කටාර් හී රාජකීය සහ ධනවත් පවුල් සඳහා සේවය කරන ගෘහ සේවිකාවකගේ දිවිය

2022 පාපන්දු ලෝක කුසලානය දෝහාහි දී පැවැත්වෙන බැවින්, කටාරයේ මානව හිමිකම් පිළිබඳ ඉතිහාසය දැඩි විවේචනයට ලක්ව තිබේ. කටාර් රාජ්‍යය, තරගාවලිය සඳහා ක්‍රීඩාංගන සහ හෝටල් තැනූ සංක්‍රමණික සේවකයින්ට සැලකූ ආකාරය සම්බන්ධයෙන් බොහෝ ලිපි ලියැවී ඇතිමුත්, එරට ඉහළ පැලැන්තිය වෙනුවෙන් සේවය කරනා විදේශික ගෘහ සේවිකාවන් ගැන ලියන්නේ කවුරුන්ද? බීබීසීහි ස්ත්‍රී-පුරුෂභාවය සහ අනන්‍යතාව පිළිබඳ වාර්තාකාරිනී මේඝා මෝහන්, කිසිදු විවේකයක් නොමැතිව දිගු සේවා දිවියක් ගෙවීමට සිදුව ඇති ගෘහ සේවිකාවන් දෙදෙනෙකු හා කතාබහ කළාය.

ග්ලැඩිස් (ඇගේ සත්‍ය නාමය නොවේ) සම්බන්ධකර ගැනීමට මා සමත්වූයේ, කටාර් ප්‍රභූ පැලැන්තියට අයත් ඇගේ හාම්පුතුන් රාත්‍රියේ දී නින්දට යෑමෙන් පසුව ය.

තමා දිනපතා පෙරවරු අටේ සිට රාත්‍රී 11 දක්වා සේවයේ යෙදෙනබව කෙටි ඔන්ලයින් කතාබහක් හරහා ඇය මට පවසා සිටියා ය. ඇය පිරිසිදු කිරීමේ කටයුතු, ඉවුම්පිහුම්, හා දරුවන් බලාගැනීම සිදුකරයි.

ඇය අනුභව කරන්නේ පවුලේ ආහාර වේල්වලින් පසු ඉතිරිවන දෑ වන අතර, මාස 18කට පෙර රැකියාව ඇරඹි දා පටන් නිවාඩුවක් ලබා නැතැ යි පැවසුවා ය.

"මැඩම්ට පිස්සු," වයසින් 40 දශකයේ සිටින ෆිලිපීන කතක වන ග්ලැඩිස් සිය හාම්පුතුන් විස්තර කරයි. "එයා මට හැමදාම කෑගහනවා."

කටාර් රාජ්‍යය 2022 ලෝක කුසලානය පැවැත්වීමේ අවස්ථාව ජයග්‍රහණය කිරීමට පෙර, විදේශීය ශ්‍රමිකයින්ට තම සේවායෝජකයාගේ අවසරයකින් තොරව රැකියාව වෙනස් කිරීමට හෝ රට හැරයාමට ඉඩක් නොතිබුණි. දැනටත්, බොහෝ ගල්ෆ් රටවල තත්ත්වය එය යි.

ලෝක විවේචන හේතුවෙන්, කටාරය මේ සඳහා ප්‍රතිසංස්කරණයන් හඳුන්වාදීම ඇරඹි නමුදු ඒවා සැමවිටම ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවේ.

උදාහරණයක් ලෙස, ග්ලැඩිස්ගේ ගමන් බලපත්‍රය ඇත්තේ ඇගේ හාම්පුතුන් අතේ ය. ඔවුන්ගේ සේවයෙන් ඉවත්ව යෑම සඳහා එය නැවත ඉල්ලා සිටිය ද, එය තම වෙත ලබාදෙනු ඇතැ යි සහතිකවීමට ඇයට නොහැකි ය.

එනමුත් තමා වාසනාවන්තබව ග්ලැඩිස් සිතන්නී ය. ඇතැම් ගෘහ සේවිකාවන්ට මෙන් නොව, තමාට සිය දුරකථනය ළඟ තබාගැනීමට අවසර ඇතැ යි ඇය පවසයි. එසේම, ඇය ශාරීරික හිංසනයට ද පාත්‍ර නොවේ. කටාර්හි ගෘහ සේවිකාවන් නිතර ශාරීරික හිංසාවන්ට ලක්කෙරෙන වග ඇය පවසයි.

ඇගේ වර්තමාන රැකියාවේ දිගටම රැඳී සිටීමට තවත් හේතු ඈ සතු ය - ඇගේ වයස නිසාවෙන්, මීට වඩා යහපත් රැකියාවක් තමාට නොලැබෙනු ඇතිබව ඇය සිතයි. ඇය මසකට රියාල් 1 500ක් (රු. 151 000කට වඩා මඳක් වැඩි මුදලක්) උපයන අතර, පවුලේ නඩත්තුව සඳහා ඒ සියල්ල නිවසට යැවීමට ඇයට හැකි ය.

ගෘහ සේවක සේවිකාවන්ගේ අයිතීන්

  • කටාර්හි සැලසුම් සහ සංඛ්‍යාලේඛන අධිකාරියේ 2021 වර්ෂයේ දත්තවලට අනුව කටාර්හි ගෘහ සේවක සේවිකාවන් 160 000ක් පමණ සිටිනබවට ඇස්තමේන්තුගතය.
  • 2017 දී කටාරය ගෘහ සේවක නීතිය හඳුන්වාදුන් අතර, මෙමඟින් වැඩ කරන පැය ගණන දිනකට පැය 10 දක්වා න්‍යායාත්මකව සීමාකරයි. දෛනික විවේකයන්, සතිපතා නිවාඩු දිනයක් සහ වැටුප් සහිත නිවාඩු ලබාදීම මීට අනුව අත්‍යවශ්‍යය.
  • 2020 දී එමඟින් අවම වැටුපක් ද හඳුන්වාදුන් අතර, කම්කරුවන්ට සිය රැකියාව වෙනස් කිරීමට හෝ අවසරයකින් තොරව රට හැරයාමට ලිඛිත අයිතියක් ලබාදුන්නේය.
  • කෙසේ වෙතත්, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසන්නේ මෙම නීති සෑමවිටම පිළිපැදෙන්නේ නැති අතර, ගෘහ සේවකයින්ගෙන් අධික ලෙස වැඩ ගැනීම, විවේකයක් ලබා නොදීම සහ අපවාදාත්මක හා පහත් ලෙස සැලකීම දිගටම ක්‍රියාත්මක වනබවයි.

බොහෝ සංක්‍රමණික සේවකයින්, සිය පවුල් සඳහා මුදල් ඉපයීම ප්‍රමුඛතාව වනබැවින් අයහපත් සේවා තත්ත්වයන් ගැන නිහඬව සිටින වග, ෆිලිපීනයේ සංක්‍රමණික කම්කරුවන්ට සහාය දක්වන බිම් මට්ටමේ සංවිධානයක් වන මයිග්‍රන්ට් ඉන්ටර්නැෂනල්හි ජොඈනා කොන්සෙප්සියෝන් ප්‍රකාශ කරයි.

නමුත් ඇය පවසන පරිදි, නිදහසේ කතා කිරීමට විශ්වාසයක් ඇතිවිට ගල්ෆ් රාජ්‍යයන්හි සේවකයෝ තමන්ට සිදුවන බරපතල අපචාරයන් ගැන සඳහන් කරති. තම සේවායෝජකයා තම හිස වැසිකිළි කොමෝඩය තුළට ඔබනබවත්, ඔහු කෝපයට පත්වූ විට ඇයට ආහාර සහ ජලය ලබා නොදෙනබවත් එක් කාන්තාවක් පවසා තිබුණි.

maid collage illustration

ඇල්තියා (ඇගේ සැබෑ නම නොවේ) කටාර්හි සේවිකාවක් ලෙස ගෙවන සිය ජීවිතය ගැන බෙහෙවින් වෙනස් චිත්‍රයක් පින්තාරු කරයි. රාජකීය අල් තානි පවුලට සේවය කරන ඇය රාජකීය නිවස්නයේ බිම් මහලේ සිට බීබීසීයට වීඩියෝ ඇමතුමක් ලබාදුන්නා ය.

ඈ සිනහවෙන් සහ අංග චලනයෙන් යුතුව අප වෙත විස්තරකර සිටියේ, ඇගේ සේවායෝජයින් ඇයට අයිෆෝනයක්, ඇඳුම් පැළඳුම්, ආභරණ හා ෆිලිපීනයේ දී ඇයට කිසිසේත් මිලට ගත නොහැකි තරම් වටිනා පාවහන් ලබාදුන්බව යි.

ග්ලැඩිස්ගේ සිද්ධියේ දී මෙන්ම ඇල්තියා ද මෙතැනට ගෙනැවිත් ඇත්තේ ජීවත්වීමට ප්‍රමාණවත් වැටුපක් සොයාගැනීමට ඇති දුෂ්කරතාව යි.

අපි ඇය හා කතාබහ කරන විටත්, ඇල්තියාගේ නවාතැනේ විශාල කාමරයක් බෙදාගන්නා අනෙකුත් ෆිලිපීන ගෘහ සේවිකාවන්, 'හායි' කියා ඇමතුමට එක්විය.

ඔවුනට ඔවුන්ගේම නිදන කාමර සහ පුද්ගලික මුළුතැන්ගෙයක් ලබාදී තිබේ. මෙය වැදගත් කාරණාවකි. ටික්ටොක් සහ ෆේස්බුක් පැමිණ ආහාර යදින, තමා ගලවාගන්නැයි ඉල්ලා සිටින ඇල්තියා දකින ගෘහ සේවිකාවන් එතරම් භාග්‍යවත් නැත.

"මම නිතර ඒ වගේ වීඩියෝ ඉන්ටර්නෙට් එකේ දකිනවා, ඒ නිසා තමයි මට හිතෙන්නේ මම හරි වාසනාවන්ත යි කියලා," ඇය පවසන්නී ය. "මට නම් හැම දවසක්ම සුරංගනා කතාවක් වගේ."

ඒ කෙසේ වෙතත්, උස් සිවිලිම් හා පොකුරු පහන් ද, රනින් වැඩ දමන ලද පෞරාණික ගෘහ භාණ්ඩයන්, විසිතුරු මුතුවණින් අලංකෘත මේසයන් හා නැවුම් පුෂ්පයන්ගෙන් ද සරසන ලද, ඇල්තියා විස්තර කරන පරිදි "සින්ඩරෙල්ලා මාළිගාවන්හි" සේවය කිරීම ද දුෂ්කර ය.

සාමාන්‍ය වැඩ දිනයක් ඇරඹෙන්නේ, සේවක සේවිකාවන් විසින් පෙරවරු 06:30ට රාජකීය පවුල සඳහා උදෑසන ආහාරය පිළියෙළ කිරීමෙනි. ඇල්තියා ආහාර ගන්නේ සේවායෝජක පවුල ආහාර ගැනීමෙන් පසුව ය. උදෑසන ආහාරයේ ඉතුරු බිතුරු ඉවත් කිරීමෙන් පසු කාමර පිරිසිදු කිරීම අරඹන ඔවුහු, අනතුරුව දිවා ආහාරය පිළියෙළ කිරීමේ කටයුතුවල යෙදෙති.

"අපි හුඟදෙනෙක් වැඩට ඉන්න නිසා මේ වැඩ අපට සැහැල්ලු යි," ඇල්තියා පවසන්නී ය.

පස්වරු 3ත් 6ත් අතරතුරේ සිය නවාතැනට ගොස් විවේක ගන්නා ගෘහ සේවිකාවන්, ඉන්පසු රාත්‍රී ආහාරය සඳහා සූදානම් වෙයි. රාත්‍රී ආහාරයෙන් පසු ඇල්තියාගේ දෛනික සේවාවන් අවසන් වන අතර, ඇයට අවැසි නම් මාළිගා සංකීර්ණයෙන් බැහැර යෑමේ අවසරය තිබේ.

රාජකීය පවුල ඇල්තියාගේ ගමන් බලපත්‍රය තම සන්තකයට ගෙන නැත. නමුත් සතියේ දින සතම - සති අන්තය පවා - වැඩෙහි යෙදීමට ඇල්තියාට සිදුව තිබේ. කටාර් නීතියෙන් 'සහතිකකර ඇති' සතියේ නිවාඩුව ඇයට නොලැබේ. සිය පවුලට අත්‍යවශ්‍ය මූල්‍යාධාර සැපයීම සඳහා ඇය ගෙවන මිල එය යි.

ෆීලිපින සේවකයින්ට ප්‍රභූ පැලැන්තිය යටතේ රැකියා ලබාදෙන බඳවාගන්නියක වන මැනිලා හි මේරි ග්‍රේස් මොරාලෙස් පවසන්නේ, මාළිගාවක සේවයේ යෙදීම බොහෝදෙනාගේ 'ඊර්ෂ්‍යාවට' ලක්වන රැකියාවක්බවකි.

"[එසේ සේවය කිරීමේ] බොහෝ වාසි තියෙනවා. [සේවායෝජක] පවුල පරිත්‍යාගශීලීයි," ඇය කියා සිටියි. බොහෝ සේවිකාවන් නිවෙස්වල දී මුහුණපානා දුෂ්කරතා සම්බන්ධයෙන් අදහස් දක්වද්දී ඇය මෙසේ ද පැවසුවා ය: "මාළිගාවේ ඉඳිද්දී කෙල්ලො ඔක්කොම මහත්වෙනවා. ඒ පවුල එයාලට හොඳට කන්න බොන්න දෙනවා."

Portrait of recruiter Mary Grace Morales, in a collage with desert scenes| මේරි ග්‍රේස් මොරාලෙස්: කටාර් රාජකීය ගෘහ සේවිකාවන් ඉතා ජවසම්පන්න සහ රූමත්විය යුතු ය

නමුත් රාජකීය පවුල් බලාපොරොත්තු වන විශේෂ අවශ්‍යතා කීපයක් ඇතැ යි ඇය අනාවරණය කරයි.

"කටාර් රාජකීය පවුලට වැඩ කරන්න යවන ඔක්කොම ගෑණු ළමයි වයස අවු. 24 - 35 අතරෙ, හුඟක් ලස්සන අය," මොරාලෙස් පැවසුවා ය.

ලන්ඩනයේ බීබීසී මූලස්ථානයේ සිට ඇය අමතන මා දෙස හොඳින් බැලීම සඳහා ඇය මොහොතක් තිරය දෙස බලා සිටියා ය.

"ඔයාටත් වඩා ලස්සන අය," ඇය මට පැවසුවේ සිනාසෙමිනි.

පසුව ඇය සමාව ඉල්ලීම සඳහා මා වෙත වට්සැප් පණිවුඩයක් එව්වා ය. ඇය පැවසූ දෙය ඇගේ දරුවන්ට ඇසී තිබුණු අතර, ඇය අකාරුණික යමක් පැවසීයැ යි ඔවුන් ඇයට කියා තිබුණි. මා එයින් අමනාප නොවූබවට මම ඈට සහතික වීමි - නමුත්, පෙනුම මත පදනම්ව පුද්ගලයින් සේවයට බඳවාගැනීම බොහෝ රටවල නීතිවිරෝධීබව මම ඈට නොකීවෙමි.

"ඒගොල්ලෝ තරුණ අයම වෙන්න ඕනේ, මොකද මාළිගාවේ කාර්යයබහුල වටපිටාවෙ හරිහරියට වැඩ කරන්න පුළුවන් ජවසම්පන්න, නිරෝගී සේවකයෝ තමයි කටාර් රජ පවුලට අවශ්‍ය."

"ඒ වගේම ඉල්ලුම්කාරියෝ ලස්සන වෙන්න ඕන - ගොඩක් ලස්සන වෙන්න ඕන," ඇය නැවත වරක් සඳහන් කරයි.

රාජකීය පවුලේ ගෘහ සේවිකාවක් ලෙස සේවය කිරීම සමබන්ධයෙන් ඇල්තියා පවසන කරුණු සත්‍යයැ යි තමා අපේක්ෂා කරන වග මයිග්‍රන්ට් ඉන්ටර්නැෂනල්හි ජොඈනා කොන්සෙප්සියෝන් පැවසුවත්, ඊට මෙසේ ද එකතු කළා ය: "එයා කටාර්වල ඉඳගෙන, එච්චර බලවත් පවුලකට සේවය කරන අතරෙ කියන දේවල් හරියටම හරි ද කියලා දැනගන්න විදියක් අපට නැහැ."

රාජකීය පවුලට සේවයකර, පසුව රට හැරගිය කාර්යය මණ්ඩල සාමාජිකයින් ඇතැමෙක් පැමිණිලි ඉදිරිපත්කර තිබේ. 2019 දී, බ්‍රිතාන්‍ය හා ඇමෙරිකානු සේවකයෝ තිදෙනෙක් - පුද්ගලික ආරක්ෂකයෙක්, පුද්ගලික පුහුණුකරුවෙක් හා පුද්ගලික ගුරුවරයෙක් - එමීර්වරයාගේ සොයුරිය වූ ෂෙයිකා අල් මයාසා බින් හමඩ් බින් කලීෆා අල් තානි හා ඇගේ ස්වාමි පුරුෂයාට විරුද්ධව නඩුවක් ගොනු කළෝ ය. ඒ, තමාට අතිරේක පැය සඳහා ගෙවීමකින් තොරව දිගු කාලයක් එකදිගට වැඩ ගත්තේයැ යි පවසමිනි. රජ පවුල මෙම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර, සිතාසි නිකුත්කෙරුනේ එක්සත් ජනපදයේ නිව් යෝක්හි දී බැවින් රාජතාන්ත්‍රික මුක්තිය ඉල්ලා සිටියෝ ය.

"ප්‍රචණ්ඩත්වය සහ හිංසනය, වෘත්තීය ආරක්‍ෂිතභාවය සහ සෞඛ්‍යයේ මඳකම, සහ වාසයට සුදුසු නවාතැන් පහසුකම් හිඟකම සම්බන්ධ සිදුවීම් වාර්තා කිරීම සහ ආමන්ත්‍රණය කිරීම අභියෝගාත්මක වෙන්න පුළුවන්," ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) අරාබි රාජ්‍යයන් සඳහා ප්‍රාදේශීය අධ්‍යක්ෂිකා, ආචාර්ය රුබා ජැරඩට් පවසයි.

ILO පවසන්නේ, අවම වැටුපක්, සතියකට වරක් නිවාඩු දිනයක්, ලෙඩ නිවාඩු සහ අතිරේක කාලය සඳහා ගෙවීම් සහතික කරන නීති සකස්කිරීම සඳහා තමා කටාර් රජය සමග කටයුතු කරනමුත් එය "අභියෝගයක්ව" පවතිනබව යි.

දිගු පැය ගණනක් රාජකාරී කිරීමට සිදුවුව ද තමා සතුටින් පසුවන්නේයැ යි, ඇගේ රාජකීය මාළිගාවේ වෙසෙන ඇල්තියා පවසන්නී ය.

ඇය නින්දට යෑමට පෙර ෆිලිපීනයේ වෙසෙන ඇගේ සහෝදර සහෝදරියන්ගෙන් අයෙකුට හෝ දෙමාපියන්ට පණිවුඩයක් යවයි. නිවසින් දුරස්ව සිටීමේ කාංසාව ඇයට බොහෝවිට දැනෙයි - සුරංගනා කතාවේ මාළිගාව ඇගේම නිවෙස නොවේ.

නමුත් එය ඉතා තීරණාත්මක ආදායම් මාර්ගයක්ව පවතියි.

"මේ ජොබ් එක නැතුව මට කවදාවත් ගෙදරට හම්බකරන්න බැහැ," ඇය පවසන්නී ය.

බීබීසීය කටාර් රජ පවුල සහ ලන්ඩනයේ කටාර් තානාපති කාර්යාලයයෙන් අදහස් විමසූමුත් පිළිතුරක් නොලැබුණි.

පින්තූර නිර්මාණයන් මාර්තා ක්ලෝව් රෙචේගෙනි.

(bbc/sandeshaya)