යුක්රේනය සම්පූර්ණයෙන්ම අගුළු වැටෙයි

යුක්රේනය සම්පූර්ණයෙන්ම අගුළු වැටෙයි

කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට වසා දැමීමට යුක්රේනය තීරණය කර ඇත.

ඒ අනුව නව ලොක්ඩවුන් සීමාවල මුල් අදියර යටතේ පාසල්, අවන්හල් සහ කායවර්ධන මධ්‍යස්ථාන වසා දැමීමට යුක්රේනය ඊයේ (8) පියවර ගත්තේ ය.

ඉකුත් සැප්තැම්බර් මාසයේ සිට යුක්රේනයෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වූ අතර මේ වනවිටත් එරටින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වැඩි යැයි සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කළහ.

යුක්රේනයෙන් ඊයේ (8) වනවිට ලක්ෂ දහය ඉක්මවා වයිරස ආසාදිතයන් වාර්තා වූ අතර එරටින් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 19,588ක් ලෙස දැක්විණි.

ජනවාරි මාසයේදී ලොක්ඩවුන් සීමා පනවන බව යුක්රේන ආණ්ඩුව ඉකුත් දෙසැම්බර් මාසයේදීම තීරණය කර තිබූ අතර එක් අවස්ථාවකදී යුක්රේනය වයිරසය පැතිර යන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබිණි. ඇතැම් දිනවලදී යුක්රේනයෙන් දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන 12,000ත් 14,000ත් අතර අගයක් ගත්තේ ය.

නව ලොක්ඩවුන් සීමා ලබන 24 වැනිදා දක්වා ක්‍රියාත්මක වන අතර විනෝද මධ්‍යස්ථාන හා උද්‍යාන ද වසා දැමේ. ඊට අමතරව විශාල පිරිසක් රැස්වෙන මහජන ඒකරාශී වීම් ද තහනම් කර ඇත.

ලොක්ඩවුන් සීමා ඉවත් කරන ලෙස හෝ ලිහිල් කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වුවද එසේ කළ නොහැකි යැයි ද සීමා කඩිනමින් අවශ්‍ය යැයි ද යුක්රේනයේ ජනාධිපති වොලෝදිමීර් සෙලෙන්ස්කි සහ සෞඛ්‍ය අමාත්‍ය මක්සිම් ස්ටෙපානොව් අවධාරණය කළේය. යුක්රේනයේ ජනගහනය ලක්ෂ 410කි.

‘‘නව සීමා හඳුන්වාදීමෙන් දෛනිකව විශාල ආසාදිතයන් පිරිසක් වාර්තා වීම අඩුවෙනවා. ඒ වගේම සාමාන්‍ය සෘතුමය උණ රෝගීන් අඩු වීමත් අඩු වෙනවා’’ යැයි යුක්රේන සෞඛ්‍ය අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

‘‘ඒ වගේම රෝහල්වලට දැරීමට සිදුවන බරත් අඩු වෙනවා’’ යැයි ද හෙතෙම කීවේය.

පසුගිය වසරේ දී යුක්රේන ආර්ථිකය සියයට 5කින් පහළ වැටෙනු ඇතැයි ද ඉකුත් මාර්තු මාසයේ පැනවූ දැඩි ලොක්ඩවුන් සීමා සහ නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් ආර්ථික අවපාතයක් ඇති වනු ඇතැයි ද පැවසේ.