කටාර්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් ජනපතිට ආයාචනයක්

කටාර්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් ජනපතිට ආයාචනයක්

කටාර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් යළි මව්බිමට ගෙන්වා ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ කටාර්හි ශ්‍රී ලාංකිකයින් 120000 ක් පමණ යළි මව්බිමට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බව ඔවුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ දැක්වෙයි.

මේවන විට ඒයින් 12000ක් පමණ කටාර්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී ඇති බවත්, ඒ් අතර රැකියාවෙන් ඉවත් කරන ලද පිරිස්, වීසා කල් ඉකුත්වූ පිරිස්, වීසා අවලංගුවූ පිරිස්, ගර්භනී ස්ත්‍රීන්, අවදානම් සහගත සෞඛ්‍ය තත්ත්වයේ පසුවන්නන් ද සිටින බවත් එම ලිපියේ සඳහන්ය.

මීට අමතරව ව්‍යාපාරිකයින්, සංචාරකයින්, පවුල් සංචාර ආදී වශයෙන් කෙටිකාලීන සංචාරයන් සඳහා වීසා ලැබ කටාර් රාජ්‍යයට පැමිණි පිරිස්ද, දැනට රැකියාවෙ නිරතවන නමුත් නිවාඩු කාලය ගත කිරීම සඳහා ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින පිරිස්ද මේ අතර සිටින බව මෙම පිරිස් විසින් අනාවරණය කර තිබේ.

මෙම පිරිස් වලට අමතරව ඇතැම් ලාංකිකයින් මේවන විටත් රෝහල් ගත කර මෙන්ම නවාතැන්පොළවල නිරෝධායනයට ලක් කර ඇති බවත්, මේ අතරින් ඇතැමුන් මිතුරන්ගේ හා ස්වේච්ඡා පරිත්‍යාගශීලින්ගේ සහයෝගයෙන් ස්වකීය ආර්ථික අපහසුතා අවම මට්ටමින් සපුරා ගනිමින් දුෂ්කර ජීවිතයක් ගත කරන බවත් ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙයි.

ඉන්දියාව, බංග්ලාදේශය, පිලිපීනය, නේපාලය, වැනි රටවලින් පැමිණ කටාර්හි රැඳී සිටින පිරිස් ආපසු සිය රටවලට ගෙන්වා ගැනීම සඳහා ඒකී රටවලින් දැනටමත් ක්‍රියා මාර්ග ගෙන ඇති බවත්, ඒ අයුරින් තමාවද ගෙන්වා ගැනීමට කටයුතු කරන්නේ නම් ඉතා සුදුසු බවත්, කටාර්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේද පවත්නා යම් යම් අඩුලුහුඬුතා හේතුවෙන් තමන් තවදුරටත් පීඩාවට පත්ව ඇති බවත් ඔවුහු වැඩිදුරටත් ස්වකීය ලිපියෙන් අවධාරණය කර සිටිති.