වසර 15ක් 'වැඩ නොකර පඩි අරන්'

වසර 15ක් 'වැඩ නොකර පඩි අරන්'

යම්කිසි පුද්ගලයකුට වසර 15ක් තිස්සේ නිකරුණේ වැටුප් ගෙවීමක් කළ හැකිද? වැටුපක් ලබන පුද්ගලයෙකුට ඒ සා දීර්ඝ කාලයක් තිස්සේ කිසිදු රාජකාරියක නිරත නොවී සිටිය හැකිද?

සේවයට වාර්තා කළත් 'ගන්න පඩියට වැඩක් නොකර නිකම්ම කාලය කා දමා ගෙදර යන' ඇතැම් නිලධාරීන් ගැන, ඇතැම් රටවල ජනතාවගෙන් නිතර දෙවේලේ චෝදනා මතු වීම අලුත් පුවතක් නොවේ.

නමුත් මෙම පුද්ගලයා වසර 15ක් තිස්සේ රාජකාරියට වාර්තා කිරීමක් හෝ සිදුකර නැතැයි පැවසේ. නමුත් වැටුප් ලබා ඇති බවට චෝදනා එල්ලවේ.

මෙම අපූරු පුවත වාර්තා වන්නේ ඉතාලියෙන් ය.

රෝහල් සේවකයෙකු ලෙස පත්වීම් ලබා සිටියදී රාජකාරියට වාර්තා කිරීමකින් තොරව පහළොස් වසරක් පුරා වැටුප් ලබා ඇතැයි මෙම පුද්ගලයාට එරෙහිව චෝදනා ඉදිරිපත් කර තිබේ.

ඉතාලියේ දකුණු කලාපයේ, කටන්සාරෝ නගරයේ පිහිටි Ciaccio රෝහලේ සේවය සඳහා පත්වීම් ලබා සිටි ඔහු 2005 වසරේ පටන් රාජකාරියට වාර්තා කර නොමැති බව පැවසේ.

ඉතාලියේ Ansa පුවත් සේවය වාර්තා කර ඇති අන්දමට, වංචා කිරීම, අසාධාරණ ලෙස මුදල් අය කිරීම සහ රාජකාරිය අවභාවිතයේ යෙදවීම යන චෝදනා මත මෙම පුද්ගලයා පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබේ.

කිසිදු රාජකාරියක් කර නොමැති බවට සැලකෙන මෙම පුද්ගලයා හට පහළොස් වසර පුරා වැටුප් ලෙස ගෙවා ඇති මුළු මුදල යූරෝ 538,000ක් (පවුම් 464,000) බව වාර්තා වේ.

Getty Images

මෙම පුද්ගලයා රාජ්‍ය සේවකයෙකු ලෙස කටයුතු කරමින් සිට ඇත්තේ Calabria නගරයේ රෝහලකය

දීර්ඝ විමර්ශනයේ ප්‍රතිඵලය

ඔහු සේවයට වාර්තා නොකිරීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම රෝහලේ කළමනාකරුවන් හය දෙනෙකු පිළිබඳව ද විමර්ශන පැවැත්වෙමින් තිබේ.

ඉතාලියේ රාජ්‍ය සේවය තුළ සිදුවී ඇතැයි සැලකෙන මෙම වංචාව පිළිබඳව පොලිසිය විසින් ක්‍රියාත්මක කරන ලද දීර්ඝ විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස කීපදෙනෙක් අත්අඩංගුවට පත්වී සිටිති.

මෙම පුද්ගලයා රජයේ සේවකයෙකු වශයෙන් කටයුතු කරමින් සිටිය දී 2005 වසරේදී ඉහත කී රෝහලේ රාජකාරියක් සඳහා පත් කර තිබේ. එතැන් පටන් ඔහු රාජකාරියට වාර්තා කිරීම පැහැරහැර ඇති බව පොලිසිය පවසයි.

තමන්ට එරෙහිව විනයානුකුල ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසට ඔහුගේ කළමනාකාරියකට තර්ජනය කර ඇති බවට ද පොලිසිය චෝදනා ඉදිරිපත් කර ඇත.

එම කළමනාකාරිය පසුව විශ්‍රාම ගොස් ඇති බව ද පොලිසිය පැවසීය. නමුත් මෙම පුද්ගලයා සේවයට වාර්තා නොකිරීම පිළිබඳව එවක් පටන් කිසිවෙකුගේ අවධානයට ලක්වී නොමැත.

(bbc/sanadeshaya)