ඕමානයේ රටවිරුවන්ගෙන් නියම ගැරිල්ලක්: හෝටල් සෙල්ලම කාගෙද?

migrant

ඕමානයේ සේවය කරමින් සිටියදී ශ්‍රී ලංකාවට ඒමට නොහැකිව අතරමංවී සිටි ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට මේ මස 11වැනිදා එහි සිට ශ්‍රී ලංකාවට ඒමට යොදා ඇති ශ්‍රී ලංකන් ගුවන් යානයට හා නිරෝධායනය වෙනුවෙන් ඉතාමත් අසාධාරණ මුදලක් අය කිරීම නිසා ඔවුන් තවත් අසරණ වී ඇතැයි ඕමානයෙන් වාර්තා වේ.

මෙම චාටර්ඩ් ගුවන් ටිකට්පත රියාල් 125 ක් ඇතුලුව PCR හා නිරෝධායනය වෙනුවෙන් එක් අයකු රියාල් 450 ක් ගෙවිය යුතු බව ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය මගින් එහි ලියාපදිංචි වී සිටින ශ්‍රී ලාංකිකයන්ට දන්වා ඇත. මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් දෙලක්ෂ තිස් පන්දහසක් පමණ වේ.

එහි තානාපති කාර්‍යාලයේ ලියාපදිoචිව සිටින බොහෝ දෙනා ගෘහ සේවයේ, රියදුරු සේවයේ යෙදුනු අය වෙති. ඔවුන් සාමාන්‍යයෙන් මසකට රියාල් 125 ක් (රුපියල් 60,000/=) පමණ වේතනයක් ගන්නා අය වන අතර මෙලෙස අය කරන්නේ ඔවුන් එහි ලැබූ මාසික වේතනය මෙන් හතර ගුණයකි.

මේ වන විටත් රැකියා නොමැතිව මාස ගණනක් මුළුල්ලේ එහි රැඳී සිටින මොවුන් අත ඇත්තේ යම්තම් ගුවන් ප්‍රවේශ පත්‍රය සඳහා සාමාන්‍යයෙන් අය කරනු ලබන මුදල පමණි. කොවිඩ් තත්ත්වයට පෙර ඕමානයේ සිට එක් අන්තයකට පමණක් සීමා වූ ගුවන් ප්‍රවේශපත්‍රයක මිල සාමාන්‍යයෙන් පැවැතියේ රියාල් 45ත් 50ත් අතරය. ශ්‍රී ලංකා මුදලින් සාමාන්‍යයෙන් රුපියල් 25,000කට ආසන්න මිලකටය.

තානාපති කාර්‍යාලයේ නිලධාරින්ද මොවුන්ට අමතනුයේ ඉතාමත් අමානුෂික අන්දමින් බවද මේ අතර වාර්තා වේ. මෙම මුදල නොගෙවන්නේ නම් තමන්ට කිසිවක් කළ නොහැකි බවත්, ගුවන් ගමනට එක් කරන්නේ මෙම රියාල් 450 නොමැති නම් මාස ගණනකට පසු සංවිධානය කළ මෙම ගුවන් ගමනට එක් කළ නොහැකි බවත් තානාපති කාර්‍යාලයෙන් මොවුන්ට දන්වා තිබේ. සෞඛ්‍ය නීති ලිහිල් කර තිබියදීත් දින 15 ක නිරෝධායනයක් සඳහා හෝටලයකට දිනකට රුපියල් 7,500/= සිට 12,500/= දක්වා ගෙවීමට සිදුවීම හෙණ ගහන අපරාධයක් බව මෙම ඕමානයේ සිරව සිටින ශ්‍රී ලාංකිකයෝ පවසති.

මෙසේ අසාධාරණ මුදලක් ඕමානයෙන් ලංකාවට පැමිණීමට බලා සිටින පිරිසෙන් අය කිරීමට කටයුතු යොදා ඇත්තේ මේවන විට ඕමානයේ වීසා නොමැතිව සිටින අයට එරටින් පිටවීමට ඕමාන රජය සහන කාලයක්ද ලබා දී තිබියදී බව වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ දී හෙළිවූ හෝටල් සෙල්ලම!

ශ්‍රී ලංකා හෝටල් සංගමයය (THASL) අනුව මධ්‍යම හා ඉහල ප්‍රමාණයේ හෝටල් 240ක් ඇති බවත්, එහෙත් නිරෝධායන කටයුතු කිරීම සඳහා අවසරදී ඇත්තේ ඉන් හෝටල් 32කට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය. ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ හෝටල් කර්මාන්තයට සෘජු හා වක්‍රාකාරයෙන් සම්බන්ධ රැකියාවල යෙදෙන්නන් මිලියනයක් පමණ ඇති බවයි.

කෙසේවුවද, හෝටල් ආරම්භ නොකිරීම නිසා එහි සේවයේ යෙදෙන සේවකයන්ට රජය සමඟ හෝටල් ආයෝජකයන් ඇතිකරගෙන ඇති ගිවිසුමට අනුව එක් සේවකයකුට මාසික වැටුප ලෙස ලැබෙන්නේ රුපියල් 14,500ක් බවද ඔහු හෙළි කළේය. එසේම, ඇතැම් හෝටල් ආයෝජකයන්ට මාස 9ක පමණ කාලයක සිට මෙසේ වැටුප් ගෙවීම නිසා ඔවුට ඉදිරියට එම සේවක වැටුප් ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයත් මතුව ඇති බවද පෙන්වා දුන්නේය.

https://youtu.be/82vJb05530I

මූලාශ්‍රය - ශ්‍රී ලංකා මිරර්