සියරාලියෝන් හි රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ

සියරාලියෝන් හි රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ
ඉහළ යන ජීවන වියදමට සහ දූෂණයට එරෙහිව ඉකුත් බදාදා දිනයේ සිට සියරාලියෝන් රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ ආරම්භවූ අතර එරට උප ජනාධිපතිවරයා, තත්වය පාලනය කිරීම සඳහා එරටට ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් උද්ඝෝෂණ ප්‍රචණ්ඩකාරී ගැටුමක් බවට පත්වූ නව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
මෙම රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලින් පසු පුද්ගලයින් 130 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇතැයි, එරට පොලිසිය නිවේදනය කරයි.
 
ජාතිය අමතමින් උප ජනාධිපතිවරයා පැවසුවේ, කිසියම් පුද්ගලයින් ප්‍රචණ්ඩත්වයෙන් යුත් අනවසර විරෝධතාවක් දියත් කර ඇති අතර, එමගින් ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු අහිංසක සියරා ලියෝන් වැසියන්ගේ ජීවිත අහිමි වී ඇති බවයි. මෙම ප්‍රචණ්ඩකාරී වාතාවරණය හේතුවෙන්, සාමාන්‍ය වැසියන් කොපමණ සංඛ්‍යාවක් මිය ගියාද යන්න, තවමත් පැහැදිලි වී නැහැ. රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ, පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් ඇති බවයි.
 

මේ අතර, එරටේ පොලිසිය පවසන්‍‍නේ, එහි පොලිස් නිලධාරීන් 4 දෙනෙකු මියගොස් ඇති බවයි. විදෙස් සංචාරයක නිරත වී සිටි සියරා ලියෝන් ජනාධිපති ජූලියස් මාඩා බයෝ එරටට ආපසු පැමිණ තිබෙනවා. මෙම ප්‍රචණ්ඩකාරී තත්වය සහ විරෝධතා පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වන බවට ඔහු පවසා සිටියා. එරටින් ලැබී ඇති නවතම වාර්තාවලට අනුව, බොහෝ ප්‍රදේශ මේ වන විට සන්සුන්ව සහ යම් පාලනයකට පැමිණ ඇති බවයි, වාර්තා වන්නේ.