මූල්‍යමය බරක් නොමැතිව ලාංකිකයින් ගෙන්වා ගන්නා බව විදේශ අමාත්‍යංශය අවධාරණය කරයි

මූල්‍යමය බරක් නොමැතිව ලාංකිකයින් ගෙන්වා ගන්නා බව විදේශ අමාත්‍යංශය අවධාරණය කරයි

කිසිදු මූල්‍යමය බරක් නොමැතිව නැවත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විදේශ අමාත්‍යාංශය අඛණ්ඩව පහසුකම් සලසන බව විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සඳහන් කරයි. සමාජ මාධ්‍යවල පළවන අසත්‍ය තොරතුරුවලට ප්‍රතිචාර දක්වමින් විදේශ ලේකම්වරයා මේ බව අවධාරණය කර සිටී. විදේශයන් හි පිහිටි ශ්‍රී ලාංකික දූත මණ්ඩලවල කාර්යභාරය නැවත පැමිණෙන්නන් මෙරටට ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් සංවිධානය කිරීම සඳහා පමණක්ම සීමා වී ඇති අතර, ඔවුන් පැමිණීමේ දී පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව නොමිලයේ රජයේ පහසුකම් මත නිරෝධායනය ද කරනු ලබන බව ලේකම් ජයනාත් කොළඹගේ මහතා පෙන්වා දෙයි.
දූත මණ්ඩල හා දූත කාර්යාලවල ලියාපදිංචි වී ඇති විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ ලැයිස්තුවෙන් ඔවුන් පත්ව සිටින අවදානම් මට්ටම් අනුව ප්‍රමඛතාව ලබා දී “පළමුව පැමිණෙන්නන්ට පළමුව සේවාව සැපයීමේ පදනම” මත ආපසු ගෙන්වා ගනු ලැබේ. විදේශගත ශ්‍රමික ප්‍රජාව ආරක්ෂිතව නැවත මෙරටට පැමිණීම සම්බන්ධයෙන් අදාළ ගුවන් ගමන් ලබා ගැනීමේ හැකියාව සහ ගුවන් තොටුපොළ බලධාරීන්ගේ අනුමැතිය මත විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ එහි නියෝජිතයන් ද අපගේ දූත මණ්ඩල සමඟ එක්ව කටයුතු කරයි. කෙසේ වෙතත්, නිරෝධායන මධ්‍යස්ථාන භාරව සිටින යුද හමුදාව සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමේ කාර්යය භාරව සිටින සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වරින් වර සිදුකෙරෙන තක්සේරු කිරීම් සහ තොරතුරු මත, කාර්යය සාධක බලකාය විසින් දිනකට ගමන් කිරීමට අවසර ලබා දෙනු ලබන මගීන් සංඛ්‍යාව තීරණය කරනු ලැබේ.
දේශීය නිරෝධායන හා වෛද්‍ය පහසුකම් සම්පූර්ණයෙන්ම භාවිත වී ඇති අවස්ථාවල දී, එවැනි පහසුකම් මුදල් ගෙවා ලබා ගැනීමට හැකියාවක් ඇති අය සඳහා, ගෙවීමේ පදනමක් මත නැවත මෙරටට ගෙන්වා ගැනීම විකල්පයක් බවට පත්වේ.
නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලියේදී මුදල් ගෙවා නිරෝධායන, පරීක්ෂණ සහ වෙනත් සැපයුම් සේවා සඳහා වැඩි කැමැත්තක් දක්වන විදෙස්ගත ශ්‍රී ලංකා ප්‍රජා කණ්ඩායම්වලට ශ්‍රී ලංකා දූත මණ්ඩල හරහා කුලී ගුවන් ගමන් අනුමත කර සංවිධානය කරනු ලැබේ.
නිරෝධායනය සහ අනෙකුත් අවශ්‍යතා සඳහා මුදල් ගෙවිය හැකි, සාපේක්ෂව කුඩා මගීන් පිරිසක් සඳහා ලබා දෙන තුන්වැනි ආකාරයේ පහසුකමක් ලෙස, භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් සහ තෝරාගත් වාණිජ ගුවන් ගමන් කිහිපයක් ද නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා අමාත්‍යාංශය විසින් අනුමත කරනු ලබන අතර, කොවිඩ් කාර්යය සාධක බලකායේ නවතම නියෝගයට අනුව එක් ගුවන් ගමනකට උපරිම මගීන් 75 ක සංඛ්‍යාවක් සඳහා අවසර දෙනු ලැබේ.
ගුවන් ටිකට්පත්, පීසීආර් පරීක්ෂණ සහ නිරෝධායන ගාස්තු පිළිබඳව මගීන් සමඟ ගනුදෙනු කිරීම සඳහා අදාළ ගුවන් සමාගම්වල සාමාන්‍ය විකුණුම් නියෝජිතයින්ට (GSA) බලය පවරා ඇති අතර, අතිශය විශේෂිත අවස්ථාවල දී එවැනි පහසුකම් සඳහා කෙරෙන ඉල්ලීම් සඳහා හැර, සංචාරක අවශ්‍යතා සම්බන්ධයෙන් කිසිදු ආකාරයක ගෙවීම් හැසිරවීම සඳහා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලවලට බලය පවරා නොමැත.
මෙම වසංගත තත්ත්වය අස්ථිර හා අනපේක්ෂිත ලෙස පවතින බැවින්, නිතිපතා නැවත ඇගයීමක් සිදු කරනු ලබන අතර, ඒ අනුව නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය වරින් වර සමාලෝචනය කරනු ලැබේ.