විදේශ ගතව සිට පැමිණෙන ශ්‍රමිකයින්ව නිවෙස් නිරෝධායනයට අවස්ථාවක්

විදේශ ගතව සිට පැමිණෙන ශ්‍රමිකයින්ව නිවෙස් නිරෝධායනයට අවස්ථාවක්

මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් කඩිනමින් ගෙන්වීමට පියවර ගන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ පසුගිය 26 උපදෙස් ලබා දී තිබෙනවා. විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදී අගමැතිවරයා මේ බව අවධාරණය කර ඇත.

මෙම ශ්‍රමිකයන් රැගෙන එන මගී ගුවන් යානා සඳහා අවශ්‍ය අවසර ලබාදීම සහ ඔවුන්ගේ PCR පරීක්ෂණ ඉටුකරදීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබේ.

මෙසේ පැමිණෙන ශ්‍රමිකයන්ට අවශ්‍ය නිරෝධායන කටයුතු සඳහා තම තමන්ගේ නිවෙස්වල ඉඩ පහසුකම් අනුව අවසර ලබා දිය හැකිද යන්න පිළිබඳව ජනාධිපති කාර්ය සාධක බළකායේ අවධානය යොමු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මෙහිදී පවසා ඇත.

කොවිඩ් වයිරසයෙන් අසරණව සිටින විදෙස් ගත ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සතුව ඇති රුපියල් බිලියන 14 ක තැන්පතු මුදල් වැයකිරීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) විදෙස් කාර්යාංශයේ අවධානය යොමු කර තිබෙනවා.

කාර්යාංශයේ ලියාපදිංචිව සිටින විදෙස්ගත ශ්‍රමිකයන් සිය අරමුදල් භාවිත කොට මෙරටට ගෙන්වා ගැනීමේ කිසිදු බාධාවක් නොමැති බව මේ අවස්ථාවේදී කාර්යාංශයේ සභාපති කමල් රත්වත්ත ප්‍රකාශ කළේ. මැදපෙරදිග තෙල් මිල පහළ යාම හේතුවෙන් රැකියා අහිමි වූවන් සහ කොවිඩ් ව්‍යසනය හේතුවෙන් රැකියා අහිමි වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් තිස් හතර දහස් හත්සිය විසි එකක් (34721) මෙරටට ගෙන්වා ගන්නා ලෙස මේ වන විටත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඉල්ලීම් ලැබී ඇතැයිද මෙහිදී අනාවරණය විය.

විදෙස් තානාපති කාර්යාලවල සේවය කරන විදේශ සේවා නිලධාරීන් නඩත්තු කිරීමට වසරකට රුපියල් කෝටි 80 ක් වැය කළද ඔවුන්ගෙන් අපේක්ෂිත සේවාවන් ඉටු වෙනවාද යන්න සොයා බලන ලෙස කෝප් කමිටුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට දැනුම් දුන්නා.

කෝප් කමිටුව මේ බව සඳහන් කළේ විදේශ රැකියා ක්ෂේත්‍රයෙහි වර්තමාන තත්ත්වය අධ්‍යයනය කිරීම සඳහා වූ විශේෂ විගණන වාර්තාව විමර්ශනය කිරීමට පසුගියදා රැස්වූ අවස්ථාවේදී.

සභාපති මහාචාර්ය චරිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පැවැති කෝප් කමිටු රැස්වීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීහුද සහභාගී විය.