ප්‍රංශයේ ඇඳිරි නීතිය තවත් දැඩි වෙයි -මෙන්න අලුත් නිවේදනය

ප්‍රංශයේ ඇඳිරි නීතිය  තවත් දැඩි වෙයි -මෙන්න අලුත් නිවේදනය

ප්‍රංශයේ මේ වන විටත් ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට සිට තවදුරටත් දැඩි කරන බව එරට අග්‍රාමාත්‍ය ජීන් කැස්ටෙක්ස් නිවේදනය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඒ අනුව සවස 6 සිට පසුදා උදෑසන 6 දක්වා රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇති බවයි.

පසුගිය දෙසම්බරයේ සිට රට පුරා රාත්‍රී 8 සිට උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක අතර ඒ  අනුව හෙට සිට එම කාල සීමාව දිගු වනු ඇති.

නව ඇඳිරි නීති කාලසීමාව අවම වශයෙන් දින 15 ක් පවතිනු ඇතැයි, අපේක්ෂා කෙරේ.

ඇඳිරි නීතිය දැඩි කිරීමේ නිවේදනය නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා  පවසන්නේ, රට තුළ කොරෝනා වෛරසය පැතිරීම ඉහළ තත්ත්වයක පවතින බවයි.

හදිසි සේවා හැර අනෙකුත් සියලු කඩ සාප්පු සහ ව්‍යාපාරික ස්ථානය පස්වරු 6 වනවිට වසා දැමිය යුතු අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලසීමව තුළ සියලු දෙනා නිවස්වල රැඳී සිටිය යුතු වේ.

මීට අමතරව රටට ඇතුළුවීම සම්බන්ධයෙන් වන සීමා කිරීම් කිහිපයක් පැනවීමට ද අග්‍රාමාත්‍යවරයා තිරණය කර තිබේ.

ඒ අනුව යුරෝපා සංගමයෙන් පිටත සිට පැමිණෙන සියලු දෙනා රටට ඇතුළුවීමට පැය 72 ක් ඇතුළත කොරෝනා පරීක්ෂාවක් කළ යුතු අතර රටට ඇතුළු වීමට අවසර ලැබෙන්නේ, පසුව දින 7ක් හුදකලා ව සිට නැවතත් පරීක්ෂාවක් සිදු කර ගැනීමෙන් අනතුරුවයි.

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ,ප්‍රංශය තුළ වෛරසය පැතිරීම වැළැක්වීමට සියලු පියවර ගන්නා බවයි.

ඇඳිරි නීතිය lockdown කිරීමේ තත්ත්වයෙන් වළක්වා ගැනීමේ මාර්ගයක් ලෙස සලකන බවත් තත්ත්වය තවදුරටත් නරක අතට හැරේ නම් පමාවකින් තෙරව තවදුරටත් සීමාවන් පැනවීමට පසුබට නොවන බවත් පවසා ඇත.

මේ අතර ප්‍රංශයේ මේ වනවිට පුද්ගලයින් 318,000කට කොරෝනා එන්නත ලබා දී ඇති අතර ජනවාරි මාසය අවසන් වන විට මිලියනයකට වැඩි පුද්ගලයින් සංඛ්‍යාවකට කොරෝනා එන්නත ලබාදී අවසන් කිරීමට අරමුණයි

ප්‍රංශයෙන් මේ දක්වා 69,000 කට අධික කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර ප්‍රංශය පසුවන්නේ වැඩිම කොරෝනා මරණ වාර්තා වූ රටවල් අතර 6වන ස්ථානයේ ය.