ජල ගැලීම් නිසා බංගලාදේශයේ ජන ජීවිතයට තර්ජන

ජල ගැලීම් නිසා බංගලාදේශයේ ජන ජීවිතයට තර්ජන
බංග්ලාදේශයට නොකඩවා ඇද හැලෙන මෝසම් වැසි හේතුවෙන් එරට පළාත් රැසක් ජලයෙන් යටවී ඇති අතර මිලියන හතරක ජනතාව අවතැන් වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
ජල ගැලීම් හා නාය යෑම් හේතුවෙන් මේවනවිට 59 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙන අතර අවතැන් වුණු මිලියන ගණනක් ජනතාව පාසල් සහ ප්‍රජාශාලාවල පිහිටවූ සහන කඳවුරු වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.
 
මහ වැසි සහ ජල ගැලීම්වලින් සිහෙත් පළාතට වැඩි බලපෑමක් එල්ලවී තිබෙන අතර එරට තෙවැනි විශාලතම ගුවන්තොටුපළ වන සිහෙත් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වර්ෂාපතනය සහ ජල ගැලීම් හේතුවෙන් වසා දැමීමටද බලධාරීන් කටයුතු කර ඇත.
 

මේ අයුරින් එරට ජල ගැලීම් හටගෙන ඇත්තේ දශක දෙකකට පසුව වන අතර මහ වැසි සහ ජල ගැලීම් හේතුවෙන් මාර්ග අවහිර වී පළාත් රැසකට විදුලිය බලය අහිමි වී ඇති බව වාර්තා වේ.