ලෝකයේ අවතැන්ව සිටින ජන සංඛ්‍යාව මිලියන 100ට වැඩිබැව් UNHCR කියයි

ලෝකයේ අවතැන්ව සිටින ජන සංඛ්‍යාව මිලියන 100ට වැඩිබැව් UNHCR කියයි

"මගේ කමියුනිටි එකේ ගෑණු ළමයි ගොඩදෙනෙක් මගේ දියුණුවෙන් පෙළඹවීමක් ලබලා තියෙනවා. මගේ ක්ලිනික් එකට පොඩි ළමයි ආවම, එයාලා කියනවා එයාලටත් මගේ අඩිපාරෙම ගිහින් ඩොක්ටර්කෙනෙක් වෙන්න ඕනේ කියලා," වෛද්‍ය සලීමා රෙහ්මාන් පවසයි.

ඇෆ්ගන් සම්භවයෙන් යුත් සලීමා උපත ලැබුවේ පාකිස්තානයේ පිහිටි සරණාගත කඳවුරක දී ය. අධ්‍යාපනය හා රැකියා අවස්ථා ලබාගැනීම සඳහා බොහෝ වෙහෙසවීමට ඇයට සිදුවිය. දැඩි ලෙස සටන් වැදුණු ඇය වෛද්‍ය විද්‍යාලයයේ සරණාගතයින් සඳහා වෙන්කර ඇති එකම ස්ථානය ලබාගැනීමට සමත්වූ අතර, තුර්ක්මාන් සරණාගත ප්‍රජාවේ පළමු වෛද්‍යවරිය බවට පත්විය.

ඇය 2021 වසරේ UNHCR නැන්සන් සරණාගත සම්මානයේ ආසියානු කලාපීය ජයග්‍රාහිකාව ද වේ.

මෙවර ලෝක සරණාගත දිනය (ජුනි 20 දා) වෙනුවෙන් එක්සත් ජාතීන් නිකුත්කළ වාර්තාවකට අනුව, සලීමා වැනි ලෝකයේ අවතැන්වූවන්ගේ සංඛ්‍යාව මිලියන 100 ඉක්මවා තිබේ.

ඉන් දහයෙන් එකකට වැඩිදෙනෙක් යුක්රේන යුද්ධය නිසා අවතැන්වූවෝ වෙති.

100 million people forced to flee in 2022

2021 වසර අවසානය වන විට, මිලියන 27ක ජනකායක් විදේශ රටවල සරණාගතභාවය පතා තිබේ.

සලීමා වැනි සරණාගතයින්ගෙන් බහුතරයක් බාරගනු ලබන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් ය. පාකිස්තානය වැනි බොහෝ රටවල් තවමත් ගෝලීය සරණාගත සම්මුතීන්ට අත්සන්කර නැත.

තෙවන පරම්පරාවේ සරණාගතයෙක්

"මම තුන්වෙනි පරම්පරාවේ සරණාගතයෙක්... අපට අභියෝග රැසකට මුහුණදෙන්න සිද්ධවුණා," විසිනව හැවිරිදි වෛද්‍යවරිය පවසන්නී ය.

Afghan refugees in a Pakistani camp

| සලීමා උපත ලැබුවේ නල ජලය සහ විදුලිය වැනි මූලික පහසුකම් පවා නොමැති පාකිස්ථානු සරණාගත කඳවුරක ය

සලීමාගේ මීමුත්තා සියවසකටත් පෙර සමයක දී සිවිල් යුද්ධයෙන් ගැලවීම සඳහා තුර්කිමෙනිස්තානයෙන් පළාවුත් ඇෆ්ගනිස්තානයේ ජෝස්ජන් දිස්ත්‍රික්කයේ පදිංචි වූ අයෙකි.

1979 දී සෝවියට් දේශය ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කිරීමෙන් පසු ඇගේ පියා පාකිස්තානයට පළාගිය අතර, එහි ඛයිබර් පඛ්තුන්ක්වා දිස්ත්‍රික්කයේ සවාබි සරණාගත කඳවුරේ දී ඔහුට සිය අනාගත බිරිඳ හමුවිය. එම කඳවුර තුළ විදුලිය, ජලය, හෝ සෞඛ්‍ය සේවා වැනි මූලික පහසුකම් හෝ නොවිණි.

"මම ඉපදෙන්න යද්දී මිඩ්වයිෆ්කෙනෙක් අම්මට කියලා තිබුණා මම වැරදි පැත්තට ඉන්නේ, ඒ නිසා අම්මව සීසර් කරන්න ඕනේ කියලා. ඒ වුණාට අම්මව කිලෝමීටර් 70ක් එහායින් තිබුණ ඉස්පිරිතාලේට අරන් යන්න තාත්තට සල්ලි තිබුණේ නැහැ."

"ශාරීරික වගේම, බරපතල චිත්තවේගීය කම්පනයන්ට මුහුණ දෙන්න මගේ දෙමාපියන්ට සිද්ධ වුණා. තමන්ගේ බබාව දොස්තරකෙනෙක් කරනවා කියලා එයාලා තීරණය කරලා තිබුණා."

Forcibly displaced worldwide

මම වෙනස්

ඇගේ පියා ඉතා ළාබාල අවධියේ දීම අනාථයෙකුබවට පත්වූ හෙයින් හරිහැටි ඉගෙනීම ඇරඹීමටත් පෙරම පාසැල හැරදා යෑමට ඔහුට සිදුවිය. නමුත් ඔහු සලීමාට සිය නොසැලෙන පිටුබලය සැපයුවේ ය.

Saleema in her primary school

| වරෙක ඇගේ පන්තියේ සිටි එකම සිසුවිය වූයේ සලීමා ය

මෙය අසාමාන්‍ය විය. සලීමාගේ තුර්ක්මාන් ප්‍රජාව ප්‍රසිද්ධියට පත්ව සිටියේ ඔවුන්ගේ කලාල විවීමේ හැකියාවට යි. දැරියන්ගෙන් බහුතරය පාසැල් නොගිය අතර, සලීමා පවසන පරිදි පිරිමි දරුවන්ගෙන් ද පිරිසක් පාසැලෙන් අස්කරවාගෙන කලාල විවීමේ ව්‍යාපාරය සඳහා සහභාගීකර ගැනුණි.

ඇය තෙවස් වියට එළඹෙද්දී ඇගේ දෙමාපියෝ කඳවුර හැරදාගොස්, ඉස්ලාමාබාද් නුවරින් කිලෝමීටර 80ක් පමණ උතුරට වන්නට පිහිටි අටොක් නගරයේ ගෙයක් කුලියට ගත්හ. ඇය සරණාගත පාසලක අට වසර දක්වා ඉගෙනුම ලැබූ අතර පසුව ප්‍රදේශයේ පාසලකට ඇතුළත් වූවාය.

"එතකොට තමයි මට තේරුම් යන්න ගත්තේ මට අනිත් අයට ලැබෙන අවස්ථා ලැබෙන එකක් නෑ කියලා. සරණාගතයෝ වෙනුවෙන් තියෙන පටිපාටි, ක්‍රියා මාර්ග ගොඩක් වෙනස්."

An Afghan refugee woman and her daughter make carpet at her home in a refugee camp in Peshawar

| තුර්ක්මාන් සරණාගත ප්‍රජාව තුළ අධ්‍යාපනය ප්‍රමුඛතාවක් ලෙස නොසැලකේ

අවස්ථාවන් ස්වල්පයක් පමණයි

එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය, UNHCR, පවසන පරිදි සරණාගතයින් පස්දෙනෙකුගෙන් දෙදෙනෙකුම දරුවන්.

ඒජන්සිය 2018 දී නිකුත්කළ වාර්තාවක් හරහා දක්වා සිටින්නේ සරණාගත දරුවන්ගෙන් අඩකටත් වැඩි පිරිසක් පාසැල් නොයන අතර, ඔවුන්ගෙන් උසස් අධ්‍යාපනය ලබන්නේ 3%ක පිරිසක් පමණක්බව යි.

මේ සියල්ල සලීමාගේ පරහට සිටිනබවක් පෙනෙන්නට විය. ඇය විසූ පන්ජාබ් ප්‍රාන්තය සරණාගතයින් සඳහා වෙන්කර ඇත්තේ වෛද්‍ය විද්‍යාලයේ එක් අසුනක් පමණක්බැව් දැනගත් විට ඇය මහත් කම්පාවට පත්වූවා ය.

"මට එහෙම්මම ඇඬුණා. මට හිතුනා මට ඒ සීට් එක හම්බෙන එකක් නෑ කියලා. මගේ පොඩිම මල්ලි - එතකොට එයාට වයස අවුරුදු අට යි - එයා මට කිව්වා අඬන්න එපා, එයා මට කඩෙන් පුටුවක් ගෙනැල්ලා දෙන්නම්, මට ඒක අරන් මෙඩිකල් කොලේජ් යන්න පුළුවන් කියලා."

Top 5 countries hosting refugees

වෛද්‍යවරියක්!

සලීමා කුඩාකල පටන්ම අනෙකුත් සරණාගත කාන්තාවන් සමග සායන සහ රෝහල් වෙත ගොස්, ඔවුනට ප්‍රදේශයේ භාෂාව වූ උර්දුවෙන් කියනා දේ පරිවර්තනයකර දී ඇත. ඔවුන් ඇයට 'ඩොක්ටර් සලීමා'යි ඇමතූ අතර, එම තනතුර සැබැවින්ම දිනාගන්නේයැ යි ඇය අධිෂ්ඨානකර ගත්තා ය.

සිය සරණාගත තත්ත්වය තහවුරු කිරීම සඳහා වසර දෙකක් වෙහෙසවූ සලීමා රාවල්පිණ්ඩිහි වෛද්‍ය විද්‍යාලයයක ස්ථානයක් හිමිකර ගැනීමට සමත්වූවා ය.

"මට ඇඩ්මිෂන් හම්බුණාම පුදුම සතුටක් දැනුණේ. මට හිතුණා මගේ හීනෙ හැබෑවුණා, මගේ අම්මා තාත්තගේ හීනෙත් දිනුවා කියලා."

2014 දී ඇය සිය උපාධිය සම්පූර්ණ කළා ය. නමුත් පාකිස්ථානයේ නීති විසින් ඇය වෛද්‍යවරියක ලෙස සේවය කිරීම වළකණු ලැබීය.

සලීමා බලධාරීන් වෙත පෙත්සමක් ඉදිරිපත් කළ ද අසාර්ථකවූවා ය. නමුත් 2017 දී ඇය නාරිවේදය පිළිබඳ වසර සතරක විශේෂ උපාධියක් හැදෑරීමට ලියාපදිංචිවූවා ය - ඒ ද, සරණාගතයින් සඳහා ලබාදුන් එකම අසුන හිමිකර ගනිමිනි. උපාධිය අතරතුරේ පුහුණුවීම් කටයුතු සඳහා ඇය රාවල්පිණ්ඩිහි හෝලි ෆැමිලි රෝහලට අනියුක්ත කෙරිණි.

"මම දොස්තරලා පස්දෙනෙක් එක්ක වැඩකළා. කාර්යබහුල දවස්වල අපි සමහර වෙලාවට අපේ වෝඩ් එකේ බබාලා පනස්දෙනෙක්ව විතර ඩිලිවරි කරන එක බලාගත්තා."

69% of refugees came from five countries in 2021

කොවිඩ් හා සටන

කොවිඩ් වසංගතය ඇරඹුණු සමයේ සලීමා සිටියේ රාවල්පිණ්ඩි නුවර ය. ඇය ඇටොක්හි විසූ සිය ප්‍රජාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් තැවුණා ය.

"බරපතල විදියට අසනීප නම් මිස ගෑණු අයට ඉස්පිරිතාලේ යන්න ක්‍රමයක් තිබුණේ නැහැ. හුඟක් දරු උපත් සිද්ධවුණේ ඉස්පිරිතාලෙක දී නෙවෙයි."

ප්‍රාදේශීය ලොක්ඩවුන් හා සීමා කිරීම් විසින් ඇය සරණාගත කඳවුරුවලට පිවිසීම වැළැක්වුණි. එනිසා සලීමා දුරකථනය හරහා උපදෙස ලබාදීම ඇරඹුවා ය.

වෛද්‍ය ප්‍රතිකාර අවැසි කතුන් නොසලකා නොහැරෙන වග තහවුරු කිරීම සඳහා ඇය ප්‍රජාවේ වැඩිහිටියන් හා සාකච්ඡා කළා ය.

පළමු රෝගියා

මේ අතරේ, ඇගේ කතාව UNHCRහි අවධානයට ලක්විය. ඇයට වෛද්‍යවරියක ලෙස සේවය කිරීමට අවසර ලබාදෙන තැනට ඔවුහු බලධාරීන් පෙළඹවූහ. 2021 දී සිය අධ්‍යාපනය සම්පූර්ණ කළ ඇය අනතුරුව ඇටොක්හි සායනයක් විවෘත කළා ය.

Saleema checking the blood pressure of a woman

| සලීමා පවසන්නේ තම ප්‍රජාවේ කාන්තාවන්ට ප්‍රතිකාර කිරීමට ලැබීම ගැන තමා ඉමහත් සතුටට පත්වනබව යි

"මගේ පළවෙනි රෝගියා තමයි මගේ අත්තම්මා. එයා ආවා එයාගේ ප්‍රෙෂර් බලාගන්න. එයා මම ගැන හරියට ආඩම්බර වෙලා හිටියේ.

"මට ඕනේ සරණාගතයින්ට සේවය කරන්න. මම එයාලා විඳින දුක් කම්කටොළු දැකලා තියෙනවා. මට දැනෙනවා එයාලට මාව ඕනේ කියලා."

සැත්කම් සහ සංකීර්ණ වෛද්‍යමය ක්‍රියාවලීන් සඳහා අවශ්‍ය උපකරණ ඇගේ පුද්ගලික සායනය තුළ නැත.

"අවුරුද්දකට වැඩි කාලයක් ඇතුළේ මගේ සහයෙන් බබාලා 20 දෙනෙක් විතර ඩිලිවර් කරලා තියෙනවා. ඒ ඔක්කොම ස්වභාවික උපත්."

සලීමා විශේෂඥ වෛද්‍යවරයෙකුගේ කාර්යයභාරය ඉටු නොකරයි. ඇයට තවමත් රජයේ රැකියාවන්ට ඉල්ලුම් කිරීම තහනම් ය. ඇයට පුද්ගලික රෝහලක සේවය කිරීමට අවැසි නම්, ඇයට ඇගේ ප්‍රජාව හැරදා විශාල නගරයකට සංක්‍රමණයවීමට සිදුවේ.

හද කම්පා කරවන අත්දැකීම්

වෙනත් සරණාගත කාන්තාවන්ට උපකාර කිරීමට තමා සතු හැකියාවෙන් සලීමා සැනසීමක් ලබන්නී ය. වෙනත් නගරවල වෙසෙන තුර්ක්මාන් කාන්තාවන් ද ඇගේ උපකාරය පතයි. ඇතැම්විට ඇයට ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ගෙන් පවා ඇමතුම් ලැබේ.

තාලිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානය යළි අත්පත්කර ගැනීමෙන් පසු නව සරණාගත රැල්ලක් පාකිස්තානය වෙත ඇදෙනු සලීමා දුටුවා ය.

"ඇෆ්ගන් කාන්තාවන්ට ගොඩකලක් තිස්සේ මූලික අයිතීන්වත් ලැබුණේ නැහැ... දැන් තත්ත්වේ තවත් නරක අතට හැරිලා. ඒක දැක්කම හදවත කම්පා වෙනවා."

සිය ප්‍රජාවේ කාන්තාවන් දෙදෙනෙකුට වෛද්‍ය විද්‍යාලයයේ සිව්වැනි වසරේ දී අධ්‍යාපන කටයුතු හැරයාමට සිදුවූබව දැනගත් විට ඇය විශේෂයෙන්ම අසතුටට පත්වූවා ය. සලීමා ඔවුනට පවසන්නේ සිහින අත්නොහැර, වෛද්‍ය අධ්‍යාපනය නැවතත් මුලසිටම ආරම්භ කරන ලෙස යි. පාකිස්තානයේ නීතිරීතිවලට අනුව එසේ සිදුකළ යුතු ය.

"ඉගෙනගන්න, රස්සාවක් හොයාගන්න, තමන්ට ඕනේ දේ කරන්න කාන්තාවන්ට ඉඩක් තියෙන්න ඕනේ."

ඇෆ්ගන් සරණාගතයින් මිලියන 1.4ක් පාකිස්තානයේ ලියාපදිංචිව සිටියි. ඉන් තුනෙන් දෙකොටසක පිරිසක් වයස අවු. 25ට අඩු තැනැත්තන්බව UNHCR පවසයි.

'ලෝකේ උදව් කරන්න ඕනේ'

සරණාගතයින් සංඛ්‍යාව වැඩිවීම යනු තරගය වැඩිවීම යි. සරණාගතයින් සඳහා අතිරේක සම්පත් වෙන්කෙරුමට දුප්පත් රටවලට නොහැකියැ යි සලීමා ප්‍රකාශ කරන්නී ය.

Saleem with her dad

| සලීමාගේ පියා ඇයට සිය පූර්ණ සහායෝගය ලබාදුන් අතර, 2021 දී එක්සත් ජාතීන්ගේ නැන්සන් සරණාගත සම්මානය ඇයට ලැබුණු විට මහත් ආඩම්බරයට පත්විය

"ඔවුන්ගේම රටවැසියන්ට ඇති අවස්ථාවන් පවා සීමාසහිත යි. මම හිතන්නේ එක්සත් ජාතීනුත්, අනෙක් අයත් සරණාගතයින් බාරගන්නා පාකිස්තානය වගේ රටවලට උදව් කරන්න ඕනේ, එතකොට යි අවස්ථාවන් වැඩිකරගන්න පුළුවන් වෙන්නේ."

බොහෝ යුරෝපීය රටවල් දැන් යුක්රේන සරණාගතයින්ට සක්‍රීයව සහාය දෙතත්, වෙනත් රටවල සිට සරණාගතභාවය පතන්නන්ට ඔවුන් දක්වන ප්‍රවේශය ඊට අසමාන ය.

මෑතක දී සිරියානු යුද්ධය විසින් අවුලවන ලද සරණාගත අර්බුදයේ උච්චතම අවස්ථාවේ දී ජර්මනිය සරණාගතයින් මිලියනයකට වැඩි පිරිසක් බාරගනු ලැබුණි. නමුත් දැන් කිසිදු සංවර්ධිත රටක් එවැනි ආකාරයේ උනන්දුවක් නොදක්වයි.

උදාහරණයක් ලෙස, එක්සත් රාජධානිය සරණාගතයින් පිරිසකගේ අයදුම්පත් සලකා බැලීමේ ක්‍රියාවලිය සඳහා ඔවුන් රුවන්ඩාව කරා පිටත්කර යැවීමට තැත් කළේ ය. එනමුත්, නීතිමය බාධාවන් බ්‍රිතාන්‍ය රජයේ එවැනි ප්‍රයත්නයන් හරස්කර සිටියි.

පාකිස්තානය වැනි බොහෝ රටවල දශක ගණනාවක් තිස්සේ සරණාගතයෙකු ලෙස වාසය කළ හැකිමුත්, පුරවැසිභාවය ලැබීමේ ඉඩකඩ ඉතා අල්ප ය.

'මගෙ හිතේ කහටක් නැහැ'

ඇගේ දෙමාපියන් මෙන්ම සලීමා ද තවමත් සරණාගතයෙකි. ඇය කිසිදු වෙනසක් වෙතැ යි අපේක්ෂා නොකරයි.

'මම දැන් දන්නවා මේ දේවල් වඩාත් හොඳ අතට හැරෙන්න ඕනේ කියලා, නමුත් ඒ ගැන මගෙ හිතේ කහටක් නැහැ. මට අනිත් මිනිස්සුන්ගෙන් වෙනස්කම් වුණේ නැහැ. අපට අවස්ථා ලැබීමෙන් වළක්වන්නේ පවතින නීති මඟිනුයි."

ඇය පසුගිය වසරේ දී UNHCR සම්මානය ලැබීමෙන් පසු බොහෝ ළාබාල සරණාගත ශිෂ්‍යශිෂ්‍යාවෝ ඇගේ උපදෙස් පතා ඇය සම්බන්ධකර ගත්තෝ ය.

ඇගේ ප්‍රජාවේ ජනයා අධ්‍යාපනය කෙරෙහි වැඩි වැඩියෙන් ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ඇය සතුටට පත්ව සිටියි. අවම වශයෙන් කාන්තාවෝ දෙදෙනෙක් මේ වන විට පාකිස්තානයේ දී වෛද්‍ය විද්‍යාව හදාරමින් සිටිති.

සලීමාට වෛද්‍ය විද්‍යාලයට යෑමට පුටුවක් මිළට ගෙන දීමට තැත්කළ බාල සොයුරා මේ වන විට කිර්ගිස්තානයේ දී වෛද්‍ය විද්‍යාව හදාරමින් සිටියි.

"එයා දැක්කා මම මහන්සිවෙලා මගේ හීනවලට යන්න හදනවා. එයා මගේ අඩිපාරේ යන්න තීරණය කළා. හැම පවුලකම ගෑණු දොස්තරකෙනෙකුයි පිරිමි දොස්තරකෙනෙකුයි ඉන්න ඕනේ කියලා එයා කියනවා."

(bbc/sandeshya)