ගුරුවරියකගේ සියදිවි නසා ගැනීම මගින් හෙළි වූ දකුණු කොරියානු දෙමාපියන්‌ගේ හිරිහැර

ගුරුවරියකගේ සියදිවි නසා ගැනීම මගින් හෙළි වූ දකුණු කොරියානු දෙමාපියන්‌ගේ හිරිහැර

මෙවසරේ ජූනි පස්වැනි දා ලී මින්-සෝ* ඇගේ දිනපොතෙහි සටහනක් තබමින්, ඉගැන්වීම සඳහා සිය පන්ති කාමරය තුළට ඇතුළු වෙද්දී ඇගේ ශරීරිය බියකින් වෙළී යනබව විස්තරකර තිබුණා ය: "මගේ පපුව හිරවෙලා වගෙ දැනෙනවා‍. මම කොහේ හරි ඇදගෙන වැටෙයි වගේ මට දැනෙනවා. මම ඉන්නේ කොහේ ද කියලාවත් මම දන්නෙ නෑ."

එම ප්‍රාථමික පාසල් ගුරුවරිය ජුලි තෙවැනි දා ලියා තිබුණේ, ඇයට "අතහැර දැමීමට අවශ්‍යව සිටින" රැකියාවේ උමතුවෙන් ඇගේ ආත්මය වෙළී ඇති බවකි.

දෙසතියකට පසු, මේ 23 හැවිරිදි ගුරුවරිය ඇගේ පන්ති කාමරයේ අල්මාරියක් තුළ මරණයට පත්ව සිටියදී කාර්‌යයමණ්ඩලයේ සාමාජිකයින් විසින් සොයාගැනිණි. ඇය සියදිවි හානිකර ගෙන තිබිණි.

මෙම ඛේදවාචකය දකුණු කොරියාව පුරා ප්‍රාථමික පාසල් ගුරුවරුන් විසින් විරෝධතා රැල්ලක් ඇරඹීමට හේතුවී තිබේ.

දහස් ගණනක් ගුරුවරු සඳුදා (සැප්. 4) වැඩ වර්ජනයක නිරතවෙමින්, රැකියාවේ වඩා හොඳ ආරක්ෂාවක් ඉල්ලා සිටියෝ ය.

ඔවුන් සතියේ දිනවල දී මෙන් ම සති අන්තයේ දී ද නිරන්තරයෙන් ඔවුන්ට ඇමතුම් දෙන උඩඟු දෙමාපියන්ගෙන් අසාධාරණ‌ පැමිණිලිවලින් හිංසාවට ලක්වන බව ඔවුන් පවසයි.

මින්-සෝගේ ඥාති සොහොයුරෙකු වන පාර්ක් ඩූ-යොං, දැන් ගෝල්ඩ්ෆිෂ් මසෙකුට පමණක් නිවහන වී ඇති මින්-සෝගේ කුඩා, හිස් මහල් නිවාසය අස්පස් කරන අතරේ නොහඬා සිටීමේ අරගලයක නිරතවෙයි. ඇගේ සයනය අපිළිවෙල ය. ඒ අසල, ඇගේ පළමු වසර ශිෂ්‍යයින් ඇඳි සිතුවම් ගොඩකි. ඔවුන් ඇයට කෙතරම් ආදරය කරන්නේදැ යි පෙන්වන වදන් ඒවායෙහි වෙයි. චිත්‍ර ගොඩට යටිවී ඇත්තේ, විෂාදය සමග ජීවත්වන්නේ කෙසේදැ යි පැහැදිලි කරන පුස්තකාල පොත් ගොන්නකි.

ඔහුගේ ඥාති සොයුරිය ඇගේ මවගේ වෘත්තියේ යෙදීමට ළමා කාලයේ සිට පැවති සිහිනය සෑබෑකර ගනිමින් වසරකට මඳක් වැඩි කාලයක් ගුරුවරියක ලෙස සේවය කළ බව පාර්ක් පවසයි. ඔහු පවසන පරිදි ඇය දරුවන්ට දැඩි සේ ආදරය කර තිබේ.

පොලිසිය මින්-සෝගේ සියදිවි නසාගැනීමෙන් දින කීපයකට පසු එය ඊට ආසන්න කාලයේ සිදුවූ පෙම් සබඳතා බිඳ වැටීමකට ලඝු කළ ද, පාර්ක් රහස් පරීක්ෂක භූමිකාව භාර ගත්තේ ය. ඔහු ඇගේ දිනපොත් සටහන්, වෘත්තීය සටහන් සහ කෙටි පණිවුඩ සිය ගණනක් නිරීක්ෂණය කළේ ය.

ඇය සියදිවි නසා ගැනීමට මාස කිහිපයකට පෙර මින්-සෝ දෙමාපියන්ගේ පැමිණිලිවලින් දැඩි ලෙස බැට කා ඇති බව එම සටහන්වලින් හෙළිවිය. ඉතා මෑතක දී, ඇගේ පන්තියේ එක් සිසුවෙකු පැන්සලකින් තවත් දරුවෙකුගේ හිස තුවාල කර තිබූ අතර, දෙමාපියන් කෝපයෙන් යුත් දුරකතන සංවාද සහ කෙටි පණිවිඩවලින් ඇය හා කළහකොට තිබිණි.

Messages and floral tributes at the gates of a school in S Korea

| විසිතුන් හැවිරිදි ගුරුවරිය සියදිවි නසාගත් ප්‍රාථමික පාසලේ දී ජනතාව අවසන් ගෞරව දක්වමින්

පසුගිය සති හයක කාලය තුළ, ඔවුන් ළමා අපයෝජකයින් ලෙස හංවඩු ගසනවාට බියෙන්, දරුවන් එකිනෙකා හා ඇතිකර ගන්නා ගැටුම්වලට මැදිහත්විය නොහැකිබව පවසන ගුරුවරු දහස් ගණනක් සෝල් නුවර දී විරෝධතා රැලි පැවැත්වූහ.

ළමා හිංසන චෝදනා එල්ලවන ගුරුවරුන් ස්වයංක්‍රීයව වැඩ තහනමට ලක්වනබව ප්‍රකාශ කෙරෙන, 2014 වසරේ දී සම්මත වූ ළමා සුබසාධන නීතිය දෙමාපියන් අවභාවිත කරන බවට ඔවුහු චෝදනා කරති‍.

ප්‍රචණ්ඩකාරී දරුවෙකු හික්මවීම හේතුවෙන් ගුරුවරුන් ළමා හිංසනයක් සිදුකර ඇතැ යි වාර්තා කළ හැකි අතර, තරවටු කිරීම භාවමය අපයෝජනයක් ලෙස නිරන්තරයෙන් නම්කරනු ලැබේ. එවැනි චෝදනා හරහා ගුරුවරුන් වහා රැකියාවෙන් පහකළ හැකි ය.

එක් ගුරුවරියකට එරෙහිව පැමිණිල්ලක් ලැබී තිබුණේ, සෑම උදෑසනක ම ඔවුන්ගේ දරුවාට දුරකතන ඇමතුමක් දී අවදි කරන ලෙස දෙමාපියන් සිදුකළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි. පන්තියේ දරුවෙකු කතුරකින් කපා තුවාල කළ පිරිමි ළමයෙකුගේ ත්‍යාග ස්ටිකර් ඔහුගෙන් ඉල්ලාගත් නිසාවෙන්, තවත් ගුරුවරයෙකුට එරෙහිව භාවමය අපයෝජන පැමිණිල්ලක් ගොනුකර තිබුණි.

එක් විරෝධතාවක දී 28 හැවිරිදි ගුරුවරියක වන කිම් ජින්-සියෝ පැවසුවේ, ඇය සියදිවි නසාගැනීමේ සිතිවිලි අත්විඳ ඇති බව යි. ඇයට එරෙහිව ඉතා ආවේගශීලී පැමිණිලි දෙකක් ලැබීමෙන් පසු මාස තුනක නිවාඩුවක් අවශ්‍යවූ බවත් ඇය පැවසුවා ය. මින් එක් සිද්ධියක දී, කරදරකාරී සිසුවෙකුට ඔහුගේ සිතුවිලි පැහැදිලිකර ගැනීම සඳහා වැසිකිළියට ගොස් විනාඩි පහක් ගත කරන ලෙස ඇය ඔහුගෙන් ඉල්ලා තිබූ අතර, තවත් සිද්ධියක දී ඇය දරුවෙකු සටන් කළබවට දෙමාපියන්ට පැමිණිලි කර තිබිණි. අවස්ථා දෙකේදී ම, ඔවුන්ගෙන් සමාව ගැනීමට පාසල ඇයට බලකර තිබිණි.

ආරක්ෂාකාරී හැඟීමකින් යුතුව ඉගැන්විය හැකි බවක් නොදැනෙන තැනකට ඇය පත්වූ බව කිම් පවසයි: "ගුරුවරු වන අපි අතිශය අසරණ තත්ත්වෙකට පත්වෙලා කියල දැනෙනවා. මේක ඍජුව ම අත්විඳපු අය අභ්‍යන්තරයෙන් වෙනස්වෙලා. එහෙම අත්විඳපු නැති අය අනිත් අයට ඒක වෙනවා දැකලා තියෙනවා. මේ මොක වුණත්, [අපි] දුර්වල වෙනවා."

මේ පැමිණිලි කිරීමේ සංස්කෘතියට ඉන්ධන සපයන්නේ, ජීවිතයේ සෑම දෙයක්ම පාහේ අධ්‍යාපන සාර්ථකත්වය මත රඳා පවතින දකුණු කොරියාවේ අධිතරගකාරී සමාජය යි. සිසුන් අනාගතයේ හොඳ ම විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීම සඳහා හොඳ ම ශ්‍රේණි ලබාගැනීම සඳහා ඉතා කුඩා කාලයේ සිටම දැඩි ලෙස තරග කරයි. පාසල හැරුණුකොට, දෙමාපියෝ තම දරුවන් 'හැග්වොන්' ලෙස හැඳින්වෙන, අමතර විෂය මාලා ඉගැන්වෙන මිල අධික පාසල්වල අධ්‍යාපනය සඳහා යවති‍. ඒවා පෙරවරු පහේ සිට රාත්‍රී 10 දක්වා ක්‍රියාත්මක ය. අතීතයේ කොරියාවේ පවුල්වල දරුවන් පස් හයදෙනෙකු සිටිය ද, වර්තමානයේ බහුතර පවුල් සංඛ්‍යාවක සිටින්නේ එක් දරුවෙකු පමණි. ඉතින් එම පවුල්වලට සාර්ථකත්වය සඳහා ඇත්තේ ද එක් අවස්ථාවක් පමණි.

Teacher Kim Jin-seo at a recent protest

| සියදිවි නසා ගැනීමේ සිතිවිලි ඇතිවීමට රැකියාව හේතුවූ බව කිම් ජින්-සියෝ පැවසුවා ය

සෝල්හි පිහිටි අධ්‍යාපනය පිළිබඳ ජාතික විශ්වවිද්‍යාලයයේ අනාගත ගුරුවරුන් පුහුණු කරන මහාචාර්ය කිම් බොං-ජේ, ඉහළ යන අසමානතාව ද මීට වගකිව යුතු බව පැවසුවේ ය. සාම්ප්‍රදායිකව, කොරියාව තුළ ගුරුවරුන්ට ගරු කිරීමේ ඉතා ශක්තිමත් සංස්කෘතියක් තිබූ බව ඔහු පැහැදිලි කළේ ය. එහෙත්, රටේ වේගවත් ආර්ථික වර්ධනය නිසා බොහෝ දෙමාපියන් දැන් ඉහළ අධ්‍යාපනයක් ලබා තිබේ. "මේකෙන් අදහස් වෙන්නේ, ඒ අය බොහෝවිට ගුරුවරුන්ව පහත් කරලා සලකනවා කියන එක යි," ඔහු පැවසීය. "තමන් බදු ගෙවීම හරහා ගුරුවරුන්ට පඩි ගෙවනවා කියලා ඒ අය හිතනවා. මේ නිසා තමන්ට ඊට දැඩි අයිතියක් තියෙනවා කියල [ඔවුන් හිතනවා]."

තවත් ගුරුවරයෙකු වන ක්වොන්, ඔහු ඉගැන්වීමේ කටයුතුවල නිරතවූ වසර 10 තුළ දෙමාපියන් සහ සිසුන් ඇති කළ ආතතිය නිසා ඇතිවූ විෂාදය සහ සන්ත්‍රාසයෙන් මිදීම සඳහා අසනීප නිවාඩු දෙකක් ලබාගෙන ඇතිබව අපට පැවසුවේ ය.

මීට වසර හතරකට පෙර, බාධා කරන සිසුවෙකු පන්ති කාමරයෙන් පිටතට හෝ පන්තියේ පිටුපසට යැවිය හැකිව තිබූ බව ඔහු පැවසීය. එහෙත්, පසුව දෙමාපියෝ ළමා හිංසන සම්බන්ධයෙන් නඩු පවරන්නට පටන්ගත්හ. ක්වොන් මෑතක දී දුප්පත් ප්‍රජාව වෙසෙන ප්‍රදේශයක පිහිටි පාසලකට ගිය අතර ධනවත් ප්‍රදේශවල දෙමාපියන්ගේ හැසිරීම වඩාත් නරක බව ඔහුට එහිදී තහවුරු විය.

"එයාලගෙ මානසිකත්වය තමයි 'මගේ දරුවා විතරයි වැදගත්' කියන එක. ඔබ හිතන්නේ ඔබේ දරුවා විතරක් හොඳ පාසලකට යවන එක ගැන නම්, ඒකෙන් ඔබ ඉතාම ආත්මාර්ථකාමී වෙනවා," ඔහු පැවසීය. මෙම පීඩනය දරුවන්ගේ හැසිරීමට ද බලපාන බවට ඔහුට සැකයක් නැත. "මේ පීඩනය පිටකර ගන්න විදිහ ගැන එයාලා [දරුවො] දන්නෙ නෑ. ඒ නිසා එයාලා ප්‍රතිචාර දක්වන්නේ, එකිනෙකාට රිද්දන එකෙන්."

දකුණු කොරියානු පාසල් තුළ සිසුන් අතර වන හිරිහැරකිරීම් සහ ප්‍රචණ්ඩත්වය ඇතිබව ප්‍රකට කරුණකි. පසුගිය වසරේ ජනප්‍රිය වූ කොරියානු ටෙලිනාට්‍යයක් වූ The Glory කේන්ද්‍රගත වූයේ, කුඩාකල පාසලේ දී ඇයට හිරිහැර කළවුන්ගෙන් පළිගැනීමට උත්සහ කරන කාන්තාවක් වටා ය. එය සත්‍ය සිද්ධි මත පදනම් වූ අතර, නරඹන්නන්ට බැලීමට අපහසු ප්‍රචණ්ඩ දර්ශන කිහිපයක් ද ඇතුළත් විය. මෙහි කතාවට අනපේක්ෂිත නැම්මක් ඇති කරමින්, නාට්‍යයේ අධ්‍යක්ෂවරයා ද පාසැල් සමයේ හිංසනවල නිරතවූ බවට චෝදනා ලැබූ අතර, සමාව ගන්නැ යි ඔහුට ද බල කෙරිණි.

ගැටලුව විසඳීම සඳහා රජයට එල්ල වූ පීඩනය හමුවේ, පෙබරවාරි මාසයේ දී රජය සිසුන් හිරිහැර කරන්නේ නම් එම වාර්තා ඔවුන්ගේ විශ්වවිද්‍යාල අයැදුම්පත්වලට ඇතුළත් කරන බව නිවේදනය කළේ ය. සිසුන් එකිනෙකාට හිරිහැර කිරීමට මේ පියවර හරහා දිරිමත් කිරීමට අපේක්ෂා කළත්, එය දෙමාපියන්ගේ කණස්සල්ලට ද හේතුවී ඇති බැවින්, ඔවුන් ඔවුන්ගේ දරුවාගේ වැරදි මකා දැමීමට ගුරුවරුන් මත පීඩනයක් ඇති කරයි.

ශිෂ්‍යයන්ගේ සහ දෙමාපියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා වූ සහයෝගිතා සංවිධානය පවත්වාගෙන යන ෂින් මින්-හ්යැං, පසුගිය මාසය පුරා ඉස්මතු කරන ලද බොහෝ හැසිරීම් පිළිගත නොහැකිබව පිළිගත් නමුත්, ඒවා නිතර සිදු නොවෙන විශේෂ අවස්ථාබවට තර්ක කළේ ය.

"දෙමව්පියන්ගෙන් වැඩි දෙනෙක් හොඳින් හැසිරෙනවා. අපේ ප්‍රශ්න සන්නිවේදනය කරන්න අපි පාවිච්චි කරන ක්‍රම දැන් කපාහරියි කියලා අපි කණස්සල්ලෙන් ඉන්නේ. මේකේ වැරදිකාරයා දෙමාපියන් විදිහට තමයි හංවඩු ගහලා තියෙන්නේ. ඒක හරි නැහැ," ඇය පැවසීය‍.

A building filled with after-school classes known as hagwons, which operate from 5am to 10pm

| 'හැග්වොන්' යනුවෙන් හැඳින්වෙන, අලුයම පහේ සිට රාත්‍රී 10 දක්වා පැවැත්වෙන පෞද්ගලික පන්තිවලින් පිරුණු ගොඩනැගිල්ලක්

එහෙත්, ඇය ද අතීතයේ ගුරුවරුන් ගැන පැමිණිලිකර ඇතිබව ෂින් පිළිගත් අතර, ඇගේ දරුවාට උගන්වන දේ සහ ඔවුන් හික්මවන ආකාරය පිළිබඳව වැඩි දායකත්වයක් ලබාදීමට කැමති බව ද පිළිගත්තා ය.

පැමිණිලි ඉදිරිපත්වීම පාලනයකින් තොරව සිදුවීම ගැන ඔහු කණස්සල්ලට පත්ව සිටිතැ යි, නම සඳහන් කිරීමට අකැමතිවූ එක් පියෙකු පැවසුවේ ය. ගුරුවරියක ගත් තීරණයක් සම්බන්ධයෙන් ඇයට අනිසි බලපෑම් කිරීමට ගෘප් චැට් එකක් හරහා දෙමාපියන් එකිනෙකා දිරිමත් කරන පණිවුඩ ඔහු අපට පෙන්වීය‍. "ඔයාගේ ෆෝන් නම්බර් එක බ්ලොක් කළොත්, පවුලේ කෙනෙකුගේ හරි යාළුවෙකුගේ හරි ෆෝන් එකකින් කතා කරන්න," සංවාදයේ යෙදී සිටි එක් මාපියෙකු උපදෙස් දී තිබිණි.

"ප්‍රශ්න ඇති කරන ළමයි ගැන මැදිහත්වෙන්න ගුරුවරුන්ට බලයක් නැතිවුණොත්, ඒක අනිත් ළමයින්ටත් නරක විදියට බලපානවා," නම නොකියූ පියා අපට පැවසීය.

ඊට අමතරව, සිසුන්ට උගන්වන ගුරුවරුන් සංඛ්‍යාව අඩුවී යා හැකි ය. 2023 වසරේ කරන ලද සමීක්ෂණයකට අනුව, සමීක්ෂණය ඇරඹි 2006 වසරේ දී 68%ක්ව පැවැති රැකියාව පිළිබඳ තෘප්තිමත් ගුරු ප්‍රතිශතය 24%ක් දක්වා පහත වැටී තිබේ. ගුරුවරුන්ගෙන් අතිමහත් බහුතරය පවසා තිබුණේ පසුගිය වසරේ දී ඔවුන් රැකියාවෙන් ඉවත්වීමට සිතූ බව ය.

රජයේ පාසල්වල පන්ති කාමර "කඩා වැටී" ඇතැ යි රජය පිළිගෙන තිබේ. රජය නව මාර්ගෝපදේශ නිකුත්කර ඇති අතර, අවශ්‍යවුවහොත් බාධා කරන සිසුන් පන්ති කාමරයෙන් ඉවත් කිරීමටත්, තරවටු කිරීමටත් ඒ හරහා ගුරුවරුන්ට අවසර ලබාදී තිබේ. දෙමාපිය රැස්වීම් සඳහා දිනය සහ වේලාව සම්බන්ධයෙන් කල්තබා ගුරුවරුන් සමග එකඟවිය යුතු බවත්, ගුරුවරුන්ට කාර්යාල වේලාවෙන් පසු හමුවීම ප්‍රතික්ෂේප කළ හැකිබවත් රජය පවසයි.

මෙම මාර්ගෝපදේශ මඟින් "පාසල් ඒවා පැවතිය යුතු ආකාරයට නැවත අනුගත වනු ඇතැ"යි අපේක්ෂා කරන බව දකුණු කොරියාවේ අධ්‍යාපන අමාත්‍ය ලී ජූ-හෝ පැවසීය.

කඩා වැටී ඇත්තේ පන්ති කාමර පමණක් නොවනබව තර්ක කරන විශාල පිරිසක් එරට සිටිති. ලකුණුවලින් ජීවිත හැදෙනවා ද විනාශ වෙනවා ද යන්න තීරණය නොවන සමාජයක සෑම අයෙකුට ම ප්‍රතිලාභ ලැබෙනබව පවසන ඔවුහු, සාර්ථකත්වය යන්නට සමාජයේ ඇති පටු නිර්වචනය මෙන් ම දකුණු කොරියාවේ සමස්ත අධ්‍යාපන පද්ධතිය ම ප්‍රතිසංස්කරණය කළ යුතුයැ යි පවසති.

*පවුලේ ඉල්ලීම මත, අභාවප්‍රාප්ත ගුරුවරියගේ නම වෙනස්කර තිබේ.

අතිරේක වාර්තාකරණය හෝසු ලී සහ ලී හ්යුන් විසිනි

(bbc/Sinhala)