වසර එකහමාරකට පසු අමෙරිකාව සංචාරකයින්ට විවෘත වෙයි

වසර එකහමාරකට පසු අමෙරිකාව සංචාරකයින්ට විවෘත වෙයි
මාස 20 ක් පුරා ක්‍රියාත්මක වූ ප්‍රවේශ තහනම අවසන් කරමින් අමෙරිකාව විදෙස් සංචාරකයින් සඳහා අද සිය රට විවෘත කළා.
 

ඒ අනුව කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින්ට අමෙරිකාවට ඇතුළුවීමට අවසර හිමිවනවා.

ඒ අනුව අමෙරිකාවට ඇතුළුවන විදේශිකයින් විසින් එරටට ඇතුළුවීමට පෙර කොරෝනා මර්දන එන්නත්කරණයට ලක්ව ඇති බවට වාර්තා ඉදිරිපත් කළ යුතුයි.

ඊට අමතරව ගුවන් ගමනට පැය 72 කට පෙර කොවිඩ් 19 පරීක්ෂණයකට ඉදිරිපත් වී එහි වාර්තාව ද ඉදිරිපත් කළ යුතු වනවා. එලෙස රටට ඇතුළුවන පුද්ගලයින් නිරෝධායනයෙන් නිදහස් කර ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.
 
චීනය තුළ කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භ වීම හමුවේ අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් 2020 වසරේදී සංචාරකයින්ට රට තුළට ඇතුළුවීම වළක්වාලමින් සංචාරක තහනමක් පනවනු ලැබුවා.

එහි ප්‍රථිපලයක් ලෙස බි්‍රතාන්‍ය, යුරෝපා සංගමයට අයත් රටවල්, චීනය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් 30 ක පමණ අමෙරිකාවේ පුරවැසියන් නොවන පුද්ගලයින්ට අමෙරිකාවට ඇතුළුවීමට බාධා එල්ල වුණා. අමෙරිකාවේ සංචාරක කර්මාන්තයට ද බලපෑම් එල්ල වුණේ එහි ප්‍රථිපලයක් ලෙසයි. කෙසේවෙතත් රට විවෘත කිරීම හමුවේ සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි අමෙරිකානු බලධාරීන් පැවසුවේ.

සංචාරකයින්ට රට විවෘත කිරීමත් සමගම කැනඩාව සහ මෙක්සිකෝව සමග පවතින දේශ සීමා විවෘත කිරීමට ද අමෙරිකාව පියවර ගෙන තිබෙනවා.