නත්තලට යුරෝපයම ලොක්ඩවුන් වෙයි

නත්තලට යුරෝපයම ලොක්ඩවුන් වෙයි

කිතුනු බහුතරයක් සහිත රටවැසියන් ඇති යුරෝපා රටවල් කිහිපයක්ම මේ නත්තල් සමයට පෙර හා පසුව ක්‍රියාත්මක වන ලෙස කොවිඩ් -19 පූර්වාරක්ෂා පියවර ගෙන තිබේ.
ඒ අතරින් රටවල් කිහිපයක්ම ලොක්ඩවුන් කර ඇති අතර, ඇතැම් රටවල කොවිඩ් -19 සම්බන්ධ ආරක්ෂක ක්‍රමවේද තවදුරටත් තර කර ඇත.

ඉතාලියත් ලොක්ඩවුන්

කොවිඩ් -19 රෝගීන් වැඩිවීම වැළැක්වීම සඳහා ඉතාලිය නත්තල් සහ අලුත් අවුරුදු සමයේ වැඩි කාලයක් පුරාවට ලොක්ඩවුන් තත්වයේ පසුවනු ඇත.

ඉතාලිය පුරා "රතු කලාප" සීමාවන් දෙසැම්බර් 24 - 27 දක්වා මෙන්ම දෙසැම්බර් 31 - ජනවාරි 3 දක්වා හා ජනවාරි 5 - 6 දක්වා ක්‍රියාත්මක වේ.

මේ අනුව අත්‍යවශ්‍ය නොවන සාප්පු, ආපනශාලා සහ මත්පැන්හල් වසා තැබෙනු ඇති අතර, ඉතාලි වැසියන් හට නිවසෙන් බැහැරව යා හැක්කේ රැකියා, සෞඛ්‍ය සහ හදිසි හේතූන් මත පමණක්ය. කෙසේවෙතත්, සීමාවන් වලට යටත්ව අමුත්තන් ලෙස වෙනත් නිවෙස් වලට යාමට ඔවුන්ට අවසර හිමිවේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉතාලි අගමැතිවරයා පවසා සිටියේ මෙය 'පහසු තීරණයක්’ නොවූ බවයි. නත්තල් සමයේදී Covid-19 රෝගීන් ගණන සීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි අනතුරු අඟවමින් ඔවුන්ගේ විශේෂඥයන් කනස්සල්ල පළ කර තිබුණු බවත්, එබැවින් නිසි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවූ බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

මරණ 68,000 කට ආසන්න සංඛ්‍යාවක් සමග යුරෝපය තුළ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තාවූ රට ඉතාලියයි.

බ්‍රිතාන්‍යයේත් නීති තදවෙයි

මේ අතර, කොරෝනාවෛරසයේ නව ප්‍රභේදයක් පිළිබඳව තොරතුරු හෙළිදරව් වීමත් සමග බ්‍රිතාන්‍යය විසින්ද නත්තල් සමය තුළදී කොවිඩ් -19 නීතිරීති තවදුරටත් තර කර ඇත.

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියේ ලන්ඩන් නුවර සහ ගිනිකොනදිග එංගලන්තයට සිවුවැනි මට්ටමේ (Tier 4) සීමාවන් පැනවීමට තීරණය කර ඇති බවයි.

මේ අතර, සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ සිට මුළු වේල්ස් රාජ්‍යයම ලොක්ඩවුන් වන අතර, නත්තල් දිනයට හැර අනෙක් දින වල සියලු උත්සව සැමරුම් අවලංගු කර තිබේ.
උතුරු අයර්ලන්තයද නත්තලෙන් පසුව ලොක්ඩවුන් කිරීමට නියමිත ය.

මේ අතර, නත්තල් සමය වෙනුවෙන් දින 5ක් පුරාවට කොවිඩ් -19 නීතිරීති ලිහිල් කිරීමට පෙර තීරණය කළ ස්කොට්ලන්තය, මේ වන විට එය නත්තල් දිනයට පමණක් සීමා කර ඇත. නත්තල් දිනයේදී පමණක් ස්කොට්ලන්තය තුළ ගමන් කිරීමට අවසර ඇති මුත්, දේශසීමා පසුකිරීමට අවසර නැත.

මේ වනවිටත් ජර්මනිය හා නෙදර්ලන්තය 2021 ජනවාරි තෙක් ලොක්ඩවුන් කර තිබේ. නත්තල් දිනයේදී පමණක් අමුත්තන් වශයෙන් උපරිම ලෙස සමීප පවුලේ සාමාජිකයන් සිවුදෙනෙකු සමග එක්ව නත්තල සැමරීමට ජර්මන් වැසියන් හට අවසර හිමිවී තිබේ.

පසුගිය (18) දිනයේදී ඕස්ට්‍රියාවද පවසා තිබුණේ නත්තල් උත්සවයෙන් පසුව තෙවරනි වරටත් රට ලොක්ඩවුන් වන බවයි. දෙසැම්බර් 26 සිට අත්‍යවශ්‍ය නොවන කඩසාප්පු සියල්ල වසා, නිවසෙන් පිටත සිදුකරන සියලු සංචරණ සීමා කරන බව ඕස්ට්‍රියාව නිවේදනය කර තිබුණි.

තවද, කාර්යබහුල වේලාවේදී පොදු ප්‍රවාහන සේවය තුළදී ගමන්ගන්නා සියල්ලටම මුහුණු ආවරණ පළඳින ලෙස ස්වීඩනය නිර්දේශ කර ඇත. මේ අතර, අවන්හල් තුළදී එක් මේසයක වාඩිවිය හැකි පුද්ගලයන් ගණන අටක සිට හතරක් දක්වා අඩුකිරීමටද, රාත්‍රී 8න් පසුව මත්පැන් අලෙවිය තහනම් කිරීමටද ස්වීඩනය තීරණය කර ඇත.

යුරෝපා නායකයන් නිරෝධායනයේ

මේ වන විට කොරෝනාවෛරසය ආසාදනය වී සිටින ප්‍රංශ ජනපති එමැනුවල් මැක්‍රොන් සමග සමුළුවකට සහභාගී වූ යුරෝපා රටවල නායකයන් කිහිපදෙනෙකුම මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්ව සිටියි.

බෙල්ජියම, ස්පාඤ්ඤය, පෘතුගාලය හා ලක්සම්බර්ග් යන රටවල අගමැතිවරුන් පවසා ඇත්තේ ඔවුන් ස්වයං නිරෝධායනයේ පසුවන බවයි.

මේ අතර, මෙම සමුළුවට සහභාගී වූ ස්ලොවැකියානු අගමැතිවරයාද පෙරේදා දින නිවේදනය කර තිබුණේ තමා හට ද Covid-19 ආසාදනය වී ඇති බවයි.

(ශ්‍රී ලංකා මිරර්)