ලාංකිකයින්ට අනතුරු ඇඟවීමක් - ඉන්දියාව විසාලා මහනුවරක්

ලාංකිකයින්ට අනතුරු ඇඟවීමක් - ඉන්දියාව විසාලා මහනුවරක්

කොරෝනා වෛරස වසංගතය: ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ අත්දැකීම්

දින කීපයක් තුළ ඉන්දියාවෙන් කෝවිඩ් -19 රෝගීන් මිලියනයකට වඩා වාර්තා වී තිබේ. වාර්තා වන මරණ සංඛ්‍යාව ද දිනෙන් ඉහළ යමින් තිබේ.

ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකිකයෙකු ද කොරෝනා වෛරසය හේතුවෙන් මරණයට පත්ව ඇති අතර තවත් කීපදෙනෙකු බරපතල රෝගී තත්ත්වයේ පසුවන බව තානාපති ආරංචි මාර්ග තහවුරු කළේය.

Image shows a relative of a Covid victim holding kindling for use in funeral pyres

රෝගීන්ට ලබා දිය යුතු ඔක්සිජන්, දැඩි සත්කාර ඒකකයේ ඇඳන් මෙන්ම ජීවිතාරක්ෂක ඖෂධ හිඟයක් ද වාර්තා වේ.

ඉන්දියාවේ දිල්ලි සහ මුම්බායි නගරවල දිවිගෙවන ශ්‍රී ලාංකිකයන් කීපදෙනෙකු බීබීසී සිංහල සේවයට ඔවුන්ගේ අත්දැකීම් පැවසූහ.

"මම ජීවත් වෙන්නේ දිල්ලි නුවර මහල් නිවාසයක. මම මේ දවස් ටිකේ දැකපු දේවල් නිසා ජීවිතේම කලකිරිලා ඉන්නේ. මේ දේවල් බොහොම වේගයෙන් සිද්ධ වුණා කියලා මට පෙනුණේ. හින්දු උත්සව ඉවර වෙනවත් එක්කම කෝවිඩ් රෝගීන් විශාල ගණනක් වාර්තා වෙන්න ගත්තා. රෝහල්වලට ඒ ආපු රෝගීන් ගණන දරා ගන්න බැරි වුණා," දිල්ලි නුවර රැකියාවේ නිරතව සිටින මහේෂා පැවසීය.

සිය අත්දැකීම් හෙළි කළ කිසිදු ශ්‍රී ලාංකිකයෙකු තමන්ගේ සම්පූර්ණ නම හෙළි කිරීමට අකමැති වූයේ ඔවුන්ගේ රැකියා ස්ථානවලින් සහ පෞද්ගලිකව ඇතිවිය හැකි යම් 'බලපෑම්' නිසා බව` පැවසූහ.

"අසනීප වුණ මිනිස්සු පාරවල්වල නිදි. අපි දැක්කා රෝහලක් එළියේ මිනිස්සු සෑහෙන ගණනක් බිම නිදාගෙන ඉන්නවා. මේ වෙලාවේ ඇඳක් හොයාගන්නවා කියන්නේ කළුනික හොයනවා වගේ. අපිට ලංකාවට යන්න තිබුණ නම් හොඳයි, නමුත් රස්සාව දාලා යන්නත් බැහැ. අපේ ගෙදර වටේම ඉන්න අයටත් කොරෝනාවෛරසය හැදිලා.

වයස 50ක අපේ අසල්වැසියෙක්ට හොඳටම අමාරු වෙලා රෝහලට අරගෙන ගියා. අද වෙනකම් එයා ආයේ ආවේ නැහැ. අපේ අත්දැකීම් එක්ක ලංකාවේ අපේ මිනිස්සුන්ගෙන් ඉල්ලන්නේ එක දෙයයි, අනේ ප්‍රවේසම් වෙන්න. නීති පිළිපදින්න. මොකද මේ දේවල් දැකලා ජීවත් වෙලා ඉන්න එකත් හරිම අමාරුයි.

දැන් තත්ත්වය දකිද්දී එක දෙයයි මට මතක් වෙන්නේ, ඒ අපිට බුද්ධාගමට උගන්නපු විශාලා මහනුවරයි," මහේෂා තවදුරටත් පැවසුවාය.

ඉන්දියාවේ රෝගීන් සහ මරණයට පත් වූවන් ගණන වාර්තා වන ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි අගයක් ගනු ලබන බව විශ්වාස කෙරේ.

පසුගිය සතිය තුළ මරණයට පත් වූ 1,150 දෙනෙකු පමණ දිල්ලි නිල සංඛ්‍යා ලේඛනවලට ඇතුළත් වී නොමැති බව එරට NDTV රූපවාහිනී සේවය කළ ගවේෂණයකින් අනාවරණය වී තිබේ. රට පුරා සංඛ්‍යා ලේඛනවල අඩුවක් දක්නට ඇති බවට ඒ හා සමාන තවත් ගවේෂණ මගින් පෙනෙන්නට තිබේ.

ආදාහනාගාර සේවකයන් රාත්‍රිය පුරා සිරුරු පිළිස්සීමේ කටයුතුවල යෙදෙන අතර දර සැකසීමට සහ සෙසු කටයුතු සඳහා මිය ගිය පුද්ගලයන්ගේ ඥාතීන්ගේ ද සහාය ලබා ගැනීමට සිදුව ඇති බව වාර්තා වේ.

දිල්ලි නුවර රිය ගාල්, උද්‍යාන හෝ හිස් බිම් තීරු ආදාහන කටයුතු සඳහා සොයමින් පවතී.

මුම්බායි නුවර රැකියාවේ යෙදෙන ඩිලාන් පැවසුවේ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන තරමට ඉන්දියාව තුළ තත්ත්වය දරුණු නොවන බවය.

"ඉන්දියාව වගේ විශාල ජනගහණයක් ඉන්න රටකින් කුඩා කොටසකට තමයි වෛරසය වැළඳිලා තියෙන්නේ. ඉන්දියාවේ රජය තත්ත්වය හොඳට පාලනය කරගෙන යනවා. මාධ්‍යවලින් පෙන්නනවා වගේ වගේ තත්ත්වය දරුණු නැහැ. ලෝකයේ අනෙක් රටවල වගේම මෙහෙත් වෛරසය එක කාලයක පැතිරිලා ගිහින් තියෙන්නේ. නමුත් ටික කාලයකින් හැම දේම පාලනය වෙයි.

"වසංගතයක් නිසා මිනිස්සු මැරෙන, ලෙඩ වෙන එක ගැන නම් කණගාටුයි. හැබැයි යම් දුක අවස්ථා විතරක් මාධ්‍යවලින් පෙන්වන එක වැරදියි. සම්පූර්ණ ඉන්දියාව ගත්තොත් ඔය පෙන්නනවා වගේ දුක්ඛිත තත්ත්වයක් නැහැ. වෛරසයේ භයානක කම වගේම, ඒක පාලනය කරන විදිහත් මාධ්‍යවලින් පෙන්වනවා නම් හොඳයි," ඩිලාන් තවදුරටත් පැවසීය.

Coronavirus India

රෝහල්වල ඔක්සිජන් නොමැති නිසා රෝගීන් බාර නොගන්නා බව සඳහන් දැන්වීමක්

මේ අතර, කොරෝනා වෛරසය පාලනය කිරීම සම්බන්ධයෙන් සිය ආණ්ඩුව කටයුතු කළ ආකාරය පිළිබඳ විවේචනාත්මක අදහස් ඉවත් කරන ලෙස ඉන්දීය ආණ්ඩුව ට්විටර් සමාජ ජාලය වෙත නියෝග කර තිබේ.

ආණ්ඩුවේ එම පියවර සම්බන්ධයෙන් ඉන්දියාව පුරා කෝපය පළ වෙමින් තිබේ.

"මම රැකියාව කරන්න විතරක් දිල්ලිවල නැවතිලා ඉන්නවා. මෙහෙ තත්ත්වය ඇත්තටම භයානකයි. අහිංසක මිනිස්සු සෑහෙන දුක් විඳිනවා අවශ්‍ය ප්‍රතිකාර නැතුව. කොරෝනාවලින් මැරුණ අය පුච්චන තැනක් මම දැක්කා. හිතට මහා කණගාටුවක් දැනෙනවා, ඒ වගේම ලංකාවට මේ වගේ තත්ත්වයක් උදා නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා," රන්දික බීබීසී සිංහල සේවයට පැවසීය.

Coronavirus India

"රැකියා ස්ථානවල ප්‍රශ්න එන නිසා අපිට මේ සිද්ධ වෙන, දකින දේවල් සමාජ මාධ්‍ය ජාලවල පවා දාන්න බැහැ.ටික දවසක් ඇතුළත මම දැකපු දේවල් එක්ක මානසික පීඩනයක ඉන්නේ. හිතට බයයි, නමුත් පුළුවන් තරම් පරිස්සම් වෙලා ඉන්න උත්සහ කරනවා. ජීවිතය කියන්නේ කොයි තරම් අවිනිශ්චිත දෙයක් ද කියලා දැන් තේරෙනවා," ඔහු තවදුරටත් පැවසීය.

දිල්ලියේ සහ තවත් බොහෝ නගරවල රෝහල් ඇඳන් හිඟ වී ඇති හෙයින්, රෝගීන්ට නිවසේදී ප්‍රතිකාර ලබා ගැනීමට ක්‍රම සොයා ගැනීමට සිදු වී තිබේ. මේ හේතුවෙන් අත්‍යවශ්‍ය ඖෂධ, ඔක්සිජන් සිලින්ඩර සහ සාන්ද්‍රකවල මිල අහස උසට නැඟී ඇති අතර ඒවා සොයා ගැනීම සඳහා බොහෝ දෙනෙකු කළු කඩ වෙත යොමු වී තිබේ.

ඇඳන් හිඟයට පිලියමක් ලෙස දුම්රිය මැදිරි කොරෝනාවෛරස රෝගීන් හුදකලා කළ හැකි වාට්ටු බවට පරිවර්තනය කිරීමට ඉන්දීය බලධාරීන් යොමු වී තිබේ.

රෝහල්වලට ඇති පීඩනය ලිහිල් කිරීම සඳහා ක්‍රීඩා ශාලා, ක්‍රීඩාංගණ සහ ආරාම ද කොරෝනාවෛරස ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පරිවර්තනය කර ඇත.

මෙම ස්ථානවල සමහර ඇඳන් නිමවා ඇත්තේ කාඩ්බෝඩ්වලිනි.

දිල්ලියේ ආදාහනාගාරයක සේවය කරන ජයන්ත් මල්හෝත්‍රා බීබීසී සේවයට පැවසුවේ මෙවැනි භයානක තත්ත්වයක් තමා කිසි දිනක දැක නොමැති බවය.

"මට විශ්වාස කරන්න බැහැ අපි ඉන්නේ ඉන්දියාවේ අගනුවර කියන එක. මිනිසුන්ට ඔක්සිජන් ලැබෙන්නේ නැහැ ඔවුන් සත්තු වගේ මැරෙනවා."             

(bbc/sandeshaya)