රුමේනියාවේ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන ලාංකිකයින්ට සුබ ආරංචියක්!

රුමේනියාවේ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන ලාංකිකයින්ට සුබ ආරංචියක්!

විදේශ ලේකම් ජයනාත් කොළඹගේ මහතා සහ රුමේනියාවේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් කෝනල් ෆෙරූටා මහතා අන්තර්ජාලය ඔස්සේ  සම්බන්ධ වෙමින් ද්විපාර්ශ්වික විදේශ අමාත්‍යාංශ උපදේශන පැවැත්වූහ. ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර ප්‍රමුඛතා අංශවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා නව මාර්ග සැලැස්මක් ශ්‍රී  ලංකා-රුමේනියාවේ ද්විපාර්ශ්වික උපදේශනවල තුන් වැනි සැසියේදී හඳුනා ගන්නා ලදී.

ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ලබන වසරේ දී රුමේනියාවේ දී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් ආරම්භ කරන බව  නිවේදනය කළ අතර, 1957 සිට වසර හැට තුනක කාලයක් තුළ පැවති විශිෂ්ට ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් තහවුරු කිරීම සඳහා වන ශ්‍රී ලංකාවේ කැපවීම යළිත් තහවුරු කළේය. කොළඹගේ  මහතා, නව රජයේ ආර්ථික හා සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ දළ විශ්ලේෂණයක් ලබා දුන් අතර, 21 වැනි සියවස නිර්වචනය කර ඇත්තේ දැනුම හා නව්‍යකරණය මගින් බව හඳුනා ගනිමින්, ශ්‍රී  ලංකාව සඳහා ජනතාව කේන්ද්‍ර කරගත් හා දැනුම මත පදනම් වූ නව ආරම්භයක් පිළිබඳ දැක්ම ඉස්මතු කළේය.

ශ්‍රමික අංශයේ සහයෝගීතාව කෙරෙහි අවධානය යොමු කරමින්, වසංගතය මධ්‍යයේ වුවද රුමේනියාව ශ්‍රී ලංකාවේ පුහුණු හා අර්ධ පුහුණු ශ්‍රමිකයින් සඳහා අඛණ්ඩව රැකියා බලපත්‍ර ලබා දී ඇති  බව රාජ්‍ය ලේකම් ෆෙරූටා මහතා කියා සිටියේය. මෙම සතියේ පමණක් නව රැකියා බලපත්‍ර 1,500 ක් නිකුත් කර ඇති බව ඔහු පැවසීය. රුමේනියාවේ දැනට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 8,000 කට  අධික සංඛ්‍යාවක් ඇඟලුම්, ආගන්තුක සත්කාර සහ ඉදිකිරීම් යන අංශවල ප්‍රධාන වශයෙන් සේවයේ යොදවා ඇති අතර, තොරතුරු තාක්ෂණය වැනි වෙනත් ක්ෂේත්‍රවල වඩාත් නිපුණ රැකියා  අවස්ථා විවෘත වෙමින් පවතී. රුමේනියාවේ ශ්‍රමිකයන්ට රුමේනියානු රජය විසින් ලබා දෙන ආර්ථික උත්තේජනය විදේශීය ශ්‍රමිකයින් ආවරණය කිරීම සඳහා ද ව්‍යාප්ත කර ඇති බව ෆෙරූටා  මහතා වැඩිදුරටත් පැවසීය.

පුළුල් පරාසයක් ආවරණය කළ මෙම වැදගත් සාකච්ඡා මඟින්, දේශපාලනය, ආර්ථික කටයුතු, අධ්‍යාපනය, බලශක්තිය, කෘෂිකර්මාන්තය, ශ්‍රමය, ආරක්ෂාව, අධ්‍යාපනය සහ සමාජ යන අංශවල  ද්විපාර්ශ්වික අවශ්‍යතා සහ අඛණ්ඩ වැඩසටහන් පිළිබඳව සමාලෝචනය කෙරිණ. යුරෝපා සංගමයේ ජීඑස්පී+ පහසුකම සම්පූර්ණයෙන් ලබා ගැනීමට සහ පිළිවෙලින් මධ්‍යම යුරෝපයේ සහ  ආසියාවේ පුළුල් වෙළඳපොළ වෙත ප්‍රවේශ වීම සඳහා ද්විපාර්ශ්වික වෙළඳ හා ආයෝජනයන් පුනර්ජීවනය කිරීමට හා පුළුල් කිරීමට දෙපාර්ශ්වයම එකඟ වූහ. තවදුරටත් සහයෝගීතාව සඳහා,  දුම්රිය එන්ජින් පුනරුත්ථාපනය හා නිෂ්පාදනය සඳහා තාක්ෂණික සහාය, තෙල් හා ගෑස් අංශයේ නිපුණතා හිඩැස් පියවා ගැනීම සඳහා ධාරිතා වර්ධනය සහ කෘෂි සැකසුම් යන අංශ හඳුනා ගන්නා  ලදී. මෙම සාකච්ඡාවල දී, කලාපීය හා බහුපාර්ශ්වික ක්ෂේත්‍රවල හවුල් අවශ්‍යතා ද සමාලෝචනය කරන ලදී.

කොළඹ රුමේනියානු තානාපති කාර්යාලයේ තානාපති වික්ටර් චියුජ්ඩියා මැතිතුමා ඇතුළුව, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, කම්කරු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා  විදේශ සේවා නියුක්ති කාර්යාංශය, වාණිජ දෙපාර්තමේන්තුව සහ විදේශ අමාත්‍යාංශය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම රැස්වීමට සහභාගී වූහ.