චීනයේ කොවිඩ්: විරෝධතාකරුවෝ තනතුරෙන් ඉල්ලා අස්වන්නැ යි ෂී ජින්පින්ට බලකරති

චීනයේ කොවිඩ්: විරෝධතාකරුවෝ තනතුරෙන් ඉල්ලා අස්වන්නැ යි ෂී ජින්පින්ට බලකරති

රජයට විරෝධය පෑමේ ක්‍රියාවන් චීනයට අමුත්තක් නොවේ.

ගෙවීගිය කාලය තුළ දී, විෂ සහිත පරිසර දූෂණයේ සිට නීති විරෝධී ලෙස ඉඩම් අත්පත්කර ගැනීම දක්වා හෝ, පොලීසිය විසින් ප්‍රජාවේ සාමාජිකයෙකුට යුතු ලෙස සැලකීම නිසාවෙන් වැනි විවිධ ගැටලු හමුවේ හදිසි, ප්‍රාදේශීය විරෝධතා ඇවිලීම සිදුව තිබේ.

නමුත් මෙවර එය වෙනස් ය.

චීන ජනයාගේ මනසේ ඉදිරියෙන්ම ඇති එක් විෂයයක් වන අතර, ඔවුන් බොහෝදෙනා ඒ පිළිබඳව දැක්වූ ඉවසීම වේගයෙන් වියැකී යයි - මෙනිසා, එරට රජයේ කොවිඩ්-ශුන්‍ය සීමාවන්ට එරෙහිව ජනයා විරෝධය පාමින් සිටිති.

මෙය, සමාජ දුරස්ථභාවය බලාත්මක කිරීම සඳහා පිහිටුවා තිබූ බාධක බිඳදැමීමේ ස්වරූපයෙන් ඇරඹී ඇති අතර, දැන් රට පුරා නගරවල වීථිවලත්, විශ්වවිද්‍යාලවල මණ්ඩපවලත් විශාල විරෝධතාවන් පැනනැගී තිබේ.

 

| BBC කණ්ඩායමක් ෂැංහයි නගරයේ විරෝධතාවයක් පැවති ස්ථානයේ පොලිසිය සහ පෙළපාලිකරුවන් අතර ඇතිවූ ගැටුම් රූගත කළෝ ය

එක් අතකින්, ෂැංහයිහි ජනයා චීනයේ නායක ෂී ජින්පින්ට ඉල්ලා අස්වන්නැ යි බලකරනු ඇසීම කෙතරම් පුදුමයක් දනවන්නේදැ යි විස්තර කිරීම අපහසු ය.

කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම්වරයා ප්‍රසිද්ධියේ විවේචනය කිරීම අති භයානක ය. එසේ සිදුකිරීම මඟින් ඔබ සිරගතවීමේ අවදානමට මුහුණදෙයි.

තත්ත්වය එසේ වුව ද, ජනයා ෂිංජියැන්ග් නගරයේ නම රැගත් ෂැංහයිහි වීථියකට රැස්ව සිටියෝ ය. ෂිංජියැන්ග් නගරයේ ඇතිවූ ගින්නකින් 10 දෙනෙකු මරණයට පත්ව තිබූ අතර, ගලවාගැනීමේ ප්‍රයත්නයන් නිරර්ථකවීමට රජයේ ශුන්‍ය-කොවිඩ් සීමා කිරීම් හේතුවීයැ යි ජනයා දොස්පවරයි.

එක් විරෝධතාකරුවෙක් මෙසේ හඬ නගයි: "ෂී ජින්පින්!"

ඊට සියගණනක් දෙනා පිළිතුරු දෙයි: "තනතුරෙන් ඉවත්වෙන්න!"

ඔවුන් නැවත නැවතත් සටන් පාඨ කියවයි: "ෂී ජින්පින්! තනතුරෙන් ඉවත්වෙන්න! ෂී ජින්පින්! තනතුරෙන් ඉවත්වෙන්න!"

මෙවැනි සටන් පාඨයන් ද කියනු ලැබිණි: "කොමියුනිස්ට් පක්ෂය! ඉවත්ව යන්න! කොමියුනිස්ට් පක්ෂය! ඉවත්ව යන්න!"

බලයේ රැඳීසිටීම ප්‍රධානතම ප්‍රමුඛතාව වූ දේශපාලන පක්ෂයකට එල්ලවිය හැකි විශාලතම අභියෝගය යි මේ.

ශුන්‍ය-කොවිඩ් ප්‍රවේශයට එරෙහිව වර්ධනය වන ජනතා අතෘප්තිය රජය විසින් දැඩිසේ අවතක්සේරු කරන ලදබව පෙනෙන්නට තිබේ - මෙම ප්‍රතිපත්තිය ෂී ජින්පින් හා සෘජුව සම්බන්ධව ඇති අතර, එයින් කිසිසේත් බැහැරව නොයන්නේයැ යි මෑතක දී ඔහු ප්‍රතිඥා දී තිබුණි.

එපමණක් ද නොවේ, පක්ෂය විසින් තමාවම තල්ලුකරගෙන ඇති කොණෙන් ගැලවීමේ පහසු මඟක් ඇතැ යි ද පෙනෙන්නට නැත.

රට විවෘත කිරීම සඳහා සූදානම්වීමට තෙවසරක් තිබුණත්, වැඩි වැඩියෙන් රෝහල් දැඩි සත්කාර ඒකක ගොඩනැගීම හෝ එන්නත්කරණයේ අවශ්‍යතාව අවධාරණය කරනවා වෙනුවට පක්ෂය සිදුකළේ, මහා පරිමාණ කොවිඩ් පරීක්ෂා කිරීම්වලට, ලොක්ඩවුන්වලට, හා කිසිදා බැහැරව නොයන වෛරසයකට එරෙහිව යුද්ධයක් දිනාගැනීම වෙනුවෙන් නිර්මාණය කළ හුදෙකලා කිරීමේ මධ්‍යස්ථානයන්ට මහා සම්පත් ප්‍රමාණයක් වැය කිරීම යි.

ස්ටීවන් මැක්ඩොනෙල් / චීන වාර්තාකරු, බෙයිජිං (bbc/sandeshaya)