කොවිඩ්වලින් පීඩාවට පත්ව සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ සුභසාධනයට කෝටි අටක්

කොවිඩ්වලින් පීඩාවට පත්ව සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ සුභසාධනයට කෝටි අටක්

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධන කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 800 කට අධික මුදලක් වැයකර තිබෙන බව විදේශ සබඳතා ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

මූලික ඖෂධ, පරීක්ෂණ, තාවකාලික නවාතැන්, ආරක්ෂිත ආම්පන්න, අභ්‍යන්තර ප්‍රවාහනය සහ ඇතැම් අවස්ථාවල දී ගුවන් ටිකට් පත් සැපයීම ද මේ අරමුදල් වෙන්කිරීමේ අරමුණ වී තිබෙන බවද ඒ මහතා පෙන්වා දෙයි.

මේ අතර ක්ෂණික සහන සැලසීමේ පියවරක් ලෙස විදේශ අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මාලේ, ඩුබායි සහ දෝහා වෙත වියළි සලාක සහ දේශීය ඖෂධ පැකට් 10,000 කට අධික ප්‍රමාණයක් ගුවනින් යවා තිබෙන අතර යළි මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් විදේශයන්හි රැදී සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම වෙනුවෙන් ද වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

 
 

ඒ අනුව මේ මස 09 දා තෙක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නවතම සති දෙකක කාලසටහනට චෙන්නායි, මෙල්බර්න්, කුවේට්, දෝහා, ටොරොන්ටෝ, සයිප්‍රසය සහ ඩුබායි සිට මගීන් 1,400 දෙනෙක් ඇතුළත් වන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය සහ එහි දූත මණ්ඩල 67 විසින් මිත්‍ර රටවල්, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සහ ප්‍රාදේශීය සංවිධාන සමඟ අඛණ්ඩව සාකච්ඡා පවත්වන අතර, රජය විශාල අරමුදල් ප්‍රමාණයක් වැය කිරීමෙන් වළක්වා ගනිමින්, ජාතික කොවිඩ් වසංගතය මැඬ පැවැත්වීමේ ප්‍රයත්න ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය පීසීආර් පරීක්ෂණ කට්ටල, රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල, පරීක්ෂණ යන්ත්‍ර, ජීවිතාරක්ෂක ඖෂධ, වෙන්ටිලේටර් උපකරණ, ආර්ද්‍රතාකාරක සහ පෞද්ගලික ආරක්ෂක උපකරණ සහ මුහුණු ආවරණ විශාල ප්‍රමාණයක් ප්‍රදාන සහ පරිත්‍යාග ලෙස ලබාගෙන ඇත.

විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල ද, එන්නත් නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් සිදුවන වර්ධනයන් සමීපව අනුගමනය කරමින්, විදේශීය රජයන්ගෙන් එන්නත ලබා ගැනීමේ ශක්‍යතාවයන් පිළිබඳ අත්‍යවශ්‍ය හා කාලෝචිත තොරතුරු සපයන මාර්ගයක් ලෙස ද කටයුතු කරයි.