මැදපෙරදිග අසරණ වූ ශ්‍රී ලාංකිකයින් නොවිඳිනා දුක් විඳින හැටි

මැදපෙරදිග අසරණ වූ ශ්‍රී ලාංකිකයින් නොවිඳිනා දුක් විඳින හැටි
මැද පෙරදිග සිය රැකියාව අහිමිව මෙරටට පැමිණීමට නොහැකි වූ ශ්‍රී ලාංකිකයින් පිරිසක් එම රටවල් තුළ සිඟමන් යදින අයුරු දැක්වෙන ආන්දෝලනාත්මක විඩියෝ දර්ශන පෙළක් ඊයේ (07) මාධ්‍ය වෙත නිකුත් කෙරුණි. 
 
ප්‍රගතිශීලි ස්ත්‍රී එකමුතුව විසින් ඊයේ (07) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ, ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජනාධිපතිවරයා කඩිනමින් මැදිහත් වියයුතු බවයි.
 
රැකියා අහිමි වීම් නිසා එම රටවල දැඩි ජීවන සටනක නිරතවෙමින් සිටින ලාංකිකයන් ගැන අවස්ථා රැසකදී තොරතුරු වාර්තා වූ අතර ප්‍රගතිශීලි ස්ත්‍රී එකමුතුව අද මේ සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණ කළේ එවන් පසුබිමක බැව් කිව හැකිය.
 
කුවේට්හි, ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් අසරණව සිටින අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන පෙළක් ද මෙහිදී ඔවුන් විසින් මාධ්‍යට මුදාහැරි අතර සිය රැකියාව අහිමිව අන්ත අසරණභාවයටපත් කාන්තාවකගේ වීඩියෝවක් එහිදී මාධ්‍ය වෙත මුදාහැරියේය.
 
එම වීඩියෝපට අතර දක්නට ලැබුණු තවත් එක් දසුනක් වුයේ කුවේට් හි රැකියාව අහිමි වූ ශ්‍රී ලාංකිකයෙක් මහ මඟ සිඟමන් යදිමින් මෙරටට පැමිණීමට මුදල් එකතුකරන ආකාරයයි.
 
“මේ පුද්ගලයාගේ ඇඟිලි කිහිපයක් කපලා තියෙන්නේ. අපේ ශ්‍රී ලාංකික සහෝදරයෙක් රැකියාව අහිමි වෙලා කොරෝනා වසංගතය ආරම්භ වුණු මුල් කාලයේ මෙහෙම වුණේ. මේ නගරයේ යම් තැන්වල ඉඳගෙන ශ්‍රී ලංකාවට යන්න මුදල් එකතු කිරීමේ ක්‍රියාවලියක් තියෙනවා. ඩිනාර් 390ක මුදලක් ඉල්ලා සිටිනවා තානාපති කාර්යාලයෙන්. බලන්න මේ සහෝදරයා යන විදිය ඇත්තටම කණගාටුයි.“
 
රැකියා අහිමිව කුවේට්හිදී අසරණ වූ ශ්‍රී ලාංකික කාන්තාවන් උන් හිටි තැන් පවා නොමැතිව මහ මඟට වැටී සිටින අයුරු ද එම දර්ශනවල සටහන් ව තිබුණි.
 
අසනීප තත්ත්වයක් නිසා රෝහල්ගතව සිටි තවත් කාන්තාවන් දෙදෙනෙකු එරට පොලීසිය විසින් කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත භාරදී තිබේ.
 
නමුත් තානාපති කාර්යාලය ඔවුන්ව භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති අතර පසුව ඒ පිළිබඳව සැළ වූ ශ්‍රී ලාංකික කාන්තාවක් ඔවුන්ගේ පිහිටට ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.
 
මේ ඒ පිළිබඳ අදහස් දක්වන කාන්තාවක් මෙසේද සඳහන් කරයි.
 
රෝහලේ කොච්චර කල් හිටියද ? -  “මාස තුන හමාරක් හිටියා. “
 
ඔයා කොච්චර කල් හිටියද අක්කා ? - “මාස දෙක හමාරක්.මගේ ඇහැ පේන්නේ නැහැ. අනිත් කෙනාට ඇවිදගන්න බැහැ. “
 
“රෝහලට ගිහින් ටිකට් කපාගෙන පොලීසිය තමයි අපිව තානාපති කාර්යාලයට ගෙනත් දැම්මේ. තානාපති කාර්යාලයෙන් කිව්වා එළියට යන්න කියලා අපි ඇතුළට යනකොට. මම කිව්වා රෝහලේ ඉඳලා පොලීසිය ටිකට් කපාගෙන මෙතනට ගෙනාවේ, ඔයාලා පොලීසිය එක්ක බලාගන්න කිව්වා. අපි ඔයාලව ගන්නේ නැහැ යන්න කිව්වා. අපි එළියේ සීතලේ හිටියා. මෙතනට කොහොමද ආවේ? අපි රෝහලේ ඉන්නකොට දැනගත්ත නර්සින් කරන නංගි කෙනෙක් කිව්වා සීතලේ ඔතනට වෙලා තව ලෙඩ වැඩි වෙනවනේ මම ඉන්න එතනට එක්ක එන්න කියලා. එතනට ආවා. “
 
මෙහිදී අදහස් දක්වමින් ප්‍රගතිශිලී ස්ත්‍රී එකමුතුවේ සරෝජා පෝල්රාජ් මහත්මිය පවසා සිටියේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය, විදෙස්ගත ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමේ ක්‍රියාපටිපාටියෙන් ඉවත් කර ඇති බවය.
 
ඒ පිළිබඳ අදහස් දැක්වු සරෝජා පෝල්රාජ් මහත්මිය මෙසේ කියා සිටියාය.
 
“මෙම විදෙස්ගත ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමේ කාර්ය භාරගෙන තියෙන්නේ විදේශ අමාත්‍යාංශය සහ කොරෝනා මර්දන ඒකකය හා කාර්ය සාධක බලකාය. ශ්‍රමිකයින් පිළිබඳ වගකිව යුතු මුලිකම ආයතනය ඉවත් කරලා, මේක ව්‍යාපාරික උවමනාවට තැරැව්කරුවන් අතට පත්කිරීමේ ප්‍රධාන පියවර තියෙන්නේ අන්න එතන. ජනාධිපතිවරයා කියනවා ඔබ ඉල්ලා සිටි නායකයා මමයි. මේ ඉන්නේ එතුමාගේ පුරවැසියෝ. එතුමාට ඡන්දය දීපු ජනතාව. විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රශ්නවලටත් ඒ ආකාරයෙන්ම මැදිහත් වෙන්න ජනාධිපති තුමනි."