වැලි කතරේ සිරවුනු ඩුබායි කුමරියගේ කඳුළු කතාව

වැලි කතරේ සිරවුනු ඩුබායි කුමරියගේ කඳුළු කතාව
තම පියා තමාව ප්‍රාණ ඇපයට ගෙන සිටින බව පවසමින් ඩුබායි පාලකයාගේ දියණියක වන ලතීෆා කුමරිය විසින් ආන්දෝලනාත්මක වීඩියෝ පටයක් සමාජ මාධ්‍යගත කර තිබෙන අතර එම වීඩියෝපටයත් සමඟ වර්තමානය වන විට බොහෝ මාධ්‍ය ඒ සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමුකර තිබේ.
 
ලතීෆා කුමරිය ඩුබායි හි පාලකයා වන ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්තූම්ගේ දියණිය වන අතර ඇය මේවනවිට 35 හැවිරිදි වියේ පසුවෙයි.
 
ඇය මින් පෙර එනම් 2018 වර්ෂයේදී රටින් පලා යාමට උත්සාහ දරා තිබෙන අතර රිය පැදවීමට ඉඩ නොදීම, වෙනත් රටක සංචාරය කිරීමට අවසර හිමි නොවීම ඇතුළු දැඩි පියවර රැසක් ඔස්සේ තම නිදහස සීමා කර ඇති බව පවසමින් ඇය මේ තීරණයට එළැඹ තිබේ.
 
කෙසේ වෙතත් බෝට්ටුවකින් පළා යමින් සිටියදී  කමාන්ඩෝ භටයන්ගේ ග්‍රහණයට නතුවෙන ඇය නැවත සිය පවුලේ අයට භාරකරන ලදී.
දෙවසරකට අධික කාලයකට පසු ඇය යළි කරළියට එන්නේ බීබීසී පුවත් සේවයේ "පැනොරාමා" ගවේෂණාත්මක වැඩසටහනට මෑතකදී නිකුත් කළ ආන්දෝලනාත්මක වීඩියෝ පටයක් නිසාය.
 
නාන කාමරයක් තුළ රහසිගතව පටිගත කළ එම වීඩියෝ පටයෙන් ලතීෆා පවසන්නේ පියා, තමාව ප්‍රාණ ඇපයට ගෙන සිටින බවය.
 
ජනේල පවා විවෘත කිරීමට නොහැකි, සිර කඳවුරක් වැනි නිවසක තමා රඳවා ඇති බවත් තමාට ජීවිතය ගැන බියක් දැනෙන බවත් ඇය සඳහන් කරයි.
 
මේ වන විට ලොව පුරා ආන්දෝලනයක් මතු කර ඇති සිද්ධිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිස් කාර්යාලය අවධානය යොමු කර තිබේ.
 
ඔවුන් පවසන්නේ මේ පිළිබඳ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ප්‍රශ්න කරන බවය.