දෙනකු පැමිණ තිබූ අතර මෙම කාලය තුළ ගුවන් යානා 10 කින් ශ‍්‍රී ලාංකික ගුවන් මගීන් 317 දෙනකු විදේශ රටවල් කරා පිටත්ව ගොස් තිබූ බව කටුනායක ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරිවරයා ප‍්‍රකාශ කළේය.

මෙසේ ඉන්දියාවේ චෙන්නායි සිට 283 දෙනකු ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 48 දෙනකු ද කටාර් රාජ්‍යයේ දෝහා සිට 27 දෙනකු ද ඉතාලියේ මිලාන් සිට 28 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. මෙසේ ගුවන්තොටුපළ වෙත පැමිණි පිරිස පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසුව නිරෝධායනය සඳහා යොමුකර තිබේ. එසේම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ශ‍්‍රී ලාංකිකයන් 251 දෙනකු රැකියා සඳහා මෙම කාලය තුළ කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි.