හොර පාරෙන් ජර්මනියට යන්න හැදූ ලාංකිකයින් 03ක් කොටුවෙයි

හොර පාරෙන් ජර්මනියට යන්න හැදූ ලාංකිකයින් 03ක් කොටුවෙයි

ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සකස් කළ ජර්මන් වීසා බලපත්‍ර උපයෝගී කර ගෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔස්සේ ජර්මනිය වෙත පැනයාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු අද(07) කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.

මේ අතරින් දෙදෙනෙකු මඩකලපුව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි මවක සහ ඇයගේ 09 හැවිරිදි පුතු ය.අනෙක් පුද්ගලයා 34 හැවිරිදි වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මොවුන් තිදෙනා ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම සදහා එමිරේට්ස් ගුවන් සේවා කවුළුව වෙත පැමිණි අවස්ථාවේ, ඔවුන් ඉදිරිපත් කළ ගුවන් ගමන් බලපත්‍ර වල සටහන් කර තිබූ ජර්මානු වීසා බලපත්‍ර පිළිබඳ සටහන් , ගැටළුකාරී තත්වයක් මතු කර තිබූ නිසා මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපළ තුළ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.

මෙවැනි ගැටළු සහගත ලියකියවිලි සහිත ගුවන් මගීන් රැගෙන ගියහොත්, එම ගුවන් සේවයේ වියදමින්ම ආපසු ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමට ද සිදුවීම ජාත්‍යන්තර ගුවන් ගමන් පිළිබඳ නීතියයි.

එහිදී එම නිලධාරීන් කළ මූලික විමර්ශන වලදී සහ මොවුන් තිදෙනා ඉදිරිපත් කළ ලියකියවිලි තාක්ෂණික පරීක්ෂාවන්ට ලක් කිරීමෙන් පසු, මොවුන් සතුව තිබූ ජර්මානු වීසා බලපත්‍ර, ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ තිබූ ඒවා බවට කරුණු අනාවරණය විය.

එමෙන්ම වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරු ඉදිරිපත් කළ ගුවන් ගමන් බලපත්‍රය ද වෙනත් පුද්ගලයෙකුගේ තොරතුරු ඇතුළත් කර සකස් කර තිබූ අතර, එහි වූ ඉතාලිය, සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාවේ ආගමන විගමන මුද්‍රා සහ පිටසන් කිරීමේ සටහන් සියල්ල ද ව්‍යාජ ඒවා බවට තාක්ෂණික පරීක්ෂාවලදී තහවුරු විය.

ඉන්පසුව මොවුන් තිදෙනා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා  කටුනායක ගුවන් තොටුපළ තුළ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ.