ඕස්ට්‍රේලියානු රජයෙන් ෆේස්බුක් පරිශීලකයින්ට නව වාරණයක්

ඕස්ට්‍රේලියානු රජයෙන් ෆේස්බුක් පරිශීලකයින්ට නව වාරණයක්
ඔස්ට්‍රේලියානු වැසියන්ට, සිය සමාජ මාධ්‍ය ඔස්සේ දේශීය හා විදේශීය පුවත් අඩවි සඳහා පිවිසීම අවහිර කිරීමට ෆේස්බුක් ආයතනය පියවර ගෙන තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
ඕස්ට්‍රේලියානු රජය ගෙනා නව තීරණයකට අනුව මෙම පියවර ගෙන තිබෙන අතර මෙම වාරණයත් සමග ෆේස්බුක් ඔස්සේ දේශීය හා විදේශීය සියලු පුවත් අඩවි සඳහා පිවිසීමට එරට පරිශීලකයින්ට අවස්ථාව අහිමි වී යන බවයි සඳහන් වෙන්නේ.
 
තවද, එරටදී ෆේස්බුක් ජාලය හරහා කිසිදු පුවතක් හුවමාරු කරගැනීමට හෝ කියවීම ද අවහිර වී යන අතර පුවත් වෙබ් අඩවිවලට අමතරව සෞඛ්‍ය, හදිසි සේවා හා තවත් වෙබ් අඩවි කිහිපයක් වෙතද ෆේස්බුක් ඔස්සේ පිවිසීමට අවස්ථාව අහිමි වී ඇත.
 
ඔස්ට්‍රේලියානු රජය ගෙනා නව නීතියකට ප්‍රතිචාර ලෙස තමන් මේ පියවර ගත් බව ෆේස්බුක් මාධ්‍ය  වැඩිදුරටත් නිවේදනය කර තිබෙන අතර ඔස්ට්‍රේලියානු පුවත් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන අවස්ථාවන් සඳහා නව බදු හඳුන්වාදීමටත් එම නීතිය මඟින් කටයුතු කරනු ඇත.
 
කෙසේ වෙතත් ෆේස්බුක් ආයතනය පෙන්වාදෙන්නේ එම නව නීතිය මගින් අන්තර්ජාල ක්‍රමවේදයේ හැසිරීමට බාධා එල්ලවන බවයි.
 
නව වාරණය සමගින් ෆේස්බුක් ආයතනයේ විශ්වසනීයත්වය පිළිබඳ ගැටලු මතුවන බව ඔස්ට්‍රේලියානු රජය පිළිතුරු ලෙස පෙන්වා දෙයි.