ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සැනසෙන්න විශේෂ නිවේදනයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සැනසෙන්න විශේෂ නිවේදනයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලෝකවාසී ජනතාවටම සැනසුම් සුසුමක් හෙළිමට හැකිවන ආකාරයේ පුවතක් වාර්තා කරමින් සඳහන් කරන්නේ ගෙවුණු සතිය තුළද ගෝලීය වශයෙන් කොවිඩ් – 19හි නව ආසාදිතයන් හා මරණ සංඛ්‍යාව අඛණ්ඩව අඩුවීමක් සිදුව ඇති බවය.

ඒ අනුව ගෙවුණු සතියේදී නව ආසාදිතයන් මිලියන 4.1ක් සහ නව මරණ 84,000ක් වාර්තා වී ඇත්තේ, ඊට පෙර සතියට සාපේක්ෂව පිළිවෙලින් 14%ක සහ 2%ක අඩුවීමක් පෙන්වමිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා කලාපය තුළ පසුගිය දින 7ක කාලයේදී ආසාදිතයන් හා මරණ සංඛ්‍යාව විශාල ලෙස අඩුවී ඇති අතර ඉන් අනතුරුව වැඩිම ආසාදිතයන් අඩුවීම ගිනිකොනදිග ආසියානු කලාපය ආශ්‍රිතව වාර්තා වෙයි.

කෙසේ වෙතත් ඇමෙරිකා එක්සත් ජනපදය, නැගෙනහිර මධ්‍යධරණි, අප්‍රිකාව සහ බටහිර පැසිෆික් කලාපය විසින් වාර්තා කරන ලද සිද්ධීන් සංඛ්‍යාව පසුගිය සතියේ වාර්තා වූ සිද්ධීන් හා සමාන වී තිබේ.

“පසුගිය සති හතර තුළ ගෝලීය ප්‍රවණතාව පහත වැටෙමින් තිබියදීත්, කොවිඩ් – 19 රෝගීන් හා මරණ සංඛ්‍යාව තවමත් ඉහළ මට්ටමක පවතිනවා. මේ නිසා සමස්තයක් ලෙස ගෝලීයව ආසාදන අඩුවීමේ යම් ප්‍රවණතාවක් තිබුණත්, ලොව පුරා බොහෝ රටවල සැලකිය යුතු වැඩි වීමක් තවමත් දක්නට ලැබෙනවා.” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

පසුගිය දින 07 තුළ වැඩිම නව ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙනි. එය දහඅටලක්ෂ හතලිස් හයදහස් පනස් පහකි (1,846,055). එය පෙර සතියට වඩා 23%කින් පහළට යාමකි. බ්‍රසීලය හාලක්ෂ පනස් එක්දහස් හාසිය විසි හතරකි (451,424කි. එය 3%කින් පහළ යාමකි. ආර්ජන්ටිනාව දෙලක්ෂ දහතුන්දහස් හතලිස් හයකි (213,046). එය 41%කින් පහළට යිමකි. එක්සත් ජනපදය එක්ලක්ෂ අසූඅටදහස් හාරසිය දහයකි (188,410) එය 20%කින් පහළ යාමකි. කොලොම්බියාව එක්ලක්ෂ එත්දහස් පන්සිය අනූවකි (107,590). එය 7%කින් පහත වැටීමකි.

(lankatruth)