ශ්‍රී ලංකාවට ලබාදී ඇති ‘GSP+’ අත්හිටුවන්න: – යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ 705/628ක්ම ඉල්ලයි

gsp-plus

ශ්‍රී ලංකා රජය මානව හිමිකම් ප්‍රතිසංස්කරණ සම්මත කර ගැනීම සහ බලාත්මක කිරීම මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීමට දිගින් දිගටම අපොහොසත් වී ඇති හෙයින් ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන් සලකා බලන්නැයි යුරෝපා කොමිසමෙන් ඉල්ලමින් යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ 705/628ක අති බහුතර ඡන්දයකින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් පසුගිය 09 වැනිදා සම්මත කර ගන ඇතැයි බ්‍රසල්ස් හී තානාපති ආරංචි මාර්ග කියනවා.

යුරෝපා සංගමයේ පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 705 දෙනකුගෙන් සමන්විත වන අතර ඔවුන්ගෙන් 628 දෙනකු යෝජනාවට පක්ෂව ඡන්දය දී තිබෙනවා. යෝජනාවට විරුද්ධව ඡන්ද 15 ක් ලැබී තිබන අතර තවත් 40ක් ඡන්දය දීමෙන් වැළකී සිට ඇති බවයි වාර්තා වන්නේ.

2017 වසරේදී යුරෝපා කොමිසම විසින් ශ්‍රී ලංකාවට යළි ලබා දුන් ජී.එස්.පී.ප්ලස් බදු සහනය හා එහි ප්‍රතිලාභ තාවකාලිකව ඉවත් කර ගැනීමට යුරෝපා කොමිසම සලකා බැලිය යුතු බව යූරෝපා පාර්ලිමේන්තුව සම්මත කර ගත් එම යෝජනවේ සදහන් වෙනවා.

ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාවෙන් පැහැදිලි කර ඇති පරිදි, බරපතළ මානව හිමිකම් උල්ලංඝණය වීම් නැවත සිදුවීමක් සඳහා රටතුළ ඇති භයානක පසුබෑමක් ඇති බවට ද යුරෝපා සංගම් පාර්ලිමේන්තුව අදාළ යෝජනාවේ සදහන් කර තිබෙනවා.

1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කර ඒ වෙනුවට ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතියෙන් යුක්ත නව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් සම්මත කරගන්නා බවටත්, මානව හිමිකම් සම්මුතීන්, කම්කරු, ළමා හා කාන්තා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතීන් ඇතුළු ජාත්‍යන්තර සම්මුතීන් 27ක් ඵලදායක ලෙස ක්‍රියාත්මක කරන බවටත් වූ පොරොන්දු මත බවද, යුරෝපා පාර්ලිමේන්තු යෝජනාවෙහි සඳහන් වෙයි. 2009 යුද ගැටුම් නිමවී අවුරුදු 12ක් ගත වන විටත්, වගවීම හා සංහිඳියාව සඳහා දේශීය වශයෙන් පියවර ගෙන ප්‍රතිඵල පෙන්වීමට ලංකාවේ රජය නැවත නැවතත් අසමත් වී ඇති බවද, ඒ නිසා අපරාධවලට දඬුවම් නොලැබ සිටීම හා වින්දිතයන් රටේ ආයතන කෙරෙහි දක්වන විශ්වාසය කඩවීම බලවත් වී ඇති බවද යෝජනාවෙන් කියැවෙයි.

යෝජනාවෙන් අවධාරණය කර ඇති තවත් කාරණයක් වන්නේ, ශ්‍රී ලංකා රජයේ සිවිල් ආයතන හා පරිපාලන කටයුතු මිලිටරීකරණයයි. ‘ආණ්ඩුවේ ආයතන හා පරිපාලන ක්‍රියාදාමය මිලිටරීකරණය වේගවත් කර ඇති බවට පැහැදිලි ලකුණු තිබේ. 2020 සිට අඩුගණනේ සේවයේ සිටින හෝ සිටි හමුදා හෝ බුද්ධි අංශයේ නිලධාරීන් 28 දෙනකුවත් රජයේ වැදගත් පරිපාලන තනතුරුවලට පත්කර ඇත. ඔවුන් අතරෙන් අඩු ගණනේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීහු දෙදෙනෙක් යුදගැටුමේ අවසාන කාල පරිච්ඡේදයේදී යුද අපරාධ හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව චෝදනා ලබා ඇති අයයි.’ යනුවෙන් වාර්තාවේ දැක්වෙයි.

පොලිස් අත්අඩංගුවේ සිටියදී මෙන්ම බන්ධනාගාරගතව සිටියදීද රැඳවුවන් මරාදමා ඇති බවද, 2021 මැයි මාසයේ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියයාම්, 2020 නොවැම්බර් මාසයේදී කොවිඩ් 19 තත්වයන් යටතේ වුවද, මහර බන්ධනාගාරයේ රැඳවුවන් 11 ඝාතනය කරමින් හා 117 දෙනකුට තුවාල සිදුකරමින් ආරක්‍ෂක නියාමකයන් විවෘතව වෙඩි තැබීම් ආදිය සිදුවූ බවද යෝජනාවෙහි සඳහන් වෙයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අඛණ්ඩව යොදාගැනීමට බරපතළ ලෙස විරුද්ධ වන බව නැවතත් යෝජනාවෙන් අවධාරණය කැරෙන අතර, එම පනත නැවත විචාරය කිරීම හා ප්‍රතිස්ථාපනය කිරීම මෙන්ම, වහාම එම මර්දනකාරී පනත අවලංගු කිරීමට අදාළ පොරොන්දු ඉටුකරන ලෙසද ඉල්ලා සිටියි.

2020 ඔක්තෝබර් 20 වැනිදා සම්මත කරගත් 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සඳහන් කරමින් යෝජනාව කියන්නේ, එමගින් අධිකරණයේ ස්වාධීනත්වය පිරිහීම, පාර්ලිමේන්තුවේ පාලන බලතල අඩුකිරීම සහ ජනාධිපතිට ප්‍රමාණය ඉක්මවා ගිය බලයක් ඒකරාශි කරදීම ගැන බැරෑරුම් ලෙස අවධානය යොමු කරන බවයි.

යෝජනාවට අනුව, ජීඑස්පී ප්ලස් සහනය ලංකාවේ ආර්ථිකයට ඉතාම වැදගත් දායකත්වයක් කර තිබේ. එනිසා ලංකාවෙන් යුරෝපා සංගමය වෙත යුරෝ බිලියන 2.3ක අපනයන වර්ධනයක් සිදුවී ඇති බවද, යුරෝපා සංගමය ලංකාවේ දෙවැනි විශාලතම අපනයන වෙළෙඳපොළ බවට පත්වී ඇති බවද කියැවෙයි.

එහෙත්, ජීඑස්පී ප්ලස් සහනය ලංකාවට තවදුරටත් ලැබීම ස්වයංක්‍රියව සිදුවන්නක් නොවන බව කියන යෝජනාව, යුරෝපා කොමිසමෙන් හා එහි ‘යුරෝපා බාහිර ක්‍රියාකාරි සේවාවෙන්’ ඉල්ලා සිටින්නේ, ලංකාවේ වර්තමාන තත්වය ගැන තක්සේරුවක් කරන ලෙසත්, ලංකාවේ මානව හිමිකම් බැඳීම් වර්ධනය කිරීමට ජීඑස්පී ප්ලස් සහනය ලීවරයක් ලෙස යොදාගන්නා ලෙසත්ය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම හෝ ප්‍රතිස්ථාපනය කිරීම තවදුරටත් ලංකාවට අවධාරණය කරවන ලෙසත්, අවසාන විසඳුමක් ලෙස ලංකාවේ ජීඑස්පී ප්ලස් සහනය හා ප්‍රතිලාභ තාවකාලිකව අත්හිටුවීමට සාධාරණ හේතු තිබෙනවාදැයි තක්සේරු කරන ලෙසත්, හැකි ඉක්මනින් ඒ ගැන ගන්නා පියවර යුරෝපා පාර්ලිමේන්තුවට වාර්තා කරන ලෙසත් යෝජනාවෙන් අවධාරණය කර ඇත

ශ්‍රී ලංකාවේ දෙවන ප්‍රධාන අපනයනකරුවා වන යුරෝපා සංගමය විසින් යළිත් ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය අත්හිටුවීමට ක්‍රියා කළහොත් එමගින් ශ්‍රී ලංකාවට දැඩි ආර්ථික හා සමාජයීය ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බව ආර්ථික විශේෂඥයින් කියනවා.

පසුගිය මහින්ද රාජපක්ෂ පාලන යුගයේ අත්හිටුවන ලැබූ ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය යහපාලන ආණ්ඩුව බලයට පත් වූ පසු 2017 වසරේදී යළි ලබා දුන්නා.