ගෝලීය මාධ්‍ය නිදහස 'පෙර නොවූ විරූ' ප්‍රහාරයකට ලක්ව ඇති බවට වාර්තාවක් අනතුරු අඟවයි

ගෝලීය මාධ්‍ය නිදහස 'පෙර නොවූ විරූ' ප්‍රහාරයකට ලක්ව ඇති බවට වාර්තාවක් අනතුරු අඟවයි

ලොව පුරා සිටින මාධ්‍යවේදීන් රජයන්ගෙන් පෙර නොවූ විරූ ප්‍රහාරවලට ලක්වෙමින් සිටින බව මාධ්‍ය නිරීක්ෂණ සංවිධානයක් වන දේශසීමා විරහිත වාර්තාකරුවන් (RSF) අනතුරු අඟවා තිබේ.

දේශසීමා රහිත වාර්තාකරුවන්ගේ සංවිධානය විසින් නිකුත් කර ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වන්නේ වාර්තාකරුවන් කෙරෙහි බලධාරීන් වඩාත් ආක්‍රමණශීලී වෙමින් සිටින බවයි.

ව්‍යාජ ප්‍රවෘත්ති සහ වැරදි තොරතුරු හේතුවෙන් පුවත්පත් කෙරෙහි මහජන සතුරුකම වැඩිවෙමින් පවතින බවට ද එය අනතුරු අඟවා සිටියි.

මාධ්‍ය නිරීක්ෂණ සංවිධානයට අනුව, 2022 වර්ෂයේ දී මාධ්‍යවේදීන් 55 ක් සහ මාධ්‍ය සේවකයින් හතර දෙනෙකු රැකියාවේ නිරත වෙමින් සිටියදී ඝාතනයට ලක්වී ඇත.

A photo shows Evan Gershkovich in a prison cell

| එක්සත් ජනපද මාධ්‍යවේදියෙකු වන ඉවාන් ගර්ෂ්කොවිච් මේ වසර මුලදී රුසියාවේ සේවය කරමින් සිටියදී රඳවා ගනු ලැබීය

රටවල් දහයක් ගත් කළ ඉන් හතකම මාධ්‍ය සඳහා පවතින පරිසරය "නරක" බව එම වාර්තාව අනතුරු අඟවා ඇත.

ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රටවන ඉන්දියාව ශ්‍රේණිගත කිරීම් වලට අනුව පහතට වැටී තිබේ. රටවල් 180ක් අතරින් එරට 161 වැනි ස්ථානයේ පසුවෙයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ රජය විවේචනය කළ බොහෝ මාධ්‍යවේදීන්ට ඔහුගේ (අගමැතිවරයාගේ) ආධාරකරුවන්ගේ හිරිහැරවලට ලක් වූ බවට කරුණු හෙළිවී ඇත.

අගමැති මෝදී, විවේචනයට ලක් කෙරෙන වාර්තා චිත්‍රපටයක් එක්සත් රාජධානියේ විකාශය කිරීමෙන් සතියකට පසුව ඉකුත් පෙබරවාරි මාසයේදී දිල්ලි හි පිහිටි බීබීසී කාර්යාලය ආදායම් බදු නිලධාරීන් විසින් වටලනු ලැබීය.

එමෙන්ම අගමැති මෝදිගේ හිතවතුන් විසින් මාධ්‍ය හිමිකාරිත්වය පාලනය කිරීම හරහා රට තුළ "දේශපාලන වශයෙන් පක්ෂග්‍රාහී" මාධ්‍ය සංකේන්ද්‍රණයක් ඇතිවීමේ පසුබිම ගැන ද වාර්තාව මගින් විවේචනයට ලක්කර ඇත.

තුර්කිය, රුසියාව, චීනය, ඉරානය සහ උතුරු කොරියාව ඇතුළු රටවල් 31 ක මාධ්‍ය නිදහස පිළිබඳ තත්ත්වය පෙර නොවූ විරූ අයුරින් "ඉතා බරපතල" බවට ද අනාවරණය කර ගෙන ඇත.

තුර්කිය ශ්‍රේණිගත කිරීම්වල 165 වැනි ස්ථානයට වැටී තිබෙන අතර මැයි 14 වැනිදා පැවැත්වීමට නියමිත එරට මැතිවරණයට පෙර බොහෝ මාධ්‍යවේදීන් නඩුපැවරීම්වලට ලක්ව ඇති බව වාර්තාව අනාවරණය කරයි.

විරෝධතා ආවරණය කරන බ්‍රිතාන්‍ය වාර්තාකරුවන් අත්අඩංගුවට ගැනීම, මාධ්‍ය හිමිකාරිත්වයේ බහුත්වවාදයේ ඌනතාවය සහ "මාධ්‍යවේදය සඳහා කනස්සල්ලට පත්වන කරුණු සහිත ව්‍යවස්ථාදායක යෝජනා" පිළිබඳව දේශසීමා රහිත වාර්තාකරුවන් විවේචනයට ලක් කිරීමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ද සුළු වශයෙන් ශ්‍රේණිගත කිරීම් වලින් පහත වැටුණි.

A newspaper shows arrested Iranian journalists

| ඉරාන මාධ්‍යවේදීන් වන නිලෝෆර් හමේඩි සහ එලාහේ මොහොමඩි 2022 වර්ෂයේ දී බලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී

බලධාරීන්ගේ අභියෝගවලට අමතරව, ඩිජිටල් ක්ෂේත්‍රය ද මාධ්‍යවේදීන් සඳහා වඩාත් නරක තත්ත්වයකට පත්වෙමින් ඇතැයි වාර්තාවේ සඳහන් වෙයි.

"අන්තර්ගතය විකෘති කිරීමේ පෙර නොවූ විරූ හැකියාව ගුණාත්මක මාධ්‍යකලාව මූර්තිමත් කරන අය අඩපණ කිරීමට සහ පුවත්පත් කලාවම දුර්වල කිරීමට භාවිතා කරන," බවට එය අනතුරු අඟවා සිටියි.

පුවත්පත් කලාව වැනි දේ නිර්මාණය කිරීමට කෘතිම බුද්ධියට ඇති හැකියාව මගින් "දැඩි මූලධර්ම සහ විශ්වාසනීයත්වය" පහසුවෙන් මග හැරිය හැකි බවද වාර්තාව පෙන්වා දෙයි.

ට්විටර් සමාගම මිලදී ගැනීමට එලොන් මස්ක්ගේ මෑත කාලීන තීරණය ගැන කරුණු දක්වමින් දේශසීමා විරහිත වාර්තාකරුවන් පවසන්නේ - සත්‍යාපනය සඳහා මුදල් ගෙවීම් ඇතුළුව ඔහු විසින් එහි කළ වෙනස්කම් පුවත්පත් කලාවට "බොරු වලක්" වැනි බවය.

යුරෝපීය රටවල් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන ඇති අතර නැගෙනහිර ටිමෝරය යුරෝපා සංගමයෙන් පිටත පළමු 10 දෙනා අතරට පැමිණි එකම රට විය.

නෝර්ඩික් කලාපයේ රටවල්, දර්ශකයේ ඉදිරියෙන් සිටින අතර, "විචිත්‍රවත්" සහ "ශක්තිමත්" මාධ්‍ය හැසිරවීම සඳහා ප්‍රශංසා ලබමින් නෝර්වේ රාජ්‍යයට දර්ශකයේ ප්‍රථම ස්ථානය හිමිවිය. ඉන් පසුව තුන්වන ස්ථානය ඩෙන්මාර්කය, සිව්වන ස්ථානය ස්වීඩනය සහ පස්වන ස්ථානයට ෆින්ලන්තය පත්ව ඇත.

අයර්ලන්තය, නෙදර්ලන්තය, ලිතුවේනියාව, එසතෝනියාව සහ පෘතුගාලය දර්ශකයේ පළමු රටවල් 10 අතරට පැමිණ ඇත.

ලෝක මාධ්‍ය නිදහස දිනයට පෙර අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අනතුරු ඇඟවූයේ "අපගේ සියලු නිදහස මාධ්‍ය නිදහස මත රඳා පවතී" යනුවෙනි.

දේශසීමා විරහිත වාර්තාකරුවන්ගේ සංවිධානය හා සමානව අදහස් පළකරමින් ඔහු පැවසුවේ " ඇත්ත සහ ප්‍රබන්ධ, විද්‍යාව සහ කුමන්ත්‍රණය අතර වන රේඛා " බොඳ කරන බැවින් සාවද්‍ය තොරතුරු සත්‍යයට තර්ජනයක් වන බවය.

සිරගත කර සිටින ඉරාන ජාතික කාන්තාවන් තිදෙනෙකුට එනම්, මාධ්‍යවේදීන් දෙදෙනෙකු සහ මානව හිමිකම් ක්‍රියාකාරිනියකට යුනෙස්කෝව විසින් 2023 ලෝක මාධ්‍ය නිදහස ත්‍යාගය පිරිනමනු ලැබ තිබේ.

(bbc/sinhala)