වැඩි කල් යන්නට මත්තෙන් මගේ තෙවැනි රැකියාව පිළිබඳව කණන් කොණින් ආරංචි ගලා එන්නට විය. අයෙක් කීවෙ එය හෝටලයක රැකියාවක් බවය. ඒ සඳහා සමන් විසින් සේවකයන් පස් දෙනෙකු ආශික් වෙත සපයා දිය යුතු විය. ඒ අනුව මෙතෙක් තොකුතොමියේ සේවය කළ පිරිසෙන් තිදෙනෙකු ඉන් ඉවත් කොට නව රැකියාව සඳහා සූදානම් කෙරින. සමන්ත සහ මම ඇතුළු පස් දෙනෙකුගේ ගුවන් ගමන් බලපත්‍රවල ජායා පිටපත් සමන් විසින් ආශික් වෙත යවන ලද බව ආරංචි විය. නමුත් මේ වෙනතුරුත් රැකියා වීසා පිළිබඳව කිසිදු තොරතුරක් කිසිවෙකු වෙත නොවීය.
වර්ෂ 2013 සැප්තම්බර 14 වන සෙනසුරාදා දින,
අපි පස්දෙනා නැවත්තත් ආශික්ගේ ප්‍රාඩෝ රථයෙන් ගමන් කළෙමු. මෙවර අපේ නවාතැන වූයේ ඉපො නගරයි. පළමුව ඔවුන් අපව අපගේ නවාතැන වෙත රැගෙන යන ලදි.
එය නගරයේ වූ දෙමහල් ගොඩ නැගිල්ලකි. පහළ මහලේ වූයේ වෙළඳසැළකි. වෙළඳසැළ අයිනෙන් වූ පඩි පෙලක් ඔස්සෙ ඉහළට නැගුන පසු, දෙවන මහලේ වූ කාමර කීපයකින් එකක් අප පස් දෙනා වෙනුවෙන් වෙන් කොට තිබිණ. එය වැසිකිලියකින් හා නාන කමරයකින් යුතු තරමක් විශාල කාමරයකි. ගමන්මලු කාමරයේ තබා දෙවනුව අපව ප්‍රාඩෝ රථයෙන් අපේ නව සේවාස්ථානය වෙත රැගෙන යන ලදි. ඒ අතරතුර ආපසු ඒමට පාර මතක තබාගන්නා ලෙස සමන් දැනුම් දුන්නේය. අපි ඉතා ඉක්මනින් නවාතැනේ සිට අවන්හල වෙත වාහනයෙන් ලඟා වුනෙමු. පා ගමනින් ගමන් ගන්නා විට එම දුර විනාඩි පහළොවට විස්සකට වඩා වැඩි නොවනු ඇතැයි මම අනුමාන කළෙමි.
එය නවීන පන්නයේ චීන අවන්හලක් විය. එහි චීන, මැලේ සහ ද්‍රවිඩ පිරිස විසි දෙනෙකු පමණ සේවය කලහ. හාත් පස ඉතා අලංකාර ලෙස සකසා තිබූ එහි මිල අධික ආහාර විකිණෙන බව සිතා ගත හැකි විය.
ආශික්ගේ රියදුරා එහි කළමනාකරු වෙත අපව රැගෙනයන ලදි. ඉක්බිතිව මැලේ ජාතික කළමනාකරු වැඩි කතාබහකින් තොරව ඔහුගේ දෙවෙනියෙකු වෙත අප යොමු කරන ළදි. හෙතෙම අකාරුණික පෙනුමැති ද්‍රවිඩ ජාතික තරුණයෙක් විය.
ඒ වන විට අමුත්තන් සඳහා විවෘත කොට නොතිබූ අවන්හලේ මේසයක් කරා රැගෙන ගිය අපව මේසය වටා හිට ගන්නට සලස්වා ඔහු පුටුවකට බර විය. ඔහුගේ පළමු ප්‍රශ්නය වූයේ අප පිරිසෙන් කොපමණ දෙනෙකුට ඉංග්‍රීසි භාෂාව හැසිරවිය හැකිද යන්න. මා හැරුණු කොට තව එකකෙකුට ඉංග්‍රීසි භාෂාව යාන්තමට ගලපා ගන්න්නට හැකි විය. අපි ඉදිරිපත් වුණෙමු. ඉන්පසු ඔහු හැදි ගෑරුප්පු භාවිතා කරන ආකාරය, මේසයක් මත ඒවා අමුත්තන් සඳහා පිළිවෙළකට තබන ආකාරය ගැන විස්තර කළේය. ඔහු ඉංග්‍රීසියෙන් සිදුකළ විස්තරය සිංහලට පරිවර්තනය කොට අපේ පිරිසට පහදා දීම මට පැවරිණි. මිනිත්තු තිහක් පමණ වූ ඒ දේශනය අවසන් වූ පසු අපව අවන්හලේ තැන තැන ස්ථාන ගත කරන ලදි. අපේ රාජකාරිය වූයේ අමුත්තන් ආහාර ගෙන අවසන් වූ පසු ඉඳුල් භාජන එකතු කොට භාජන සෝදන කවුළුව වෙත රැගෙන ගොස් බාර දීමයි. තවකෙක් එසේ සෝදා දෙනු ලබන පිඟන් ආදිය රෙදි කැබැල්ලකින් පිසදමා වේටර්වරුන් වෙත නැවත රැගෙන යා යුතු විය. තවත් භාජන තොගයක් කෝකියන් වෙත ලබා දිය යුතු විය.
දිනපතා උදෑසන දහයට අවන්හල අමුත්තන් සඳහා විවෘත කෙරෙයි. එසේ අමුත්තන් පැමිණිමට ප්‍රථමව ගොඩනැගිල්ලේ වීදුරු ජනේල, මේස පුටු, දුම් බොන්නන් සඳහා වූ අළු බඳුන්, වැසිකිලි ආදිය සෝදා, පිරිසිදු කොට, හොඳින් පිසදමා තැබිය යුතු විය. හැදි ගෑරුප්පු පිළිවෙලට මේස මත ඇසිරිය යුතු විය. ඒ රාජකාරි පැවරුණේ අප වෙතය. එහෙයින් අපි දිනපතා පෙරවරු අටයි තිහ වනවිට අවන්හල වෙත වාර්තා කළ යුතු විය.
පෙරවරු දහය පසුවූ පසු එකා දෙදෙනා බැගින් අමුත්තන් අවන්හලට ඇතුලුවෙයි. මුල් පැය කීපය වෙහෙසකින් තොරව රාජකාරි කළෙමු. මධ්‍යහනය පසුවන විට අවන්හලේ සෑම පුටුවක් මේසයක්ම පාහේ අමුත්තන්ගෙන් පිරී යයි. එක මේසයක් හිස් වෙන විට තවත් පිරිසක් එහි වාඩි ගනී.
එලෙස සවස තුන පසුවන තුරුම අවන්හල අමුත්තන්ගෙන් පිරී පවතියි. දවසේ ඉතා කාර්යබහුල වේලාව එයයි. සියලුදෙනා එහා මෙහා දිව යමින් තම සේවය කාර්යක්ෂමව ඉටු කළ යුතු විය.
එම අවන්හල තුළ ගතකළ පළමු දවස අපි සියලුදෙනාට අභියෝගාත්මක විය. අපි බොහෝ වෙහෙසට පත් වුනෙමු. අපේ එකෙකු අතින් එකවර පිඟන් කිහිපයක් බිම වැටී කුඩු පට්ටම්ව ගියේය. ඒ සඳහා ඔහුගේ වැටුපෙන් මුදල් අය අකරන බව කළමණාකරු මා වෙත දැන්වීය. අපි වඩා සැලකිල්ලෙන් කටයුතු කළෙමු.
සන්ධ්‍යාව ද තරමක් කාර්යබහුල වූ මුත් දිවා කල මෙන් කලබලකාරී නොවීය. රාත්‍රී දහයට අවන්හල වසා දැමේ. ඉක්බිති ගෙවෙන පැය වෙන්කෙරෙන්නේ ශුද්ධ පවීත්‍ර කිරීම් සඳහාය. පළමු දිනයේ අදාල උපකරණ හා පොළොව ශුද්ධ පවිත්‍ර කරන ආකාරය පිළිබඳව අපව දැනුවත් කරන ළදි. අලුතින් පැමිණි විදේශිකයන් වූ අප වෙත එම රාජකාරිය පවරා දේශීය සේවකයෝ ඉදිරිපසට වී දුම් ඉරූහ.
අපේ සේවා කාලය පෙරවරු අටයි තිහේ සිට රාත්‍රි එකොළහ දක්වා වූ දිගු වූ එකකි. එය පැය පහළොවකට ආසන්න දෛනික සේවා මුරයක් විය. නමුත් එළෙස සේවය කිරීමට සිදුවූයේ විදේශීය කම්කරුවන් වූ අපට පමණි. දේශීය සේවකයෝ සේවා මුර දෙකක් යටතේ පැය අටක් පමණක් බැගින් සේවය කළහ. උදෑසන සේවා මුරයේ රාජකාරී කළ පිරිස, පස්වරු සේවා මුරයේ පිරිස් සේවයට වාර්තා කළ පසු ඔවුන්ට රාජකාරී පවරා සේවය නිම කොට ආයතනයෙන් පිටවී ගියහ. විදේශිකයන් වූ පමණින් අපට ඒ වරප්‍රසාදය අහිම තිබුණේය. ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමට අපට හැකියාවක් නොවීය. ශෝකදායක කරුණ වුයේ ඉතා දිගු පැය ගණනක් දෛනිකව සේවය කළද, අප ලැබුවේ අඩු පැය ගණනක් සේවය කළ ස්වදේශික සේවකයන් ලැබූ වැටුපෙන් තුනෙන් එකක් පමණ වූ අඩු වැටුපකි. ස්වදේශික සේවකයෝ ඇතැම් විට ඔවුන්ට පැවරුණු ඇතැම් දුෂ්කර රාජකාරි පවා අප වෙත පවරා ඇඟ බේරා ගත්හ.
වඩාත්ම අභියෝගාත්මක කාරණය වූයේ නවාතැන්පොළේ සිට අවන්හලට පැමිණීම සහ සේවය අහවර වී නැවත නවාතැන්පොළ වෙත ගමන් කිරීමයි. විශේෂයෙන් පොලිසියේ ඇස නොගැටී ගමන් කිරීමට අපි වගබලා ගත යුතු වීමු. අපි කිසි විටෙක කණ්ඩායමක් ලෙස එකට ගමන් නොකළෙමු. එළිමහනේ ගමන් කරන විට අපි එකා දෙන්නා බැගින් වෙන් වෙන් වශයෙන් ගමන් කළෙමු. එමගින් කිසිවෙකුගේ විශේෂ අවධානයකට යොමු නොවීමට අපට හැකි විය. දහවල් කාලයේදී මාර්ගය පදිකයන්ගෙන් හා වාහන වලින් පිරී ඇති බැවින් ඔවුන් අතර මුවා වෙමින් පහසුවෙන් ගමන් කිරීමට අපට හැකිවිය. නමුත් රාත්‍රිය ඇත්තටම අභියෝගාත්මක විය. අපි සේවය නිමා කොට නැවත නවාතැන්පොළ බලා පිටත්ව යන්නෙ දෛනිකව මධ්‍යම රාත්‍රියට ආසන්න විටදීය. ඒ වෙලෙහි මං මාවත් පදිකයන්ගෙන් සහ වාහන වළින් තොරය. කලාතුරකින් ඉඳ හිට යන එන වාහනයක් දෙකක් හැරෙන්නට මූසළ අන්ධකාරය තුළ මං මාවත් ගිලී තිබුනේය. ඒ සොරුන් ගේ හෝරාවයි. විදේශිකයන් දඩයම් කිරීම මැලේසියාවෙ සොරුන්ට පහසු ගොදුරකි. යතුරුපැදි වළ නැගී මාවත් පුරා සරණ මැලේසියානු මදාවියෝ, අතරමග මුණගැසෙන විදේශීය පුද්ගලයන්ගේ ඇඳී වත පවා පැහැරගන්නට පසුබට නොවූහ. විදේශිකයන් පමණක් නොව තනි මග යන ස්වදේශිකයන් පවා ඔවුන්ගේ මංකොල්ලකෑම් වළට ලක්වූහ. සොරුන් ඇරෙන්නට ගණිකාවන් හා විකෘති ලිංගිකයන් ද මහ මඟ රැඳෙමින් දඩයම් සොයන වේලාව එය විය. ඔවුහූ අඳුරු ලිය ගොමු තුළ සැඟවී සිට කවුරුන් හෝ ඩැහැගනිති. පැමිණිය හැකි ඒ ආකාර වූ නොයෙක් අතුරු ආන්තරා මැද මැලේසියානු පොලීසිය ඉදිරියට මුණගැසුනහොත් පලා යන්නට සූදානම්ව ගමන් කළ යුතුද විය. මේ සියල්ලගෙන් බේරී රාත්‍රියේ මැලෙසියාවේ මහ මග ගමන් කිරීම විදේශිකයෙකුට අතිශය අන්තරාකාරී විය. විශේෂයෙන් නීතිවිරෝධී සංක්‍රමණිකයන් වූ පිරිස් හට එම අවධානම සාමාන්‍ය පුද්ගලයකුට වඩා දහ පහළොස් ගුණයකින් ඉහළ විය. නමුත් අපිට ඒ අභියෝගයෙන් මිදී පලා යාමට මගක් නොවීය. අපි එයට මුහුණ දිය යුතු විය. මුල් දින කීපය භීතියෙන් හා ත්‍රාසයෙන් යුතුව අපි ඒ අත්දැකීමට මුහුණ දුන්නෙමු.
දිනෙක මම මගේ තවත් මිතුරෙකු සමග සේවය නිමාකොට නවාතැන්පොළ වෙත අඳුරේ නිහඬව ගමන් කරමින් සිටියෙමි. එය මධ්‍යම රාත්‍රියට ලංවූ වෙලාවක් විය. ඒ වන විට අපි අපේ ගමනෙ හරි අඩක් දුර ගෙවා දමා සිටියෙමු. එතැන දී අඩි පණහක් පමණ දිගු වූ පාලමක් හරහා අපට ගමන් කළ යුතු විය. අපි පාලමේ ද මැද හරියට පැමිණ සිටියෙමු. අදිසියේම අපට ඉදිරියෙන් වූ පාලමෙ අනෙක් කෙළවරින් මතුව පොලිස් නිල රථයක් ඉතා සෙමින් අප දෙසට ධාවනය වන්නට විය. අපට කර කියා ගත හැකි කිසිවක් නොවීය. ඒ මම මැලේසියානු පොලීසිය සමග මුහුණට මුහුණ මුණ ගැසුණ ප්‍රථම වතාවයි. මා මෙන්ම මගේ සගයා බොහෝ සේ තැති ගැනීමට ලක්ව සිටියේය. මම මා තුළ වූ ත්‍රාසය පාලනය කරගනිමින් ස්ථානොචිත උපක්‍රමයක් කෙරෙහි යොමු වුනෙමි. මා සමඟ සිටි සගයා අස්වාසලමින් ඔහුට උපදෙස් දුන්නේ ශරීර ඉරියවු ඉතා සාමාන්‍ය ලෙස පවත්වා ගන්නා ලෙසයි. මම අත පය විසි කරමින් මගේ මිතුරා සමඟ බරපතළ කතාවකට වැටී සිටින බව අඟවමින් චකිතයක් නොපෙන්වා ඉදිරියටම ගමන් කළෙමි. මම මිතුරාට උපදෙස් දුන්නෙ පොලිස් රථය පිළිබඳව කිසිදු අවධානයක් නොපෙන්වා සැහැල්ලුවෙන් ඇවිද යන ලෙසයි. අවසානයේ පොලිස් රිය පැමිණි වේගයෙන්ම සෙමින් අප පසු කොට පාලම ඔස්සේ පහළට ඇදී ගියේය. අපි කිසිදු අතවරකින් තොරව අපේ ගමනාන්තය කරා ලඟා වුනෙමු. නමුත් මැලේසියානු පොලිස් නිළධාරීන් මුහුණට මුණගැසුන එම රාත්‍රීය කිසිදා මතකයෙන් මැකී නොගියේය.
අපිට දිවා ආහාරය අවන්හලෙන් ලබාදුන් අතර එය දෛනිකව අප ගත් එකම ආහාර වේල විය. එබැවින් අපි දිවා ආහාරය බඩ කට පුරා ගත්තෙමු. කල් යත්ම අපි කේක් කෑලි, ඇතැම් අමුත්තන් ආහාරයට නොගත් පාස්ටා, නූඩ්ල්ස් වැනි ආහාර එකතු කොට ඔතා කොහේ හෝ සඟවා තබන්නට පුරුදු වුණෙමු. සේවය අවසන් වූ පසු ඒවා රහසේ රැගෙන ගොස රෑ කෑමට ගත්තෙමු.
අපි සියලුදෙනා “භයියන්” වීමු. දේශීය සේවකයන් අපිට කිසිදා අපේ නම් වළින් ආමන්ත්‍රණය කළේ නැත. ඔවුන්ට අපේ නම් ගම් උවමනා නොවීය. ඔවුන්ට උවමනා වූයේ නිතර නිතර වැසිකිලි කැසිකිලි පිරිසිදු කිරීම, ඉඳුල් භාජන ඉවත් කිරීම, ඒවා සෝදා පිරිසිදු කිරීම, දවසේ මෙහෙයුම් නිමා වූ පසු ආපනශාලාවේ පොළව ඇතුළු සමස්ථ වටා පිටාවම සෝදා පිරිසිදු කිරීම වැනි වැඩ කොටස් අකුරට නීතියට ඉටු කිරීමය. ඔය අතර අපට සිදු වූ අතවර අනන්තය, අප්‍රමාණය. ඉංග්‍රිසි භාෂාව හරි හැටි නොදත්කමින් මගෙ ලාංකික මිතුරෝ බොහෝ විට විහිළුවට තහළුවට, ඔලොක්කුවට ලක්වූහ. සුළු අත් වැරදීම් වළට ශාරීරිකව දඩුවම් ද නො ලැබුණාම නොවේ. බෙල්ලෙන් අල්ලා තල්ලු කිරීම් අපට සුලභ අත්දැකීම් විය. ඒවා අපි ඉවසා සිටියෙමු. වරෙක සේවකයන් අතර සිටි මැලේ ජාතික කොල්ලෙක් පය ඔසවා මා වෙත පහර දෙන්නට තැත් කළේය. අසල සිටි චීන ජාතික තරුණ සේවිකාවක් ඉදිරියට පැන ඔහු වැලැක්වීය. ඔහු පැවසුවේ විනෝදයට එසේ කළ බවය. ඔවුන්ගේ විනෝදය විදේශිකයන් වූ අපි ඉවසා සිටි යුතු වීමු.
අවසානයේ ඒ රැකියාවටත් සමු දෙන්නට අපට සිදු විය. ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය, තම ආයතනය තුළ සේවය කරනු ලබන වලංගු වීසා නොමැති සියලු විදේශිකයන් ඉවත් කරන ලෙස දැනුම් දී තිබිණි. ඒ අනුව අපි පුරා දෙසතියක් සේවය කළ “ප්ලෑන් බී” නම් වූ ඒ චීන අවන්හලට සමු දුන්නෙමු.
ප්ලෑන් බී හී සේවය නතර කළ පසු අපි නැවත්තත් අසීරු තත්වයකට පත්ව සිටියෙමු. තමන් පැමිණ පිරිස කැටුව යන තෙක් නවාතැන්පොළ තුළටම වී රැඳී සිටින ලෙස සමන් දන්වා තිබුණේය. ඒ අනුව අපට නවාතැන්පොළ තුළටම වී ගත කරනවා හැර විකල්පයක් නොවීය. අත ඉතුරුකරගත් මුදලින් අපි බොහෝ විට පාන්, පරාටා වැනි දේ රැගෙන විත් කුස පුරවා ගත්තෙමු.
අනතුරුදායක ආරංචියක් පැතිර යන්නට විය. ඒ මැලේසියානු රජය එරට රැඳී සිටින නීතිවිරෝධී සංක්‍රමණිකයන් ඉලක්ක කොටගෙන දැවැන්ත මෙයුමක් ආරම්භ කිරීමට යන බවයි. රජය නිවේදනය කොට තිබුනේ ආරක්ෂක අංශ සාමාජිකයන් දස දහසකගේ සහභාගිත්වයෙන්, 2013 වර්ෂය අවසන් වන තුරු එම මෙහෙයුම ක්‍රියාත්මක කිරිමට නියමිත බවයි. දින කිහිපයකින් පසුව එළඹෙන ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට මෙහෙයුම ආරම්භ කිරීමට නියමිතව තිබුණේය.
මම නිතර නිතර සමන්ට දුරකතනයෙන් ඇමතුවෙමි. හැකි විගස පැමිණ අපව තමන් සොන්ග් චුන් වෙත රැගෙන යන ලෙස ඉල්ලා සිටීම හැර අප වෙත වෙනත් විකල්පයක් නොවීය. කුලීරථයක් ගෙන නැවත තමන් සොන්ග් චුන් වෙත පිටත්ව යා හැකිව තිබූ නමුත් උද්ගතව තිබූ අනාරක්ෂිත තත්වය හමුවේ අපි එම අවදානම ගැනීමට බිය වීමු.
වර්ෂ 2013 සැප්තම්බර 30 වන සඳුදා දින,
එදින සැන්දෑවේ සමන් අප කැටුව යන්නට පැමිණියේය. පැමිණ සිටි රථයේ සිට ඔහු කෑගෑවේ හැකි විගස ගමන් මලුද ගෙන පහළට පැමිණෙන ලෙසයි. අපි වහ වහා රථයට ගොඩ වුනෙමු. ඔහු පැමිණි මෝටර් රථයේ රියදුරු අසුනට යාබද ඉදිරි අසුනේ ඉන්දියානු ගැහැණියක අත දරුවෙකු සමග හිඳ සිටියාය. අතුරු මාර්ග ඔස්සෙ වේගයෙන් රිය පදවමින් රියදුරා අපව තමන් සොන්ග් චුන් වෙත රැගෙන යන ලදි .
පසුව හෙලි වූයේ රියදුරා සිය බිරිඳ හා අත දරුවා ඉදිරිපස අසුනේ හිඳුවා ගෙන පැමිණ තිබුනේ පොලිසියෙන් ආරක්ෂා වීමෙ උපක්‍රමයක් ලෙස බවයි. අනවසර සංක්‍රමිණිකයන් ප්‍රවාහනය කිරීම මැලේසියාවෙ නීතිය අනුව ඉහළ දඩුවමකට, බොහෝවිට ඉහළ දඩයකට යටත්වන වරදකි. නමුත් ද්‍රවිඩ රියදුරෝ මෙවැනි උපක්‍රම අනුගමනය කරමින් ඉහළ මුදලකට අනවසර සංක්‍රමිණිකයෝ ප්‍රවාහනය කරති. ගැහැනියක හා දරුවෙකු දකින පොලිස් නිළධාරීන් එවැනි වාහන පරීක්ෂාවකින් තොරව අත හරිති. කපටි රියදුරෝ එම වාසියෙන් ඉහළ ලාබ ලබති.
රජය ප්‍රකාශයට පත්කොට තිබූ අයුරින්ම ඒ මහා මෙහෙයුම 2013 ඔක්තෝබර් මස පළමුවන වන දින ආරම්භ විය. මැලේසියානු මාධ්‍ය තුළ එම මෙහෙයුම පිළිබඳව ප්‍රවෘත්ති නිරතුරුවම යාවත්කාලීන කෙරිණ. සමන්ගේ නිවසේ සිටි සියලුදෙනාගේ මුහුණු භීතියෙන් ඇදවී තිබිණි. අප දැන සිටියාට වඩා ආගමන විගමන මෙහෙයුම පිළිබඳව තොරතුරු ඔවුන් සතු විය. තොකුතොමියේ සේවාවන්ද තාවකලිකව නවතා දමා තිබණි. ඒ එහි සේවය කළ අති මහත් බහුතරය නීතිවිරෝධී සංක්‍රමණිකයන් වූ බැවිණි. ආරක්ෂක අංශ වලට හසු වෙතැයි යන බියෙන් පිරිස රැකියාවට යාමෙන් වැළකී සිටියහ.
(ලබන සතියට - අපායේ කතාව -20)
| රසික චන්ද්‍රසේකර
සබැඳි පුවත්
- ආසියාවේ රන්ත්රිකෝණය - (අපායේ කතාව -19)
- මැලේසියාවේ ක්‍රියාත්මක සංක්‍රමණික උගුල් (අපායේ කතාව 18)
-
යූ.එන් වීසා සහ මගේ දෙවන පලා ඒම (අපායේ කතාව - 17)
-
විදේශීය සංක්රමණයන් නීති විරෝධී ලෙස මැලේසියාවේ සිට ඕස්ට්‍රේලියාව වෙත රැගෙන යාම - (අපායේ කතාව 16)
-
MH 370 - (අපායේ කතාව 15)
- මැලේසියාවේ මගේ පළමු රැකියාව (අපායේ කතාව 14)
- පර්ලීස් හි මහා මානුෂීය ඛේදවාචකය - (අපායේ කතාව 13)
- මැලේසියාවේදී මුණ ගැසුණු ලාංකික අමුත්තන් සමග වූ මගේ නව ජීවිතය ගැන කියවමු -අපායේ කතාව 12
- මැලේසියාවේ අග මුල - අපායේ කතාව 11
- සිංගපූරුවට සමු දී මැලේසියාවට පිවිසුනෙමි - - අපායේ කතාව- 10
- “මිනිස් ජාවාරම” විද්‍යාත්මක කියවීම" - අපායේ කතාව- 09
- සිංගප්පූරුව වෙත වූ මගේ දෙවන සංචාරය - අපායේ කතාව - 08
- දිළිඳු රටවල ගැහැණුන්, පිරිමින් සහ කුඩා දරුවන් සිංගපූරුව තුළ අළෙවි වන හැටි - (අපායේ කතාව 07)
- ඒ කේතුමතී පුරයේ වත්-පොහොසත්කම් - (අපායේ කතාව 06)
- සිංගපූරුවේදී අත්විඳි තවත් අමුතු අත්දැකීම් - (අපායේ කතාව 05)
- සිංගප්පූරූවේ ඉතිහාසය - (අපායේ කතාව 04)
- සුපිරි පුරවරයේ අඳුරු කතාන්දර - සිංගප්පූරු සංචාරයේ මතක - (අපායේ කතාව - 03)
- ගොඩබිම් සේදමාවතෙන් සමුගෙන සමූද්‍රීය සේදමාවතේ යාත්‍රා කළ වහලුන්ගේ කතාව (අපායේ කතාව - 02)
- සේද මාවතේ ඉපැරණි වහල් වෙළදාම