ඕමානයට යැවූ තවත් තරුණියන් 18කට අතවර

ඕමානයට යැවූ තවත් තරුණියන් 18කට අතවර

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවත්වාගෙන යන සුරක්ෂා නිවස්නයේ සිටි තවත් ශ්‍රී ලාංකික කතුන් 18 දෙනකු මිනිස් ජාවාරමට හසුවී තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබේ.

ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් පවත්වාගෙන යන සුරක්ෂා නිවස්නයේ සිටින මෙරට කතුන්ගෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා පසුගිය 10 වැනිදා තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඕමානය බලා පිටව ගොස් තිබිණි.

පසුගිය 18 වැනිදා දක්වා රැඳී සිටි නිලධාරීන් කණ්ඩායම කාන්තාවන් 41 දෙනකුගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන ඇති අතර ඉන් 18 දෙනකු මිනිස් ජාවාරමට හසුව ඇති බව ප්‍රකාශවලින් හෙළිකරගෙන ඇත.

අදාළ කාන්තාවන් 18 දෙනා අතර සිටින අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණියක් තමන් ඩුබායිහි සිට පැමිණෙන අතරතුරදී 20 හැවිරිදි තරුණයකු තමන්ට ලිංගික අතවර සිදුකළ බව පවසා තිබේ. එමෙන්ම දෙමටගොඩ පදිංචි තවත් තරුණියන් දෙදෙනකු ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු විසින් හෝටලයකට රැගෙන ගොස් පැණි බීම වර්ගයක් බව පවසා මත්පැන් පානය කිරීමට සලස්වා අතවර කිරීමට උත්සාහ කළ බවටද ප්‍රකාශ ලබාදී තිබේ.

ත්‍රිකුණාමලය කුච්චිවේලී ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණියක් තමන් සේවය කළ නිවසේ සිටි තරුණයන් තිදෙනකු තමන්ට මත්වීමට යම්කිසි දෙයක් ආහාරයට ලබාදී අතවර කිරීමට උත්සාහ කළ බවත් ඒ අතර අන්ධ තරුණයකු ද සිට ඇති බවත් පාපොච්චාරණය කර ඇත.

එම තරුණයන් තිදෙනා අදාළ තරුණියගේ කාමරය තුළ කැමරා සවිකර අදාළ කාන්තාවට අතවර කර එම දර්ශන අන්තර් ජාලයට දැමීමට උත්සාහ කර ඇතැයිද විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත.

එමෙන්ම ගෘහ රැකියා සඳහා බව පවසා යැවූ ඇතැම් තරුණියන්ට එළුවන් සහ කුකුළන් බලාගැනීමට සිදුව ඇති බවද හෙළිවී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් වෙළෙඳාම්, ජාවාරම් හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩාගේ උපදෙස් පරිදි ඕමානය බලා ගිය විමර්ශන කණ්ඩායම අතවරයට ලක්ව සිටින මෙම කාන්තාවන් මෙරට පිහිටි විදේශ රැකියා ආයතන 5ක් විසින් විදෙස්ගත කර තිබෙන බවද අනාවරණය කරගෙන ඇත.

මේ අතර කාන්තාවන් 20කට පමණ රැඳී සිටීමට ඉඩ පහසුකම් ඇති ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් පවත්වාගෙන යන සුරක්ෂා නිවස්නයේ මේවන විට කාන්තාවන් 100කට අධික පිරිසක් රැඳී සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන්ට හරිහැටි අයුරින් ඕමාන භාෂාව හැසිරවීමට නොහැකි වීම නිසා අදාළ කාන්තාවන් පිරිසට තවත් ගැටලු රැසකට මුහුණදීමට සිදුව ඇතැයිද වාර්තා වේ. එවන් පසුබිමක පසුගිය 15වැනිදා ඕමාන තානාපති කාර්යලයේ භික්ෂූන් වහන්සේ දස නමක් පමණ වැඩමවා පිරිතක් ද පවත්වා ඇති අතර ඊට රුපියල් ලක්ෂ පනහක පමණ මුදලක් වැයවී ඇත.

එම මුදලින් එරට රැඳී සිටින කාන්තාවන් 30 දෙනකු පමණ මෙරටට රැගෙන ඒමට හැකියාව පවතී.

(aruna)