සංචාරක වීසාවලින් මැදපෙරදිග රැකියාවලට යෑමෙන් ඩොලර් බිලියන අටක් රටට අහිමියි

migrant

සංචාරක වීසා මගින් මැදපෙරදිග රටවලට යන ශ‍්‍රී ලාංකිකයන් එරට රැකියාවල නියුක්ත වීම හේතුවෙන් එම රටවලින් ශ‍්‍රී ලංකාවට මෙතෙක් ලැබෙමින් තිබූ විශාල මුදල් ප‍්‍රමාණයක් අහිමි වෙන බව බලපත‍්‍රලත් විදේශ රැකියා නියෝජිත සංගමය කියයි.

එම සංගමයේ ලේකම් එම්.එෆ්.එම්. අර්ෂාඩ් පවසන්නේ විදේශ රැකියා නියෝජිත ආයතන හරහා ශ‍්‍රී ලංකාවට වාර්ෂිකව ඩොලර් බිලියන 09ක් පමණ විදේශ විනිමයක් ලැබෙන බවය. එහෙත් සංචාරක වීසා ලබාගෙන මැදපෙරදිග රටවලට යන පිරිස නිසාත් එම මුදල මෙරටට අහිමි වන බවය.

විදේශ රැුකියා නියෝජිත ආයතන විදේශ රැකියා සඳහා යන සෑම පුද්ගලයකු වෙනුවෙන්ම වන වියදම් විදේශ සේවා යෝජකයන් වෙතින් ගෙන්වා ගන්නා බවත් ඔහු පැවසීය. මෙම සෑම පුද්ගලයකු වෙනුවෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයට රුපියල් 30,000ක මුදලක් ගෙවන බවත්, ඒ වෛද්‍ය වාර්තා, ගුවන් බලපත‍්‍ර, පී.සී.ආර්. පරීක්ෂණ, පුහුණුව වැනි කාර්යයන් සඳහා බවද ඔහු කීවේය. සාමාන්‍යයෙන් විදේශ රැකියා නියෝජිත ආයතන හරහා වසරකට 70,000ක් පමණ පුද්ගලයන් පිරිසක් විදේශ රැකියාවලට යවන බවත් සංචාරක වීසා මතින් මැදපෙරදිග රැකියාවලට යන පුද්ගලයන්ගෙන් එවැනි මුදලක් අයකර ගත නොහැකි බවද ඔහු කීවේය.

සංචාරක වීසා මතින් රැකියා සඳහා යන පුද්ගලයන් පිළිබඳ රජය සොයා බැලීමක් නොකරන අතර, විෂය භාර ඇමතිවරයා ලෙසින් නිමල් සිරිපාලද සිල්වා මහතාද එසේ රැකියා සඳහා යන පුද්ගලයන් දිරිගැන්වීමේ ආකල්පයෙහි පසුවන බවද ඔහු පැවසුවේය.
(රාවය)