ඉදිරි කාලයේ ඕස්ට්‍රේලියාවට යනවා නම් මේ සුදුසුකම අනිවාර්යයි

ඉදිරි කාලයේ ඕස්ට්‍රේලියාවට යනවා නම් මේ සුදුසුකම අනිවාර්යයි

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා ගුවන්යානයට ඇතුළුවීමට පෙර සියලු සංචාරකයින් කොවිඩ්-19 ආසාදනය නොවූ අයෙකු බවට තහවුරු කළයුතු බව එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසයි.

එක්සත් රාජධානිය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් හඳුනාගත් කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදයන් හි ආසාදිතයින් කිහිපදෙනෙකු එරටින්  හඳුනාගැනීමත් සමඟ මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නිරෝධායන හෝටල් සේවකයින් දෙදෙනෙකුට එම නව වෛරස් ප්‍රභේද ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති අතර ඔවුන්ට වෛරසය ආසාදනය වූ ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති බව සදහන් වේ.

කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මේ වනවිට ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයකට සංචරණ සීමා පැනවීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.

එරටින් මේ වන විට කොවිඩ්-19 ආසාදිතයින් 28,571 දෙනෙකු හඳුනාගෙන ඇති අතර වාර්තා වී ඇති මරණ ගණන දැක්වෙන්නේ 909ක් ලෙසය.

මේ අතර, ඉන්දියාවෙන් වාර්තා වන බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් කොවිඩ්-19 වෛරස නව ප්‍රභේදයේ ආසාදිතයින් ගණන 82ක් දක්වා ඉහළගොස් තිබේ.

එම ආසාදිතයින් සියලුදෙනා මේ වනවිට රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නව ප්‍රභේදයේ ආසාදිතයින් හඳුනාගැනීම සඳහා ඉන්දියාව තුළ සිදුකරනු ලබන රසායනාගාර පරීක්ෂණ ගණන ද තවදුරටත් ඉහළදමා තිබේ.

නව වෛරස් ප්‍රභේදය මේ වනවිට ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ඔස්ට්‍රේලියාව, ඉතාලිය, ස්වීඩනය, ප්‍රංශය, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, ජර්මනිය, කැනඩාව, ජපානය, ලෙබනනය සහ සිංගප්පූරුව යන රටවලින් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.