ලාංකිකයෝ 10,000කට ඊශ්‍රායලයේ රැකියා වරම්

ලාංකිකයෝ 10,000කට ඊශ්‍රායලයේ රැකියා වරම්

පසුගිය ඔක්තෝබර් මස 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් සටන්කාමීන්ගේ ප්‍රහාරයත් සමඟ ඇරඹි ඊශ්‍රායල යුද්ධයෙන් දරුණු බලපෑමක් එල්ල වී ඇති එරට කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට ශ්‍රී ලාංකික සේවකයන් 10,000 ක් ගෙන්වා ගැනීමට අදාළ ගිවිසුමට ඉකුත්දා අත්සන් තැබූ බව ඊශ්‍රායලයේ ග්ලෝබ්ස් පුවත්පත වාර්තා කර ඇත.

ඊශ්‍රායල ස්වදේශ කටයුතු අමාත්‍ය මොෂේ අබෙල් සහ ශ්‍රී ලාංකික නියෝජිතවරයා අදාළ ගිවිසුමට එරට විදේශ කටයුතු අමාත්‍යංශයේදී මෙලෙස අත්සන් තැබූ බව එම පුවත්පත වාර්තා කළේය.මෙම ගිවිසුමට අනුව කෘෂි කාර්මික සේවා සඳහා වහාම ශ්‍රී ලාංකික සේවකයන් 10,000 ක් ගෙන්වා ගැනීමට ඊශ්‍රායලයට අවස්ථාව ලැබෙන බව එම පුවත්පත පෙන්වා දී තිබේ.

ඊශ්‍රායල යුද්ධය හේතුවෙන් කෘෂි කර්මාන්තයේ නියැලි සේවකයන් 8000 ක් පමණ ඊශ්‍රායලය හැර දමා ගොස් ඇති බවත් තවත් කෘෂි කර්මාන්තයේ නියැලි පලස්තීන සේවකයන් 20,000කට පමණ ඊශ්‍රායලයට ඇතුළු වීම තහනම් කර ඇති බවත් ඒ හේතුවෙන් ඊශ්‍රායලයේ කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයේ දරුණු සේවක හිඟයක් ඇති වී තිබෙන බවත් ග්ලෝබ්ස් පුවත්පත වාර්තා කර ඇත.

පසුගිය ඔක්තෝබර් 7 වැනිදා සිදු වූ ප්‍රහාරයේදී විදේශීය සේවකයන් දුසිම් ගණනක් හමාස් සටන්කාමීන් මරා දැමූ බවත් තවත් පිරිසක් ප්‍රාණ ඇපයට ගත් බවත් එම පුවත්පත පෙන්වා දී තිබේ.

දෙරට අතර එළඹී ගිවිසුමට අනුව එළඹෙන සති කිහිපයේදී ශ්‍රී ලාංකික සේවකයන් ඊශ්‍රායලයට පැමිණෙනු ඇතැයි එම පුවත්පත වාර්තා කර ඇත.