ප්‍රංශ ඡන්දදායකයින් ගෙන් ජාතිවාදීන්ට පාඩමක් (Video)

ජාතිවාදී පක්ෂයක් බලයට පත්වීමේ අවස්ථාව අසුරා දමමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බටහිර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කදිම ආදර්ශයක් බව දේශපාලන විචාරකයෙක් පෙන්වා දෙයි.

ඉරිදා පැවැත්වුණ ප්‍රංශ මහ මැතිවරණයේ දෙවැනි වටයේ ඡන්ද විමසීමේදී ජාතිවාදී ප්‍රචාරක ව්‍යාපාරයක නිරත වූ මරී ල පෙන් ගේ නායකත්වයෙන් යුත් අන්ත දක්ෂිණාංශික පක්ෂයට බහුතර බලයක් ලබා නොදීමට ප්‍රංශ පුරවැසියෝ උත්සුක වූහ.

''ලංකාවෙ මාධ්‍යවලට ගොඩක් ඉගෙනගන්න දේවල් තියෙනවා''

මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ දී ප්‍රංශ ජනමාධ්‍යත් ශ්‍රී ලංකාවේ මාධ්‍ය මෙන් ඡන්දදායකයන්ට ගඟෙන් මතුවන නාගයින් පෙන්වමින්, වඳ සැත්කම් වැනි ජාතිවාදී ප්‍රචාර ගෙන ගියේ දැයි සරෝජ් පතිරණ කළ විමසුමකට පිළිතුරු දුන් පැරිස් නුවර වෙසෙන චූලා සමරසිංහ කියා සිටියේ, එවැනි කිසිදු ජාතිවාදී මාධ්‍ය භාවිතාවක් සිදු නොවූවා පමණක් නොව, සියලුම මාධ්‍ය සෑම පක්ෂයකටම සමාන කාලයක් ලබාදුන් බවය.

මහ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සමයේ ප්‍රංශයේ ජනමාධ්‍යවල හැසිරීමෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවලට බොහෝ දේ උගත හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

අන්ත දක්ෂිණාංශිකයින් බලයට පත්වූයේ නම් සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ඔවුන් අනුගමනය කළ හැකිව තිබුන ප්‍රතිපත්තිය පිළිබඳව මෙන්ම ඊශ්‍රායලය පලස්තීනයේ දියත්කොට තිබෙන ජන සංහාරය සම්බන්ධයෙන් ප්‍රංශයේ ස්ථාවරය ගැනද ඔහු Sandeshaya by Saroj නාලිකාව සමග අදහස් දැක්වීය.