කොවිඩ් පාලනයට එරෙහිව රටවල් රැසක විරෝධතා

කොවිඩ් පාලනයට එරෙහිව රටවල් රැසක විරෝධතා
කොවිඩ් පාලන සීමාවලට එරෙහිව කැනඩාව  ඇතුළු රටවල් රැසක තවදුරටත් විරෝධතා ක්‍රියාත්මක බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
කොවිඩ් මර්දන එන්නත් අනිවාර්ය කිරීමට කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ප්‍රමුඛ රජය තීරණය කිරීමත් සමග, අග්‍රාමාත්‍යවරයාට එරෙහිව දැවැන්ත ජනතා විරෝධයක් ආරම්භ වී  තිබේ.
 
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් විස්තර ඉදිරිපත් කරමින් විදෙස් පුවත් සේවා සඳහන් කරන්නේ විරෝධතාකරුවන්ගේ තර්ජන එල්ල වෙද්දී, අග්‍රාමාත්‍ය ටෲඩෝ, බිරිඳ සහ දරුවන් අග්‍රාමාත්‍ය නිල නිවසේ සිට, රහසිගත ආරක්ෂිත ස්ථානයකට රැගෙන යෑමට අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශ කටයුතු කර ඇති බවයි.
 
අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ප්‍රමුඛ රජයේ තීරණයත් සමඟ පසුගිය සතිඅන්තය වනවිට දස දහස් ගණනක් විරෝධතාකරුවන් අගනගරය වන ඔටාවා වෙත එක් රොක් වී මාර්ග හරස් කරමින්, ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් විරෝධතාවල නියැලෙන්නට වූ බවත්, ඔවුන් දේපළ හානි සිදු කිරීමට ද පටන් ගත් බවත් සඳහන්.
 
මීට අමතරව කොවිඩ් පාලන සීමාවලට එරෙහිව චෙක් ජනරජයේ අගනගරය වන ප්‍රාග් හි විරෝධතාවක් පවත්වා තිබෙන අතරඔමික්‍රොන් සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ රට තුළ ආසාදිතයන් ඉහළ යාම සැළකිල්ලට ගෙන රජය නව සීමා පනවා  තිබුණි.
 
රධාන වෘත්තිකයන් සහ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් එන්නත් ලබා තිබීම අනිවාර්යය කරමින් පනවා තිබූ නියෝගයක් ඉවත් කිරීමට චෙක් රජය පසුගිය සතියේදී පියවරගත්තේය.
 
කෙසේ වෙතත් ආපනශාලා සහ සමාජ ශාලා වැනි ස්ථාන වෙත ඇතුළු වීමේදී එන්නත් ලබා ඇති බවට සාක්ෂි හෝ ආසාදිතයෙකු නොවන බවට ලබාගත් පරීක්ෂණයක ප්‍රතිඵල ඉදිරිපත් කිරීම අනිවාර්යයි.
 

එන්නත් ලබා තිබීම අනිවාර්යය කිරීම ඇතුළු කොවිඩ් පාලන සීමාවලට එරෙහිව බෙල්ජියමේ අගනගරය වන බ්‍රසල්ස් හි විරෝධතා පාගමනක් සංවිධානය කර තිබේ. 1,600ක පමණ පිරිසක් ඊට එක්ව සිටි බවත් විදෙ පුවත් සේවා සඳහන් කර ඇත.