ඩෙල්ටා නිසා සිඩ්නි වැසෙයි

ඩෙල්ටා නිසා සිඩ්නි වැසෙයි

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පැතිරයාම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ විශාලතම නගරය වන සිඩ්නි නගරය තව සතියක් වසා තැබීමට බලධාරීන් තීරණය කර තිබේ.

ඒ අනුව ජූලි 16 වනදා දක්වා එම නියෝගය ක්‍රියාත්මක වේ.

ඒ සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පැවසුවේ වේගයෙන් පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පාලනය සඳහා තමන් මෙම "අපහසු" තීරණය ගන්නා බවය.

එහි වැසියන්ට "නිවසේ රැඳී සිටිය යුතු" බවට නියෝගයක් ජූනි 26 වනදා ප්‍රාන්ත බලධාරීන් විසින් නිකුත් කළේය.

කොවිඩ් වසංගතය ඇරඹීමෙන් අනතුරුව මේ දක්වා එරටින් කොවිඩ් ආසාදිත මරණ 910ක් වාර්තාවී ඇති අතර හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 31,000ක් පමණ වේ.

සිඩ්නි නගරයේ විවිධ ස්ථානවලින් කොවිඩ් පොකුරු මතු වී ඇත්තේ සමහර පුද්ගලයින් තමන් ආසාදිතයින් බව නොදැන අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ මිලදී ගැනීමට නිවෙස්වලින් පිටතට ගොස් තිබූ බැවිනි.

මේ දක්වා එම නගරයෙන් නව ආසාදිතයින් 330ක් පමණ වාර්තා වී ඇති අතර මේ වසරේ වාර්තා වූ දරුණුතම තත්ත්වය එය වේ.