ඇපල් සමාගමේ සේවකයින් පළමු වෘත්තීය සමිතිය පිහිටුවයි

ඇපල් සමාගමේ සේවකයින් පළමු වෘත්තීය සමිතිය පිහිටුවයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ මේරිලෑන්ඩ්හි ටොවිසොන් නුවර පිහිටි ඇපල් ස්ටෝර් අලෙවිසැලක් තුළ වෘත්තීය සමිතියක් පිහිටුවීමට එහි සේවකයන් බහුතරයකගේ කැමැත්ත හිමිව ඇතැයි විදෙස් පුවත් අනාවරණය කරයි.
 
ඒ අනුව එරට තුළ ඇපල් සාප්පුවක් තුළ පිහිටුවෙන පළමුවැනි වෘත්තීය සමිතියද මෙය වන බව සඳහන්ය.
 
මෙහිදී එම සාප්පුවේ සේවය කරන සේවකයන් 110 දෙනෙකු අතර ඡන්දයක් පැවැත්වී ඇති අතර, එහිදී 65දෙනෙකු ඊට පක්ෂවද, 33දෙනෙකු ඊට විපක්ෂවද ඡන්දය ලබා දී තිබේ. AppleCORE (Coalition of Organized Retail Employees) නමින් හඳුන්වා ගන්නා ලද සේවකයන් කණ්ඩායමක් එක්ව වෘත්තීය සමිතියක් පිහිටුවා ගැනීම පිළිබද යෝජනාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ඡන්ද විමසීම පැවත්වී තිබේ.
 
මෙම වෘත්තීය සමිතිය පිහිටුවා ගැනීමෙන් අනතුරුව එම සේවකයන් සිය වැටුප්, වැඩ පැය ගණන සහ රැකියා සුරක්ෂිතතාව පිළිබදව ඇපල් සමාගම වෙත සිය ඉල්ලීම් ඉදිරිපත් කිරිමේ අවස්ථාව උදාවෙයි.
 
මෙය එක්සත් ජනපදය තුළ ඇපල් ස්ටෝර් අලෙවිහලක් තුළ වෘත්තීය සමිතියක් පිහිටුවා ගැනීමට ගත් ප්‍රථම උත්සාහයද, නොවෙන අතර පෙර අවස්ථා සියල්ලන්ගේදීම එම කටයුතු අසාර්ථක වී තිබේ.
 
කෙසේ වෙතත් අලුතින් වෘත්තීය සමිතියක් පිහිටුවීම සඳහා සේවකයන් අතරම ඡන්ද විමසීමක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙයයි.
 
මෙම වෘත්තීය සමිතිය පිහිටුවීම සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය ඇපල් සමාගමෙන් කරුණු විමසීමක් සිදු කර ඇති අතර ඊට ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කිරීමට එම සමාගම පියවර ගෙන ඇත.