හොර පාරෙන් කටාර් හරහා ප්‍රංශයට යන්න ගිය තරුණිය පොලිස් දැලේ

හොර පාරෙන් කටාර් හරහා ප්‍රංශයට යන්න ගිය තරුණිය පොලිස් දැලේ

කූඨ ලෙස සකස් කළ ප්‍රංශ නේවාසික වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් කටාර් රාජ්‍යය හරහා ප්‍රංශය වෙත පැන යාමට තැත්කළ ශ්‍රී ලාංකික තරුණියක් අත්අඩංගුවට ගෙන තිබේ.

කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

ඇය වව්නියාව ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියකි.

එම කාන්තාව අද (20) අලුයම 3.15ට කටාර් රාජ්‍යයේ දෝහා වෙත පිටත්ව යෑමට නියමිතව තිබූ කටාර් ගුවන් යානයට පිවිසීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

පසුව ඇය විසින් ඉදිරිපත් කළ ප්‍රංශ නේවාසික වීසා බලපත්‍රය පිළිබඳව සැක සිතූ කටාර් ගුවන් සේවා නිලධාරීන් එම ලියකියවිලි ඇය ද සමග වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි.‍

එහිදී එම නිලධාරීන් මෙම තරුණිය ඉදිරිපත් කළ ලියකියවිලි සියල්ල තාක්ෂණික පරීක්ෂාවන්ට ලක්කරන අතරතුර ඇයගෙන් ප්‍රශ්න කිරීම් ද සිදුකර තිබේ.

එහිදී ඇය සතු ප්‍රංශ නේවාසික වීසා බලපත්‍රය ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කර ඇති බවට සනාථ වී තිබේ.

තරුණිය ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන්තොටුපොළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී ඇත.