කුවේටයට මාසයක් ඇඳිරි නීතිය -මේ නීති කඩකළොත් දඩත් එක්ක සිර දඬුවම්

කුවේටයට මාසයක් ඇඳිරි නීතිය -මේ නීති කඩකළොත් දඩත් එක්ක සිර දඬුවම්
කුවේටය තුළ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සීඝ්‍රලෙස ඉහළ යාම නිසා එය පාලනය කිරීමේ අරමුණින් අවම වශයෙන් මාසයක කාලයක් ඇඳිරි නීතිය පැනවීමට එරට රාජ්‍ය බලධාරීන් තීරණය කර තිබේ.
 
මෙම තීරණයට අනුව මාර්තු මස 07 වෙනි දින එනම් හෙට දිනයේ සිට අප්‍රේල් මස 08 වෙනි දින දක්වා මාසයක කාලයක් පස්වරු 05.00 සිට පෙරවරු 05.00 දක්වා ඇඳිරි නීතිය බලපැවැත්වෙනු ඇති.
 
අදවනවිට කුවේටයෙන් වාර්තාවෙන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 198,110ක් දක්වා ඉහල ගොස් තිබෙන අතර සමස්ත මරණ ප්‍රමාණය 1,113කි. සුවය ලැබූ පිරිස 184,239 කි.
 
පසුගිය පෙබරවාරි 07 වෙනි දා සිට ගල්ෆ් රටවල් අත්‍යවශ්‍ය නොවන සිල්ලර වෙළඳසැල් විවෘත කිරීමේ කාලය අඩු කර ඇති අතර පුරවැසියන් නොවන අයට රට තුළට ඇතුළුවීම තහනම් කිරීමට කටයුතු කරන ලදී. කෙසේ නමුත් පසුගිය සතිය තුළ කුවේටයේ කොරෝනා ආසාදිතයින් ගණන අනපෙක්ෂිත ලෙස ඉහළ යාම නිසා එරට රජය විසින් මෙලෙස ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කර ඇත.
 
නිවෙස්වලින් පිටතට යාමේදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබෙන අතර යමෙක් මෙම නීතිරීති කඩකළොත් ඩොලර් 16,000ක දඩයක් සහ මාස තුනක් දක්වා සිර දඬුවමක්ද නියම වන බව සඳහන්.
 

කුවේට් රාජයේ ප්‍රකාශකයෙකු විසින් පෙන්වා දී ඇත්තේ ඇඳිරි නීතිය ක්‍රියාත්මා වන කාලයේ යාච්ඥා කිරීම සඳහා පල්ලිවලට යාමට අවස්ථාව සැලසෙන නමුත් ෆාමසි සහ ආහාර සාප්පු වල බෙදා හැරීමේ සේවා භාවිතා කළ යුතු බවයි. තවද කුලී රථ සේවා භාවිතා කරනවා නම් ඒවායේද මඟීන් දෙදෙනෙකුට වඩා යාමට නොහැකි බවත් සඳහන්.

තවද කුවේටය තුළ සියලුම පොදු උද්‍යාන සහ විනෝදාත්මක ප්‍රදේශ වසා දැමීමටද කටයුතු කර ඇති බවත් වාර්තා වේ.