දිල්ලිය ආක්‍රමණය කර ඇත්තේ බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදය බවට අනාවරණයක්

දිල්ලිය ආක්‍රමණය කර ඇත්තේ බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදය බවට අනාවරණයක්
ඉන්දියාවේ දිල්ලවල සීග්‍රයෙන් පැතිර යන්නේ බ්‍රිතාන්‍යයේ කොරෝනා ප්‍රභේදයක් බවට එරට සෞඛ්‍ය අංශ අනාවරන කරනවා. ඔවුන් පවසන්නේ දිල්ලියෙන් හදුනා ගැනෙන කොරෝනා රෝගීන්ගෙන් බහුතරයකට ආසාදනය වී ඇත්තේ බ්‍රිතාන්‍යය ප්‍රභේදය බවට හදුනා ගෙන ඇති බවයි. ඉකුත් මාර්තු මාසයේදී දිල්ලියෙන් හදුනා ගෙන ඇති බ්‍රිතාන්‍ය කොරෝනා ප්‍රභේදය ආසාදිත කොරෝනා ආසාදිතයින්ගේ ප්‍රතිශතය සියයට 28 ක්. 
 

කෙසේවෙතත් ඉකුත් සතිය වනවිට දිල්ලියෙන් හදුනා ගැණෙනු බ්‍රිතාන්‍යය කොරෝනා ප්‍රභේදය ආසාදිත කොරෝනා රෝගීන්ගේ ප්‍රතිශතය සියයට 50 ක් දක්වා ඉහල ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ අනාවරණ කරන්නේ. 

මීට අමතරව ඉන්දීය කොරෝනා ප්‍රභේදය, බ්‍රසීල ප්‍රභේදය හා දකුණු අප්‍රිකානු කොරෝනා ප්‍රභේදය ද දිල්ලි ප්‍රාන්තය තුල පැතිර යන කොරෝනා ප්‍රභේද අතරට අයත්. ආසාදිතයින්ගේ ඉහලයාම හමුවේ දිල්ලියේ රෝහල් පද්ධතිය බිද වැටීමට ආසන්න බවට ද සෞඛ්‍ය අංශ අනතුරු අගවා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. පවතින තත්ත්වය හමුවේ රෝහල් රැසක ඔක්සිජන් සහ ඇදන් හිගයක් දැඩිව පවතින බව ද එම වාර්තාවල සදහන්. 

මේ අතර ඉන්දියාවෙන් අඛන්ඩව තුන්වන දිනටත් ලක්ෂ තුන ඉක්මවා ඊයේ දෛනික කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වුණා. ඒ අනුව ඊයේ එරටින් තවත් කොරෝනා ආසාදිතයින් 346,000 ක් වාර්තා වුනේ කොරෝනා මරණ 2,624 ක්ද සමගයි.

මේ අතර පවතින තත්ත්වය හමුවේ ඉන්දියාවට සහය ලබා දීම සම්බන්ධයෙන් ඉල්ලීම් රැසක් ඉදිරිපත් වී ඇතැයි අමෙරිකාව පවසනවා. කොරෝනා දෙවන රැල්ල හමුවේ පීඩාවට පත්ව සිටින ඉන්දියාවට සිය කනගාටුව ප්‍රකාශ කරන බවයි අමෙරිකාව පැවසුවේ. එමෙන්ම පවතින තත්ත්වය හමුවේ ඉන්දියාවට සහය ලබා දිය හැක්කේ කෙසේද යන්න සම්බන්ධයෙන් මේවනවිටත් සාකච්ඡා කෙරෙමින් ඇතැයි ද අමෙරිකාව පැවසුවා.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා තොගයක් ඉන්දියාවට ලබා දීම සම්බන්ධයෙන් අමෙරිකාව සලකා බලමින් සිටින බවයි විදෙස් වාර්තා පැවසුවේ.

කෙසේවෙතත් එලෙස එන්නත් තොගයක් ඉන්දියාවට පරිත්‍යාග කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අමෙරිකාව මෙතෙක් තහවුරු කර නැහැ.